මෙත් සිතින් සෙත් පතමි

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවර
මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවරපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ආශිංසනය

මින් විසි වසරකට පෙර මවිසින් ‛මහමෙව්නාව’ යන නමින් මෙම දහම් සේවාව අරඹන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේගේ සේවාව සිහි වීම පිණිස යි. ඉතා නිර්මල වූ බුදු වදන් ලොවට පවසන විට සත්‍ය සෙවීමේ ආශාවෙන් යුතු නුවණැති මිනිසුන් මහමෙව්නාව වටා රොක් වීම පුදුමයක් නොවෙයි. අප ආශා කළ යුත්තේ බුදුරජුන් වදාළ සත්‍යයට පමණි. ඒ බුදුරජුන්ගේ ධර්මයට අප යම් තාක් ගරු කරයි ද, පුද පූජා පවත්වයි ද, ධර්මයට ගෞරව දක්වයි ද, ඒ ධර්මයට අනුව ජීවිතය විමසා බලයි ද, ජීවිතය හසුරුවයි ද, සත්‍ය සෙවීමේ ආශාවෙන් යුතු මිනිසාට එය හොඳට ම සෑහේ. මක් නිසාද යත් සත්‍යය යනු බුදු දහමයි.

මහමෙව්නාව වටා එක්වන ඔබ සියලු දෙනාම මම මෙත් සිතින් පිළිගනිමි. අපගේ දහම් සේවාව තුළ කිසිදු ජාති භේදයක් නැත. භාෂා භේදයක් නැත. වර්ණ භේදයක් නැත. ආගම් භේදයක් නැත. ඕනෑම කෙනෙකුට බුදුරජුන්ගේ සත්‍යය විවෘතව ඇත. එම සත්‍යය තේරුම් ගැනීම පිණිස ඔබ බුද්ධිමත් නම් ඒ ධර්මය තිබෙන්නේ ඔබ සඳහා ය. ඔබේ යහපත හා සැපය සඳහා ය. එනිසා අප සියලු දෙනා එම සත්‍යය වටා රොක් වෙමු. ඉගෙන ගනිමු. ධාරණය කරගනිමු. තේරුම් ගනිමු. ඒ අනුව ජීවත් වෙමු. ලොවට බෙදා දෙමු. එය මේ යුගයේ අප සතු උත්තරීතර කාර්යභාරයයි….

Read More >>

මහමෙව්නාව භාවනා අසපු සංචිතයෙහි ආරම්භය

මහමෙව්නාව භාවනා අසපුව යනු ලෝක ව්‍යාප්ත ථේරවාදී බෞද්ධ ධර්ම ප්‍රචාරක මධ්‍යස්ථානයකි. මහමෙව්නාව භාවනා අසපු සංචිතයෙහි නිර්මාතෘ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් “ගෞතම බුදු සසුන බබුළුවන පිරිසක් බිහිවේවා!” යන උතුම් පැතුම පෙරදැරි කරගෙන 1999 අගෝස්තු මස 14 වැනි දින පොල්ගහවෙල වඩුවාවේ දී මුල් ම මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කරන ලදී.

ඉටිරෙදිවලින් වටකළ පොල් අතු සෙවිලි කළ කුටි තුනකින් ආරම්භ කළ මහමෙව්නාව භාවනා අසපුව හරහා සිදුවූ සුවිශාල ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙළ තුළින් ගත වූ මෙම වසර විස්සක කාලය තුළ මහමෙව්නාව භාවනා අසපුව ලක්දිව මෙන්ම දේශ දේශාන්තරයන් හි ද කීර්තිමත් බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත්විය. ඉතා සුළු පිරිසකගෙන් ආරම්භ වූ දහම් සේවාව ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සිත් සතන් පුරා පැතිර ගියේය. ජීවිතාවබෝධයට කැමැති යොවුන් තරුණයක් යළිත් ගෞතම බුදු සසුනෙහි අභිමානය සිහි ගන්වමින් මහමෙව්නාව කරා ඇදී එන්නට පටන් ගත්හ.

