“පුතේ… මෙහෙ එන්ට” කියා එදා ආච්චි මට කතා කළා. මාත් ඉතින් ආච්චි ළඟට ගිහින් වාඩිවුණා.

“පුතේ… මට කරුණක් ආරංචි වුණා. බලන්ට පුතේ… අර සිසිලියා නැන්දා…. ඔයා දන්නවා නේ කජුගෙදර වත්තේ නැන්දා…”

“ඔව්…. ආච්චි… සිසිලියා නැන්දාට මොකද වුණේ?”

“මොකද වුණේ…? ආං…. උන්දැ හොඳටෝම අසරණ වෙලා. දරුවෝ කවුරුවත් බලන්ට එන්නෑ. වැඩක් පලක් කර දෙන්ට කෙනෙක් නෑ. වත්තේ ආදායං අරං යන්ට නං එනවා ඇති… අනේ… පුතේ… මට දුක… මට හඬ හඬා දුක කීවා. ළමයින්ට උගන්නන්ට මහන්සි ගත්තු හැටි කීවා… ෂිහ්…. කෙළෙහිගුණ නැති දරුවෝ…”

“මේ කාලේ ආච්චි ගොඩාක් අයට කෙළෙහිගුණ නෑ කියලා අපිට ස්වාමීන් වහන්සේත් කීවා”

“ඔව් පුතේ… හැබැයි මිනිස්සුන්ට වඩා බල්ලන් ළඟ කෙළෙහිගුණේ තියෙනවා කියා හිතෙන කතාවක් මතක් වුණා පුතේ.”

“අනේ ආච්චියේ… මොකක්ද ඒ කතාව? මාත් ආසයි ඒ කතාව අහන්ට.”

“පුතේ, මේක දඹදිව වුණේ. ඒ කියන්නේ ඉන්දියාවේ. ඉතිං පුතේ… ඉන්දියාවේ චන්ද්‍රභාගා කියන ගඟ අසබඩ ‘හෝම’ කියාලා බ්‍රාහ්මණ ගමක් තිබුණා. ඔය ගමේ ‘මරුත්ත’ කියලා බ්‍රාහ්මණයෙක් උන්නා. දවසක් උන්දෑ වෙළඳාමේ ගියා තක්සිලාවට. ගොහින් ආපසු එනිං ගමන රාත්තිරි අම්බලමක නැවතුනා. ඔය අම්බලමේ කුෂ්ට රෝගයක් හැදිලා මවිල් ඔක්කෝම ගැලවුණු බල්ලෙක් අසරණ වෙලා කෙඳිරි ගගා ගුලි ගැහිලා හිටියා. මේ බල්ලා දැක්කාට පස්සේ මරුත්ත බ්‍රාහ්මණයාට හරී දුකයි පුතේ.

‘මේ බල්ලාට පිහිට වෙන්ට ඕනෑ’ කියලා හිතපු බ්‍රාහ්මණයා ඖෂධ වර්ග සොයාන ඒවායේ ඉස්ම ඇන්න මෝරුත් එක්ක කලවම් කොරලා හිටං අර බල්ලාට පෙව්වා. ඒ බෙහෙත හරි ගියා. බල්ලාගේ කුෂ්ට රෝගේ සුව වෙන්ට පටන් ගත්තා. බ්‍රාහ්මණයාත් ටික දොහක් අම්බලමේ නැවතිලා ඉන්නැද්දි දිගට ම බෙහෙත දුන්නා. බලාන ඉන්නැද්දි බල්ලා සනීප වුණා. දැන් බල්ලා වෙන කොහේවත් යන්නෙ නෑ මුන්දැගේ පස්සෙ ම යි. බ්‍රාහ්මණයා ආයෙමත් හෝම ගමට යද්දි බල්ලත් උන්දෑ පස්සේ ම ගියා.

ඉතිං පුතේ…. දැන් බල්ලා වාසය කරන්නේ මරුත්ත බ්‍රාහ්මණයාගේ ගෙදර. ඒ බ්‍රාහ්මණයාගේ බිරිඳට දරුවෙක් ලැබෙන්ට උන්නා. දරුවා බිහිවෙන අවස්ථාවේ මව්කුසේ ම මැරිලා හරස් අතට හිර වුණා පුතේ. හපොයි…. මේ සංසාරේ හැටි…. දැන් අම්මාටත් අමාරුයි. හණිකට වෙද්දු ගෙන්නුවා. අර මව් කුසේ මැරිච්චි දරුවා සැත් කටුවෙන් කඩ කඩා කැබලි කොරලා එළියට ගත්තා. මේක බලා සිටිය බමුණාට ගිහි ජීවිතේ එපා ම වුණා. අම්මා සනීප වුණාට පස්සේ ගිහි ජීවිතේ අත්හැරියා. වනේට ගොහිං තාපසයෙක් වුණා. කුටියක වාසය කළා.

