අපගේ ශාස්තෘන් වහන්සේ තවත් පසේබුදුවරයන් වහන්සේ නමක් වදාළ ගාථාවක් අනඳ මහතෙරුන් වහන්සේට වදාළා. පසේබුදුවරයන් වහන්සේලා පිළිබඳව තොරතුරු ස්වල්පයක් අප දැන් දන්නවා. උන්වහන්සේලා තුළ ඇතිවෙන ඒ හුදෙකලා අවබෝධය පිණිස පාදක වෙන්නේ යම්කිසි අත්දැකීමක්.මේ කථාවේ කියවෙන්නේ මිතුරු බව නිසා ඇති වූ අර්බුදයක් ගැනයි. එම අත්දැකීම ඔස්සේ ප‍්‍රඥාව මෙහෙයවාලීමෙහි අපූර්ව කුසලතාවක් උන්වහන්සේලා තුළ තිබී තියෙනවා. බොහෝ විට පසේබුද්ධත්වය ලබා තිබෙන්නේ රජ පවුලේ උපන් කෙනෙක්මයි. මෙය ද පුදුම සහගත දෙයක් ලෙසයි අපට වැටහෙන්නේ. එමෙන්ම වර්තමානයේ පවතින නොයෙකුත් සාමාජික, ආර්ථික, දේශපාලනික මතිමතාන්තර ඔස්සේ විමසා බලා පසේබුදුවරුන් ගැන වටහා ගැනීම දුෂ්කර බව අප තේරුම් ගත යුතුයි. උන්වහන්සේලා ගැන සිත පහදවා ගන්නට නම් පච්චේකබුද්ධ බවට පත්වන ඒ මුනිවරයන් වහන්සේලාගේ විස්මිත චරිතාපදානයන් ඒ අයුරින්ම වටහා ගත යුතුයි.ඇරයුම් ලැබෙයි සිටි විට මිතුරන් අතර
නවතින, හිඳින, යන එන හැම තැන නිතර
ඒ කෙරෙහි නොම ඇලෙමින් – නිදහසේ අගය දකිමින්
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….
පසේබුදුවරුන් පිළිබඳව නම් ගොත් රාශියක් අපට පෙන්වා වදාළ ඉසිගිලි සූත‍්‍රයෙහි අවසානයට මෙසේ සඳහන් වෙනවා.
“ඒතේ ච අඤ්ඤේ ච මහානුභාවා
පච්චේකබුද්ධා භවනෙත්තිඛීණා
තේ සබ්බසංගාතිගතේ මහේසී
පරිනිබ්බුතේ වන්දථ අප්පමෙය්‍යේති.”“මේ බුදුවරු හා අනෙකුත් මහානුභාව බුදුවරුන් ද
භව බන්ධන සිඳ බිඳ ලූ උතුම් පසේ බුදුවරුන් ද
මහ ඉසිවර මේ බුදුවරු සියලූ කෙලෙස් නැති මුනිවරු
පිරිනිවනට වැඩි මුනිවරු අපමණ ගුණ ඇති බුදුවරු
පින්වත් මහණෙනී ඔබත්, වන්දනා කරව් නිරතුරු”
මෙයින් පැහැදිලි වන්නේ පසේබුදු රජාණන් වහන්සේලා වන්දනා කිරීමට අපව පොළොඹවන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින් මය. එමෙන්ම උන්වහන්සේ කිසිවිටෙකත් බෝසතාණන් වහන්සේලා වන්දනා කරන්න කියා හෝ, බෝසතාණන් වහන්සේලාට පුද පුජා පවත්වන්නට කියා හෝ බාරහාර වෙන්නට කියා හෝ වදාළ තැනක් අපට හමු නොවේ.