මිහිඳු මහරහතන් වහන්සේ විසින් මින් වසර දෙදහස් තුන්සිය ගණනකට පෙර අනුරාධපුර මහමෙව්නා උයනේදී අපගේ ශ්‍රී ලංකාද්වීපයෙහි ගෞතම බුද්ධ සාසනය ස්ථාපිත කරන ලදී. ඒ ගෞතම බුදු සසුනේ සුන්දර පණිවිඩය ලොව පුරා පැතිරවීම ඉලක්ක කොටගෙන ය මෙම ආයතනයට “මහමෙව්නාව” යන නම තබන ලද්දේ. අසපුව යනු ආරාම යන පාළි වචනයෙහි සිංහල අර්ථය යි. ආශ්‍රම යනු එහි ම සංස්කෘත වචනය යි. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයේ දඹදිව තිබූ ජේතවනාරාමය, වේළුවනාරාමය සිංහලෙන් ජේතවන අසපුව, වේළුවන අසපුව යනුවෙන් හැඳින්විය හැක. ‘අසපුව, ආරාමය, ආශ්‍රමය’ යනු සිල්වතුන් ගුණවතුන් වසන තැන යන යන්න ය. මෙකී සියලු අර්ථ සලකා මෙම ආයතනය “මහමෙව්නාව භාවනා අසපුව” යනුවෙන් හඳුන්වනු ලැබේ.

අසපු ශාඛා ව්‍යාප්තිය

In Sri LankaOverseas

මේ වන විට මහමෙව්නාව භාවනා අසපුවේ පැවිදි උපසම්පදාව ලබා ගෞතම බුදු සසුනෙහි ධර්ම විනයානුකූලව පිළිවෙත් පුරන භික්ෂූන් වහන්සේලා ගණන හත්සීයකටත් අධික ය. ශාඛා ප්‍රශාඛා විහිදී ගිය සුවිසල් නුග රුකක් පරිද්දෙන් ලොව පුරා විහිද ගොස් ඇති මහමෙව්නාව භාවනා අසපු සංචිතය මේ වන විට දේශීය අසපු ශාඛා 50 කින් ද විදේශීය අසපු ශාඛා 30 කින් ද අනගාරිකා අසපු ශාඛා 10 කින් ද සමන්විත වේ.

පොල්ගහවෙල, මාතර, කඩුවෙල, මාලබේ, කුණ්ඩසාලේ, අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, බණ්ඩාරවෙල, මොණරාගල, කතරගම, ඉබ්බාගමුව, මාතලේ, රත්තොට, සිරිපාගම, එරත්න, බලංගොඩ, සූරියවැව, වළස්මුල්ල, පොල්පිතිගම, ගල්නෑව, ආණමඩුව, හොරණ, පොතුහැර,

සේරුපිට, හුණුමුල්ල, සඳලංකාව, නිට්ටඹුව, මහව, ගාල්ල, බුත්තල, වැලිමඩ, බුලත්සිංහල, කන්තලේ, කොච්චිකඩේ, කැබිතිගොල්ලෑව, පින්නවල, බෝවත්ත, බිබිල, අම්පාර, නුවරඑළිය, කහටගස්දිගිලිය, හබරණ, දෙණියාය, විල්ගම්වෙහෙර, මහියංගණය, කහවත්ත, මාරිඅරාව සහ මුල්ලේගම යන ප්‍රදේශවල දේශීය අසපු ශාඛා ස්ථාපිත වී ඇති අතර Washington DC (USA), Newjersey (USA), Newyork (USA), California (USA), Florida (USA), Texas (USA), Toronto (Canada), Edmonton (Canada), Winnipeg (Canada), Saskatoon (Canada), Vancouver (Canada), Basildon (UK), ST helans (UK), Melbourne (Australia), Sydney (Australia), Perth (Australia), Adelaide (Australia), Dubai, Germany, France, Italy, Cyprus, Netherland, India, Ansan (South Korea), Daegu (South Korea) යන රටවල් වල හා නගරවල විදේශීය අසපු ශාඛා ස්ථාපිත වී ඇත.

