කුමක්ද මේ “හැපි ග‍්‍රීන්ස්” ?

ව්. බොහෝ කලක් මුළුල්ලේ අපි කල්පනා කළා. අපට තේරුම් ගියා අනාගත ලෝකය ඉක්මනින්ම අඳුරු වෙන්නට ඉඩ තියෙන බව. එයට හේතුව දුර දිග නො බලා, නො සිතා අප විසින් කරන ලද අනුවණකම් ම යි. දැනටමත් අපේ බොහෝ දේවල් අපට අහිමි වෙලා අවසන්.

ඉතාමත්ම ලස්සන, ඉතාමත්ම සෝභාසම්පන්න, ඉතාමත්ම සාරවත් මේ පුංචි ධර්මද්වීපය නම් වූ ලක්මවගේ ඇකයේ වසනා දරු කැළ කිසිවගක් නැතුව අවාසනාවන්ත ඉරණමකට පෙළගැසෙන අයුරු දුටුවිට අපේ හදගැස්ම වැඩිවුණා. මෙයින් ගොඩ එන්නට කුමක් කළ යුතු දැයි බොහෝ කලක් තිස්සේ සිත සිතා සිටියා. එකිනෙකා සමඟ සාකච්ඡා කළා. අදහස් හුවමාරු කරගත්තා. නමුත් විසඳුමක් පේනතෙක් මානයකවත් තිබුණේ නෑ.

ගෞතම බුදුසසුන පවා ලක්මවගේ දරුවන්ට අහිමි වෙමින් තිබුණා. නො පෙනෙන සිහින ලෝකයක කේතුමතී රාජධානියේ බණ අසන්නට අවිද්‍යාව විසින් මිනිසුන් පෙළගස්වමින් තිබුණා. අතිවිශාල කැප කිරීම් මත නැවතත් ගෞතම බුදුසසුනෙහි අනුශාසනීය ප‍්‍රාතිහාර්යය කුමක්දැයි හඳුන්වාදෙන්නට අප සමත්වුණා. ඒ තුළින් අතිවිශාල පිරිසක් මුළුහදවතින් ම තෙරුවන් සරණ ගිය ශ‍්‍රාවකයන් බවට පත්වුණා. චතුරාර්ය සත්‍යය නැවත ඇසෙන්නට පටන් ගත්තා. කවුරු කවුරුත් ත‍්‍රිපිටකයත් මුද්‍රණය කරගත්තා. ඒ සියල්ල සිද්ධ වුනේ මහමෙව්නාව නිසාමයි.

ඔය අතරේ අපට ඇති බලවත්ම අර්බුදය දුර්භික්ෂය බව හොඳින් වැටහුණා. නමුත් ආධ්‍යාත්මික වශයෙන් ගොඩනගාගත් කිසිවක් නැතුව, දැක්මක් නැතුව, ඉලක්කයක් නැතුව, වැඩපිළිවෙලක් නැතුව, කැපවීමක් නැතුව එයට මුහුණදීමට අපහසුබව අපට හොඳින් වැටහුණා. ඒ ගැන බොහෝ කල්පනා කොට එයට විසඳුමක් වශයෙන් තමයි ‘හැපි ග‍්‍රීන්ස්’ බිහිවුණේ.

හැපි ග‍්‍රීන්ස්” ව්‍යාපෘතියට තේමාවක් තියෙනවා.

හැම දෙයට ම පළමුව අපට මිනිස්කම අවශ්‍යයයි. මිනිස්කම යටකොට පාගා දමා, කෙළෙහිගුණ නොදත් අසත්පුරුෂයින්ගෙන් ලබාගත හැකි යහපත කුමක්ද? එනිසා මනුලොව උපන් අප සෑම කෙනෙකුටම එකිනෙකා කෙරෙහි මානව දයාවක් අවශ්‍යය යි. හිතානුකම්පීබවක් අවශ්‍යය යි. කාරුණික බවක් අවශ්‍යය යි. එකිනෙකා කෙරෙහි ද්වේෂයෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන් බලනු වෙනුවට මානව දයාවෙන් යුතුව මිනිසත් වගට නෙත් කැලූම් හෙලන්නට හැකි වාසනාවක් අපට තිබිය යුතුයි. එනිසා මානව දයාවෙන් යුතුවීම ‘හැපි ග‍්‍රීන්ස්’ තුළ ඇති ජීවයයි!