පසේබුදුවරයන් වහන්සේලා ගැන සඳහන් ඛග්ගවිසාණ සූත‍්‍රයෙහි හයවෙනි ගාථාවට අයත් පසුබිම් කථාව මෙයයි. බරණැස් නුවර එක රජකෙනෙක් හිටියා. ඔහුගේ නම ඒකවජ්ජික. මොහු ඉතාමත් මෘදු ගති පැවැතුම් ඇති කෙනෙක්. හරිම හිතවත්.මිතුරු බවින් යුක්තයි.කිසි කෙනෙකුගේ හිත රිද්දවන්න අකමැති කෙනෙක්. තමන් රජෙක් බවවත් නොසළකා ඇමතිවරුන් කියන ඕනෑම ගමනක් යන්න මේ රජු සූදානම්. මොහුගේ ගුණවත්කමින් ඇමතිවරු අයුතු ප‍්‍රයෝජන ගත්තා.
රාජපුරුෂයන් යුතු අයුතුබව නොසළකා, යහපත අයහපත නොසළකා, සුදුසු නුදුසු බව නොසළකා මිතුරු බව නිසා රජතුමාට කරදර කරනවා. එක ඇමතියෙක් මුල්ලකට කතා කොට රජතුමාගේ කණට කොඳුරා මොනවා හරි දෙයක් කියනවා. තව ඇමතියෙක් රජතුමා ආහාර පාන ගන්නට ගිය විට කණට කොඳුරා තව දෙයක් කියනවා. ඇතැම් විට රජතුමාට අවශ්‍ය දෙයක් කරගන්නට ලැබෙන්නේ නෑ.
එක් දිනක් රජතුමා සිරියහන් ගැබෙහි සැතැපී සිටියා. එතකොට රජතුමාට පණිවිඩයක් ආවා.
“දේවයන් වහන්ස, මට කතා කරගත යුතු වැදගත් කරුණක් තියෙනවා. එය පැවසිය යුත්තේ අනිවාර්යයෙන්ම ඔබවහන්සේ සමඟ පමණයි. ඔබවහන්සේ මුණගැසීම මට වුවමනාමයි.”
පණිවිඩකරු කියූ ආකාරයට රජතුමා සිතුවේ කිසියම් වැදගත් භාරදූර රාජකාරියක් අරභයා යම්කිසි කතාබහක් කරන්නට තියෙන බවයි. රජතුමා සිරියහනෙන් නැගිට්ටා. ඇමතියා අඬගැසූ තැනට ගියා. මෙතරම් කඩිමුඩියේ කලබලයේ බරපතල ආකාරයෙන් පැවසූ කරුණ කුමක්දැයි ඇසීමට රජතුමාත් විස්මයෙන් බලා සිටියා. නමුත් ඇමතියා ප‍්‍රකාශ කළේ කිසි වැදගැම්මකට නැති දෙයක්!
තව දිනක් වෙන ඇමතියෙක් කතා කළා.
“මෙය කිව යුත්තේ ඔබවහන්සේටමයි. මෙකරුණ වෙන කෙනෙක් සමඟ කතා කොට පලක් නැහැ. එනිසා ඔබවහන්සේව මට අසවල් තැනදී අනිවාර්යයෙන්ම මුණ ගැසෙන්නට ඕන.”
ඉතින් රජතුමා එතනට ගියා. අර ඇමතියා උගුර පාදලා, රැල්බුරුල් හැරලා, නළලෙහි රැළි නංවා, දෙකණ් සොළවා, උඩු රැවුල පිරිමැද කිසි වැදගැම්මකට නැති දෙයක් කිව්වා.
එක දවසක් තව ඇමතියෙක් රජතුමාට කිව්වා,
“රජතුමනි, මහා වැදගත් කරුණක් තියෙනවා. ඔබවහන්සේට මෙය සැළකිරීමට මහා උපස්ථාන ශාලාවට වඩින්නට ඕන. ඔබවහන්සේ වෙනුවෙන් සියලූ ආරක්ෂාව තියෙනවා. මේ කරුණේ වැදගත්කම සළකා ඔබවහන්සේ වඩින්න.”
රජතුමා කලබල වුණා. වහාම උපස්ථාන ශාලාවට සැපත් වුණා. එහි ආසනයෙහි වැඩසිටියා. අර ඇමතියා කලබලයෙන් ආවා. කිසි වැදගැම්මකට නැති කරුණක් කිව්වා. ඔය ආකාරයට රජතුමා ඇතා පිට සිටිද්දීත්, රාජ අශ්වයා පිට සිටිද්දීත් ඇමතිවරු ඇවිත් නොයෙක් දේවල් කණට කොඳුරනවා.