මහමෙව්නාව අසපු සංචිතයේ මහා මහෝපාධ්‍යායන් වහන්සේ

මහමෙව්නාව භාවනා අසපු සංචිතයෙහි මහෝපාධ්‍යායන් වහන්සේ වන්නේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා මහෝපාධ්‍යාය, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ හිටපු සභාපති, ශ්‍රී කල්‍යාණී වංශ නිකායේ මහානායක, කලපළුවාව ගෝතම තපෝවනය ප්‍රධාන තපෝවන ශාඛාවන්හි අනුශාසක ධුරන්ධර පරම පූජනීය දොඩම්පහළ චන්දසිරි මහා නාහිමිපාණන් වහන්සේයි. උන්වහන්සේ ගෞතම බුදු සසුනෙහිත් මහමෙව්නාව භාවනා අසපුවේත් දියුණුව පතන උතුම් සංඝ පීතෘන් වහන්සේ නමකි. මහමෙව්නාවෙහි මේ වන විට වැඩසිටින 700 කට අධික වූ භික්ෂූන් වහන්සේලා ගෞතම බුදු සසුනේ උතුම් පැවිදි උපසම්පදාව ලැබූයේ උන්වහන්සේගේ පින්බර සුරතිනි.

මහමෙව්නාව අසපු සංචිතයේ නිර්මාතෘවරයාණෝ

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවරයාණන් වහන්සේ වනාහී අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ය. ව්‍යවහාර වර්ෂ 1961 ජූලි මස පළමුවැනිදින ජන්ම ලාභය ලැබූ උන්වහන්සේ වයස අවුරුදු 17 දී සේරුවිල මංගල රාජමහා විහාරයේදී එවකට ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ මහානායක හා සේරුවිල මංගල රාජමහා විහාරයේ විහාරාධිපතිව වැඩවිසූ අතිපූජ්‍ය දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදි බිමට පත් විය. සාම්ප්‍රදායික පිරිවෙන් අධ්‍යාපනයෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුලත් වී සිංහල ගෞරව උපාධිය හදාරමින් සිටියදී අහඹු ලෙස ත්‍රිපිටක ග්‍රන්ථ ඇසුරින් බුද්ධ දේශනා කියවන්නට ලැබීම නිසා දිවි පුදා දහමේ හැසිරීමේ බලවත් ආසාවෙන් පන්සල් ජීවිතය අත්හැර අරණ්‍යවාසීව වැඩ වාසය කරන්නට පටන් ගත්තේය…..

වැඩි විස්තර >>

මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානය

1999 අගෝස්තු මස 14 වෙනි දින මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කොට පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පොල්ගහවෙල, වඩුවාව ග්‍රාමයේ ආරම්භ කරන ලද මුල්ම අසපුව මේ වන විට සුවිශාල ආයතනයකි. එහි සියක් නමකට අධික වූ භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ පනහකට අධික වූ පැවිදි අපේක්ෂක අනගාරික උපාසක පිරිසක් නේවාසිකව වැඩසිටිති. දෙස් විදෙස් සියලු අසපු ශාඛාවන්හි පරිපාලන කටයුතු සිදුකෙරෙන්නේ මෙම අසපුව මූලික කොටගෙනයි. 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් බුදුරජාණන් වහන්සේ උදෙසා ඉදි වූ “සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව” නම් වූ ජීවමාන බුදුරජුන් මෙන් දිස්වන අලංකාර බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩසිටින සුවිසල් විහාර මන්දිරයක් ද පරිවාර බෝධීන් වහන්සේලා සතර නමකගෙන් සමන්විත “සිරි ගෞතම බෝධි මණ්ඩපය” ක් ද සර්වඥ ධාතු නිධන් කොට තැනූ “සිරි ගෞතම දම්සක් මහා සෑය” නම් වූ මහා ස්ථූපයක් ද සැදැහැවතුන්ට වන්දනාමාන කොට පින් රැස්කරගැනීම සඳහා මෙම පින්බිමෙහි නිර්මාණය කොට තිබේ.