අප අවට ඇති සෑම දෙයක්ම අපේ ජීවිතවලට තදින්ම බලපානවා. අපේ ඇසුරට අසත්පුරුෂයෙක් ලැබුණොත් ඒ හේතුවෙන් අප විනාශ වෙනවා. එලෙසින්ම අප අවට පරිසරය දූෂිත වුණොත් ඒ හේතුවෙනුත් අප විනාශ වෙනවා. එනිසා සත්පුරුෂ කළණමිතුරන් හඳුනාගෙන සතුටින් ඇසුරු කරන පරිද්දෙන් අප විසින් අප අවට පරිසරය සුවදායී පවිත‍්‍ර යහපත් වටපිටාවක් බවට පත්කරගත යුතුයි. අප අවට ඇති නිල් දිය දහර, සීතල හරිත වනය, සුවඳැති මල්, හමන සුළඟ, නැවුම් පොළොව පමණක් නොව තටු සළනා කුඩා සමනලූන් පවා අපගේ පරිසරයයි. මේ පරිසරයට සත්පුරුෂ කළණමිතුරන්ට පරිද්දෙන්ම අප ආදරය කළ යුතුයි. සෙනෙහෙ වැඩිය යුතුය. ආලවන්ත විය යුතුය.
සෑම කොළයක්ම, සෑම දල්ලක්ම, සෑම මලක්ම, සෑම වැහිබිඳුවක්ම, සෑම පස් බිඳක්ම තිබෙන්නේ අපට සෙත සලසන්නට නොවේද? එනිසා ඒ සෑම දෙයක්ම ආරක්ෂා කරගැනීම, හදාවඩා ගැනීම, පවිත‍්‍ර කරගැනීම මෙන්ම කුමන්ත‍්‍රණවලින් එයට වෙන විනාශය වළක්වා ගැනීම අපගේ යුතුකමයි. එනිසා පරිසරහිතකාමී වීම ‘හැපි ග‍්‍රීන්ස්’ තුළ ඇති උණුසුම් සුසුමයි!

තුන්වෙනි ලෝකයේ ණය බරින් පෙළෙන, නොමිනිස්කම් පිරි, වංචනික හොරුන්ගෙන් පිරි කඳුළු හෙලන දේශයක් බවට පෙරදිග ධාන්‍යාගාරය පත්කරන ලද්දේ ජාතිවාදී සහ ආගමික උමතුවෙන් පෙළුණු බටහිර ආක‍්‍රමණිකයන් විසිනි. ඔවුන්ගේ නිර්දය කුමන්ත‍්‍රණවල ආදීනව අප තවමත් විඳිමින් නො සිටිමුද? පෙරදිග මුතුඇටයේ සශ‍්‍රීකත්වය විනාශ කරන ලද්දේ ඔවුන් විසින් අටවන ලද උගුල්වලට හසුවූ හිස් මිනිසුන් නිසාය. එහෙත් අපේම ජවයෙන්, අපේම වීරියෙන්, අපේම ඤාණයෙන්, අපේම කැපවීමෙන් අපට අහිමි කරන ලද අපේම ලෝකය යළි ගොඩනගා ගැනීමට ආත්ම ශක්තිය ඇති බව අප දැනසිටිය යුතුමය. යළිත් අපි අපේ දෙපයින් නැගී සිටීමට වෙර දැරිය යුතුමය. එවිට කිසිවෙකුට අතනොපාන, ණය බරට යටත් නොවූ, බහුජාතික සමාගම්වල පුහු අනුකම්පාවට පෝළිමේ නොයන, අභිමානවත්, සශ‍්‍රීක සමාජයක් බිහි කළ හැකිය. ඒ සශ‍්‍රීකබව ‘හැපී ග‍්‍රීන්ස්’ තුළ ඇති ශක්තියයි!

ලොවම අසරණව සිටියදී අපට අසරණ නොවී සිටින්නට පැහැදිලි පිළිසරණක් ගෞතම බුදුසසුනෙන් ලැබී තිබෙන බව අප දැනසිටීමට තරම් බුද්ධිමත් විය යුතුය. එකිනෙකා මංමුලාවී, තරඟ වැදී සිටින නෙත් අඳ පිරිසක් සේ අසාර්ථක වූ මෙලොව පරලොව සුසුම් හෙළන ජීවිතයෙන් එතෙර වී අපට අපේම සිහිනුවණ මත, අපේ හිරිඔතප් රැකගෙන, අපේම දහම් මාවතේ යන්නට ගෞතම බුදුසසුනෙන් ලැබෙන උතුම් බුද්ධාවවාද නිරතුරුවම සූදානමින් වැඩසිටී. ඒ දහමෙහි රැඳී දිවි මඟ සරුකරගැනීම ‘හැපි ග‍්‍රීන්ස්’ තුළ ඇති සාරයයි!