දවසක් රජතුමා දෝලාවක නැගී උයනට යමින් සිටියා. අතරමගදී ඇමතියෙක් හමුවුණා. දෝලාව නැවැත්තුවා. පණිවිඩයක් යැව්වා.
“රජතුමනි, ඉතා වැදගත් කරුණක් කතා කරන්නට තියෙනවා. මෙය කතා කළ යුත්තේ හුදෙකලාවේමයි. ඔබවහන්සේ දෝලාවෙන් බිමට සැපත් වී අසවල් ගස ළඟට වඩින සේක්වා.”
රජතුමා දෝලාවෙන් බැස්සා. ගස ළඟට ගියා. ඇමතියත් ආවා. දෙදෙනාම හුදෙකලා වුණා. ඇමතියා ඉතා හෙමිහිට රහසේ රජතුමාට කිව්වේ කිසි වැදගැම්මකට නැති දෙයක්.
දිනක් රජතුමා රාජ හස්තියා පිට නැගී ජනපද චාරිකාවේ යනවා. ඇමතියෙක් රජතුමාට පෞද්ගලිකව කතා කළ යුතු යැයි දන්වා සිටියා. රජතුමා ඇතු පිටින් බැස්සා. ඇමතියා ළඟට ගියා. ඇමතියා අත්වල ඇඟිලි පටලවාගෙන ශබ්ද ඇසෙනා ලෙස ඇඟිලි කඩමින් මහා ගරු ගාම්භීර ස්වරයෙන් කිසි වැදගැම්මකට නැති දෙයක් කිව්වා.
අන්තිමේදී රජතුමාට ඇමතිවරු දකින කොටත් වමනෙට ආවා. රාජකෘත්‍යය පිළිකුල් වුණා. හැමදෙයක්ම එපා වුණා.
“මොන වදයක්ද මේ…? මේ ඇමතිවරු හදන්නේ එක එක්කෙනා මට ළං වෙන්නයි. මුන්දැලාගේ අදහස හරි ආත්මාර්ථකාමියි. මට ළං වෙන්නේ මට ඇති ආදරයකට නොවෙයි. මගෙන් අයුතු ප‍්‍රයෝජනයක් ගන්නයි. කුමක් හෝ ලාභයක් ලබා ගන්නයි. මගේ ළඟට ළං වෙලා කණට කොඳුරන්නේ මුන්දැලාට ඇති අසනීපය කුමක්ද? එක එක්කෙනා පෙන්නන්නට හදන්නේ තමා තමයි රජතුමාට වඩාත් සමීප කියා ඉස්මතු කරන්නයි.මම තමයි මිතුරු,මම තමයි මිතුරු කියලා මට ලංවෙන්නයි හදන්නේ.හනේ හපොයි! මේ රජකමක් නිසා මං විඳින දුකක්!”
රජතුමා ටිකෙන් ටික හුදෙකලා වුණා. භාවනාවට පෙළඹුණා. ඇමතිවරු හිතු මනාපෙට රාජකෘත්‍යය කරගෙන ගියා. හොඳට හම්බ කළා. අල්ලස් ගත්තා. වංචා කළා. තමන්ට හිතවත් අයට තනතුරු දුන්නා. අහිතවත් අය තනතුරුවලින් පහ කළා.
දිනක් ඇමතියෙක් රජතුමා ළඟට ආවා.
“මහරජ්ජුරුවන් වහන්ස, ඔබවහන්සේ මං ගැන දන්නවානේ. මං මේ රාජ මාළිගයෙහි අවංකව සේවාව කරන ඇමතියෙක්. මෙතෙක් කලක් ඔබවහන්සේට ඇප උපස්ථාන කරපු දේට සම්මානයක් මට ඕනෙමයි. ඒ වෙනුවෙන් මං ඔබවහන්සේගෙන් ඉල්ලා සිටින්නේ අසවල් ජනපදයේ මහඇමතිකම මට භාර දෙන ලෙසයි.”