මහමෙව්නාව අනගාරිකා අසපුව

ගෞතම බුදු සසුනෙහි පිළිසරණ ලබනු කැමති කාන්තාවන් වෙනුවෙන් ඉදිකෙරුණු ආයතනය මහමෙව්නාව අනගාරිකා අසපුව යි. මේ වන විට දඹදෙණිය, උඩුපිල, මාවතගම, අනුරාධපුරය, කඩුගන්නාව, වරකාපොල, කුලියාපිටිය, කිඹුලාපිටිය, හලාවත, හක්මන සහ කෝට්ටේ යන ප්‍රදේශවල අනගාරිකා අසපු ශාඛා ස්ථාපිත වී ඇති අතර 100 නමකට අධික අනගාරිකා මෑණිවරු පිරිසක් පිළිවෙත් පුරමින් වැඩ සිටිති.

වැඩි විස්තර >>

මහමෙව්නාවේ ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙළ

මහමෙව්නාව අසපු ශාඛා මෙන්ම දිවයින පුරා පිහිටි නොයෙකුත් විහාරස්ථාන, රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන ආදිය කේන්ද්‍ර කොට ගනිමින් මහමෙව්නාවේ භික්ෂූන් වහන්සේලා විසින් දහම් වැඩසටහන් සිදුකරනු ලබයි. මෙකී සුවිසල් ධර්ම ප්‍රචාරය හේතුවෙන් මේ වන විට මහමෙව්නාව වටා අවබෝධයෙන් ම තිසරණයෙහි පිහිටා සිල් ගුණදම් දියුණු කරන, ශාසන දියුණුවට අතහිත දෙමින් පින් රැස්කරන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් එක්රොක් වී සිටිති.

ඊට අමතරව මහමෙව්නාවේ ධර්ම ප්‍රචාරය සිදුකෙරෙන ආකාර කිහිපයකි. ඒවා පහත දැක්වේ.

මහමෙව්නාවේ සමාජ සත්කාර

මහමෙව්නාව භාවනා අසපු සංචිතය මගින් මහමෙව්නාව වට එක්රොක් වී සිටින ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ ආධාර උපකාර ඇතිව අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම්, ලේ දන්දීමේ පින්කම්, සදහම් ග්‍රන්ථ පරිත්‍යාගයන්, අභයදාන ව්‍යාපෘති, ජල පිරිපහදු ඒකක ස්ථාපිත කිරීම් ආදී සමාජ සත්කාරයන් රැසක් සිදුකරනු ලබයි.

ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් තොරව හුදෙක් ලෝකානුකම්පාවෙන් යුතුව මහමෙව්නාව භාවනා අසපු සංචිතය මගින් සිදුකරන මෙම ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙළ හා සමාජ සත්කාරයන් තවදුරටත් ඉදිරියට සිදුකරගෙන යමින් ගෞතම බුදු සසුනෙහි ආරක්ෂාව හා අභිවෘද්ධිය සැලසීමත් මනුෂ්‍ය වර්ගයා වෙත යහපත් දන් දීමත් මේ ගෞතම බුදු සසුන තුලදී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමත් මහමෙව්නාවේ ඉලක්කය වේ.

නිරුදක කතරක හදිසියේ මතු වූ දිය දහරක් වන්, ඝනඳුර විනිවිද ගිය වල්ගා තරුවක් වන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මහමෙව්නාව භාවනා අසපු සංචිතය මගින් සිදුකරන මේ සදහම් සේවාව සියල්ලෝ සතුටින් අනුමෝදන් වෙත්වා!