එනිසා හැපි ග‍්‍රීන්ස් තේමාව තුළ ප‍්‍රධාන කරුණු හතරක් ඇතුළත් වේ. එනම් මානව දයාවෙන් යුතු, පරිසරහිතකාමී, සශ‍්‍රීක, ධම්මචාරී ජීවිතයයි.

හැපි ග‍්‍රීන්ස්” ව්‍යාපෘතියේ ඉලක්ක මොනවාද?

  • ‘හැපි ග‍්‍රීන්ස්’ හරිතයාය.
  • ‘හැපි ග‍්‍රීන්ස්’ හරිතයාය මගින් සියලූම දේශීය අල වර්ග, පළතුරු වර්ග සහ ධාන්‍ය වර්ග වගා කිරීම, ජල ව්‍යාපෘති සකස් කිරීම, පැළ බැංකු සකස් කිරීම, නැවත නැවතත් පැළ කළ හැකි බීජ වර්ග ලබා දීම. (ජාන වෙනස් නොකළ) නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීම. පුහුණු වැඩමුළු පැවැත්වීම. කුඩා ප‍්‍රමාණයේ පැළ සඳහා ජාන තාක්ෂණය හඳුන්වාදීම. කෙම් ක‍්‍රම හා ස්වාභාවික පොහොර හඳුන්වාදීම. දේශීය වශයෙන් සපයා ගත හැකි විවිධ ධාන්‍ය වර්ග, පළතුරු වර්ග සහ අල වර්ගවලින් ප‍්‍රණීත ආහාර වර්ග පිළියෙල කොට එය පොදු ජනතාවට ලබා දීම. එමෙන්ම අලූත් ආහාර වර්ග හඳුන්වාදීම සහ ප‍්‍රචලිත කිරීම.

  • ‘හැපි ග‍්‍රීන්ස්’ සාම සංදේශය.
  • ‘හැපි ග‍්‍රීන්ස්’ සාම සංදේශය මගින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනා සරල බසින් ලබා දෙන අතර, එම සදහම් වැඩසටහන් සීල සමාධි වැඩසටහන්, ධර්ම සාකච්ඡා සහ සිල්වතුන්ගේ උට්ඨාන වීරිය දියුණු කිරීම සහ සමඟි සම්පන්න වූ සහ සොබාදහම සමඟ සෙනෙහසින් අත්වැල් බැඳගත් සහෝදර පිරිසක් බිහිකිරීම.

මේ සියලූ දේ තුළින් බලාපොරොත්තු වන්නේ සොබාදහම සමඟ අත්වැල් බැඳගනිමින් කෘතගුණ දන්නා ගුණවත් පරපුරක් බිහිකිරීමයි.
ඒ අනුව,
  • සොබාදහමට ආදරය කරන, මව්බිමේ වටිනාකම හඳුනන, ළමා පරපුරක් බිහිකිරීම.
  • මුලු ජීවිත කාලයම මහපොළොව සමඟ වෙහෙසී අසීමිත දැනුම් සම්භාරයක් සමඟ සන්ධ්‍යාභාගය ගත කරමින් සිටින වැඩිහිටි ගොවියන් සොයා ගොස් ඔවුන්ට සත්කාර සම්මාන කිරීම සහ ඔවුන් ලද දැනුම බෙදා හදා ගැනීම යන තේමාවන් සඳහා මේ සියලූ කටයුතු ක‍්‍රියාත්මක වේ.
  • සොබාදහමට ආදරය කරන, මව්බිමේ වටිනාකම හඳුනන, ළමා පරපුරක් බිහිකිරීම.

මීට අමතරව ‘හැපි ග‍්‍රීන්ස්’ ව්‍යාපෘතියට අයත් සාමාජික සාමාජිකාවන් ‘හැපි ග‍්‍රීන්ස්’ ව්‍යාපෘතිය තුළින් උපයන ආදායම සුරක්ෂා කොට ඔවුන්ගේ ආදායම් දියුණු කරගැනීමට අවශ්‍ය මූල්‍යමය හා පුහුණුව ලබාගැනීමට අවස්ථාව උදාකරදීම, නිෂ්පාදන අලෙවි කිරීම සඳහා වෙළඳපොල සොයා දීම ආදියද බලාපොරොත්තු වේ.

‘හැපි ග‍්‍රීන්ස්’ සංවිධානය හා සම්බන්ධ වීමට කැමති ඔබට මහමෙව්නාව බණ්ඩාරවෙල අසපුව සමග සම්බන්ධ වී වැඩි විස්තර ලබා ගත හැකිය.

මහමෙව්නාව භාවනා අසපුව, කුඹල්වෙල, බණ්ඩාරවෙල. (90100)
දුරකතන – 057 4926447