පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-5-7 වන දින කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේදී 2561 වෙසක් මංගල්‍යය නිමිත්තෙන් පවත්වන ලද ධර්ම දේශනය

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

පසු ගිය අප්‍රේල් මාසයේ 14 වෙනිදා අපි සැමරුවේ කීවෙනි අවුරුද්ද ද? අපි ඒක දන්නේ නෑ. එහෙනම් අපි සැමරුවේ අපි නොදන්නා කීවෙනි අවුරුද්ද කියලා දන්නේ නැති එකක්. වෙසක් මාසයේ එන අවුරද්ද අපි දන්නවා. මොකක්ද මේ අවුරුද්ද? ශ්‍රී බුද්ධ වර්ෂ 2561. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාලා අවුරුදු දෙදහස් පන්සිය හැට එකක් වෙනවා. වෙසක් කියන එකේ අදහස මොකක්ද? කවුරුහරි කියනවා නම් වේශයක් කියලා ඒක වැරදි අදහසක්. ඒක විකෘතියක්. අන්න ඒ විකෘතිය හදන්න කවුරුත් නෑ. ඊලග එක තමයි වෙනසක් කියන අර්ථය. ඒකත් වැරදියි. වෙසක් කියන්නේ ඒ පෝයේ නම. පෝයේ නම පාළියෙන් කියන්නේ වේසාඛ කියලා. ඒක සංස්කෘත භාෂාවෙන් කියනවා වෛශාඛ කියලා. සිංහලෙන් කියනවා වෙසක් එච්චරයි. මේ පෝය දවසේ තමයි අපේ විමුක්තිය උදාකරදෙන අපිට හැබෑම අර්ථය කියා දීපු, අපිව එක එක මිසදිටුවල ග්‍රහණයෙන් මුදවන්න නිරවුල් පාර කියා දීපු, සතර අපායෙන් මිදෙන්න මගක් තියෙනවා, මේ සතර අපායේ වැටි වැටී යන්නේ කියලා පැහැදිලිව පෙන්වා දීපු මේ භව ගමනින් එතෙර වන්න පුලුවනි කියලා පෙන්වා දීපූ ඊලගට දිව්‍ය ලෝක මෙහෙම මෙහෙම තියෙනවා කියලා පෙන්වා දීපු පිරිනිවන්පානකම්ම රැකවරනය දීපු අපේ ශාස්තෘන් වහන්සේගේ උපන්දිනේ. ඒ වෙසක් පුන් පොහෝ දවස.