“නෑ… නෑ… එහෙම දෙන්න විදිහක් නෑ. ඔහේ කියන විදිහට කොහොමද මහඇමතිකම් දෙන්නේ? මං එය වෙන කෙනෙකුට දීලයි තියෙන්නේ.” රජතුමා මිතුරු බව පසෙකලා සැරට කීවා
ඇමතියා කිපුණා. නිශ්ශබ්දව සිටියා. වචනයක් කිව්වෙ නෑ. කෝපයෙන් හැරිලා ගියා. සේනාව සමඟ ජනපදය ආක‍්‍රමණය කළා. කෝළාහලයක් ලොකුවට ඇතිවුණා. ජනපදය භාරදුන් ඇමතියයි, විරුද්ධවාදීකම් කරන ඇමතියයි ඇවිදින් රජතුමාට පැමිණිලි කළා. එකිනෙකාට දොස් කියාගන්නවා. අපහාස කරගන්නවා. මේ ගාලගෝට්ටිය රජතුමාට මහ වදයක් වුණා.
“ඒක හරි වැඩක් නෙව. මෙවුන්ට ඇමතිකමුත් දුන්නා. මෙවුන් එකෙක්වත් සංතෝෂ කරන්න බැහැ නෙව.” රජතුමා කළකිරුණා. සඳළුතලයට නැංගා. භාවනා කරන්න පටන් ගත්තා. විසිරෙන සිත සංසිඳී ගියා. චිත්ත සමාධිය ඇතිවුණා. සමථ භාවනාව දියුණු වුණා. සිත වැඞී ගියා. මේ තෘෂ්ණාවට හේතුව විමසන්න පටන් ගත්තා. මේ සියල්ලට හේතුව වින්දනය බවත්, ආස්වාදය නිසාම තෘෂ්ණාව හටගන්නා බවත්, තෘෂ්ණාව නිසාම ඒ අරමුණට සිරවෙන බවත්, ඒ සිර වූ අරමුණෙන් නිදහස් විය නොහැකිව ඒ තුළම චේතනා පහළ කරමින් සිත, කය, වචනයෙන් කර්ම රැස් කරන බවත් වැටහෙන්න පටන් ගත්තා. රජතුමා තවත් ගැඹුරට විමසුවා. ප‍්‍රඥාව වැඞී ගියා. ඇල්ම නිසා හටගන්නා සියළු ආදීනව මැනැවින් වැටහී ගියා. අවබෝධයෙන්ම කළකිරුණා. නොඇල්ම ඇතිවුණා. සියල්ලෙන් නිදහස් වී ගියා. නිකෙලෙස් වුණා. අරහත්වයට පත්වුණා. පසේබුදුරජාණන් වහන්සේ නමක් බවට පත්වුණා.
ඇමතියෙක් දුවගෙන ආවා. “පින්වත් මහරජාණන් වහන්ස, තමුන්නාන්සේට විතරක් පැවසිය යුතු ඉතා වැදගත් කරුණක් තියෙනවා. මෙය නම් කියන්න ඕනමයි. ඒ නිසා ස්වල්පයක් මෙතැනට වඩින සේක්වා!”
“පින්වත් ඇමතිය, මේ රජකම නැමැති අවුලෙන් මං දැන් නිදහස්! මෙය මට අකැප දෙයක්. මෙය කෙරෙහි මගේ සිත දැන් පිහිටන්නේ නෑ. මට මෙයින් පලක් නෑ. මෙයින් නිදහස් වූ සිත උදාරයි. ඇල්ම රහිත වූ සිත මට මහ සතුටක් උපදවා දෙනවා. ඒ විරාගී සතුට තමයි දැන් මට අයිති දෙය.”
ඇමතියා කලබල වුණා. රජතුමා වෙනස්. වෙනදා කතා කරන රජතුමාට වඩා කිසියම් මුනිවරයෙකුගේ කතාබහක් රජුගේ වචන තුළින් ඉස්මතු වුණා. ඇමතිවරු රැස්වුණා. රජතුමාට කරුණු පැහැදිලි කළා.
