පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් කලකට ඉහතදී පවත්වන්නට යෙදුණු ධර්ම දේශනාවකි.

(කලකට ඉහතදී පටිගත කළ දේශනයක් බැවින් ශ්‍රවණ තත්වය දුර්වල බව කරුණාවෙන් සළකන්න)

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

හසු ඉරියව්වකින් වාඩිවෙලා ටිකක් හයියෙන් හුස්ම ගන්න. දැන් හුස්ම ගන්න කොට තේරෙනව හුස්ම ඇතුළට යන ආකාරයත්, හුස්ම පිටවෙන ආකාරයත්. ඒක තේරුම් ගන්නයි දෙතුන් විටක් හයියෙන් හුස්ම ගන්න කිව්වෙ. මුලින් එහෙම කරන කොට ඇතුල් වෙන සහ පිටවෙන හුස්ම තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ ම් ආශ්වාස ප්‍රශ්වාස දෙසට තමන්ගේ සිහි නුවණ යොමු කරන්න. එහෙම යොමු කරගෙන මේ ආශ්වාස ප්‍රශ්වාස දිහා බලාගෙන ඉන්න. ඒ වෙලාවට බාහිර අරමුණු කිසිවක් සිහි කරන්නේ නෑ.

අපි කියමු ශබ්දයකට සිත යොමු වුණා කියලා. එතකොට තේරුම් ගන්න ඕන තමන් දැන් ආනාපාන අරමුණේ නැහැ කියලා. ඊට පස්සේ මේක නොවේය මගේ වැඩේ කියල නැවත ආශ්වාස ප්‍රශ්වාසයට හිත යොමු කරනවා. අපි හිතමු ඔහොම ඉන්න කොට වේදනාවක් ගැන තේරෙනවා කියලා. වේදනාවට සිත යොමු කරන්න එපා. ආශ්වාස ප්‍රශ්වාසයටම සිත යොමු කරන්න. ඊට පස්සේ අපි කියමු අතීත සිදුවීමක් මැවිලා පේනවා කියලා. ඒක පස්සේ යන්න එපා. ‘ආශ්වාස ප්‍රශ්වාසයේ හිත පවත්වාගෙන යන එකයි මට කරන්න තියෙන්නේ‘ කියලා ඒකට සිත යොමු කරනවා.

දැන් එතකොට තේරෙනවා ඇති මේ සඳහා හොඳ වීර්යයක් අවශ්‍යයි කියලා. මේ විදිහට සිත දුවන කොට සංවර කරගන්න වීර්යයක් අවශ්‍යයි. දැන් පුළුවන් බාහිර දේට සිත විසිරෙන්න දෙන්නෙ නැතිව ආශ්වාස ප්‍රශ්වාස අරමුණේ ටික වේලාවක් රඳවා ගන්න. එහෙම පුළුවන් වෙන කොට ඒකෙ වෙනස්කම හොඳට හදුනගන්නවා. හුස්ම දීර්ඝව ගන්න කොට හිතන්න දීර්ඝව හුස්ම ගන්නවා කියලා. හැබැයි පටන් ගන්න කොට හුස්ම ගන්න එක හිතින් මෙනෙහි කරන්න ඕන. හොඳට ප්‍රකට වෙන කොට සිත කම්මැලි වෙනවා. හිත කම්මැලි වෙලා මොකද වෙන්නේ? ආශ්වාස ප්‍රශ්වාස දිහා බලාගෙන ඉඳියි. මොකුත් මෙනෙහි කරන්නෙ නැතිව.

● ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට පිවිසෙන්න »