“පින්වත් රජ්ජුරුවන් වහන්ස, ඔබවහන්සේ නිසාමයි අපි මේ සැපසේ වාසය කරන්නේ. ඔබවහන්සේ අපට ඉතාමත් ලෙන්ගතුව සිටියා. දැන් ඔබවහන්සේ අපෙන් වෙන් වූ කෙනෙක් වගේ කතා කරන්නේ. අපෙන් වරදක් වුණා වත්ද? අපේ ඒ වරදට කමා කරන සේක්වා! රාජ්‍යානුසාසනාව අපට ලබාදෙන සේක්වා! අපි ඔබවහන්සේට ලබැඳි සෙනෙහසින් රාජකෘත්‍යය කරන්නට කැපවී සිටින්නමෝ වෙමු.”
“ඇමතිවරුනි, රාජකෘත්‍යය මට අයත් දෙයක් නොවේ. මට අයත්ව තිබෙන්නේ හුදෙකලාවේ ලබන විරාගී සුවයයි. රුක් සෙවණක, ගිරි ගුහාවක, කඳු රැුළියක, ගං තෙර වැලි තලාවෙක හුදෙකලාවේ බවුන් වැඞීමයි මට අයත්ව තිබෙන්නේ.”
“පින්වත් රජ්ජුරුවන් වහන්ස, ඔබවහන්සේ පවසන දෑ ශ‍්‍රමණයන් වහන්සේලාගේ කෘත්‍යයටයි අයිති. පච්චේකබුද්ධ නමින් ශ‍්‍රමණ කොටසක් ඉන්නවා. උන්වහන්සේලා නම් ඔවැනි බස් පවසනවා. නමුත් ඔබවහන්සේ රජෙක් මිස ඒ වගේ කෙනෙක් නොවේ. ඔබවහන්සේ සුවඳ පැනින් නහා, සුවඳ ගල්වා, කෙස් සාදා, රන් රුවන් අබරණ පැළැඳ, සිනිඳු කසී සළු දරමින් රන් මිරිවැඩි පය ලා සිටින කෙනෙක්. පසේබුදුවරු වනාහී කෙස් රැවුල් බහා, කසා වත් දරා, පාත‍්‍ර අතෙහි දරා හුදෙකලාවේ පිඬු සිඟා වඩින ශ‍්‍රමණයන් වහන්සේලාය. එවැනි දෙයක් අපි ඔබවහන්සේගෙන් නොදකිමු.”
එතකොට රාජවේශයෙන් සිටි මෙතුමා හිස අතගෑවා. වස්ත‍්‍ර දෙස බැලූවා. ඒ සැණින්ම කෙස් රැවුල් අතුරුදහන් වුණා. ඉර්ධියෙන් කසාවත් පෙරවුණා. පාත‍්‍රයක් අත රැඳුණා. මිතුරු බවේ ආදීනව දැක නිකෙලෙස් උනා.මිහිරි ස්වරයෙන් මේ ගාථාව ප‍්‍රකාශ කොට පසේබුදුවරුන්ගේ ලොවට වැඩම කළා.
ආමන්තණා හෝතු සහාය මජ්ඣේ
වාසේ ඨානේ ගමනේ චාරිකාය
අනභිජ්ඣිතං සේරිතං පෙක්ඛමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ“මිත‍්‍රාමාත්‍යයන්ට මැදි වී සිටිද්දී කෙළවරක් නැති ආමන්ත‍්‍රණ තියෙනවා. වාසය කරන තැන, ඉන්න තැන, ගමන් යන තැන, චාරිකාවේ යන තැන කියලා නෑ. කණට කොඳුර කොඳුර කියනවා, ඉල්ලනවා. මෙයට මං කැමති නෑ. මං කැමති නිදහසටයි. ඒ නිදහසයි මං සොයමින් හිටියේ. ඇත්තෙන්ම මං දැන් හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”
සාදු! සාදු!! සාදු!!!
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්
සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