ටික දවසක් ගියාට පස්සේ පුතේ, අර බිරිඳ වෙන පුරුෂයෙක් එක්ක හාද වෙලා පවුල් කන්ට පටන් ගත්තා. දවසක් ඒ ස්ත්‍රිය අර පුරුෂයාට මෙහෙම කීවා “හනේ ස්වාමී…. බලන්ට මයෙ මිනිහා මාව තනි කොරලා හිටං මහණ වෙන්ට ගිය හැටි. හප්පා…. නිදකිං…. මෙහෙම මිනිස්සු…. ඔය මිනිහාගේ මහණකොම සපල වෙන්ට එපා…. ඔහොම ඉන්නවා දකින්ටවත් මං කැමැති නෑ.”

“ඔයා කැමති ඒ මිනිහා කොහොම ඉන්නවා දකින්ට ද?”

“කොහොමවත් යහතිං ඉන්නවා දකින්ට මං කැමැති නෑ.”

“ඒ කියන්නේ ඔයැයි කැමති ඒ මිනිහා මැරෙනවා දකින්ට ද?”

“මේකනේ අනේ…. ඒකා ව නිකාම් ම මැරෙනවා දකින්ට කැමැති වුණාට එහෙම දකින්ට ලැබේයැ. ආං ඔහේ ගොහින් මරා දෑවොත් නං මට පාඩුවේ නිවී සැනසිල්ලේ ඉන්ට ඇහැකි.”

“ඇත්තට ම ද අනේ ඔයා කියන්නේ?”

“හෝ… මේං… ඔයැයි හිතුවේ මං බොරු දොඩනවයි කියාලා ද? නෑ… අනේ…. ඉහ්… ඉහි… මයෙ අසරණකම ගණනකට ගන්නැතිව මාව දාලා ගිය ඔය මිනිහා පණ පිටින් ඉන්නවා දකින්ට මං නං කැමැති නෑ… අනේ මයෙ දෙයියෝ… ඕකාව හණික කම්මුතු කොරලා දාන්ට.”

පුතේ, හරි වැඩක් නොවැ ඊට පස්සේ උනේ. ඒ ගෙදර අර බල්ලා උන්නා. ඌ හොඳට අසාගෙන හිටිය දෙන්නාගේ කුමන්ත්‍රණේ. එදා පටන් බල්ලා ඒ ගෙදර නැවතුනේ නෑ. කෙළින් ම තාපසින්නාන්සේගේ කුටියට ගියා. තාපසින්නාන්සේ ව ආරස්සා කොර ගන්ට ඕනෑ ම යි කියා හිතට ගත්තා.

ඉතිං පුතේ දවසද්දා අර පුරුෂයා ස්ත්‍රියගේ උසිගැන්නීම නිසා දුනු ඊතලත් ඇන්න තාපසයා මරන්ට හිතාන වනේට ගියා. එදා තාපසයෝ ඵලවැල නෙළන්ට වනේ ඇතුළට ගොහිං. කුටියේ දොරකඩ හිටියේ බල්ලා. තාපසයන් ඵලවැල ඇන්න එන පාරේ අර පුරුෂයා දුනු ඊතල ලෑස්ති කොරාන ඉන්නවා බල්ලා දැක්කා.

දැකලා හිටං බල්ලා හොරෙන් ම ගිහිං දුන්නේ ලණුව කැපුවා. බල්ලා එළවා ගත් මිනිසා ආයෙමත් දුන්නට ලණුව දමා ගැටගැසුවා. එතකොට බල්ලා ඉදිරියට පැනලා ආයෙමත් දුන්නේ ලණු කැපුවා. එතකොට මිනිහා දුන්නත් අරං එතනින් ගියා. බල්ලා පස්සෙන් ගියා. බල්ලාට තේරුනා අද නං තමන්ගේ ස්වාමියා ව මරන්ට ම යි මේකා යන්නේ කියලා. බල්ලාගේ හිතේ වාවාගන්ට බැරි ශෝක දුකක් හටගත්තා. ඌ පැනපු ගමන් අර මිනිහාගේ දෙපා හපාගෙන හපාගෙන ගියා. මිනිහා වැටුනා. එතකොට මුහුණට පැනලා හපන්ට පටන් ගත්තා. මිනිහා අසරණව වැටිලා හිටියා. බල්ලා තාපසයින්ට ඇහෙන්ට හයියෙන් බුර බුරා හිටියා.

තාපසයාට ඈත තියා බල්ලා කෑගසනවා ඇහිලා ඉක්මනින් ආවා. තමාව මරන්ට දුනු ඊතල ඇන්න ආ මිනිසා හොඳට ම අසරණව තුවාල වෙලා වැටී ඉන්නා හැටි දැක්කා. තාපසයා ඉක්මනින් ම ඔහුව නැගිටුවා කුටියට ගෙනිච්චා. ඖෂධ කොළ කොටා ඉස්ම පොවා බෙහෙත් ගල්වා ඔහුට උපස්ථාන කොට සුවපත් කළා. ඔහු නැවත එවැනි දෙයක් කරන්ට එන්නේ නැත කියා පිං දී පිටත් වෙලා ගියා.

තාපසයාට තවත් කලකිරීම වැඩි වුණා. කසිණ භාවනා කොරලා ධ්‍යාන අභිඤ්ඤා උපදවාගෙන මරණින් මත්තේ බඹලොව උපන්නා.

බලන්ට පුතේ… බල්ලා කෙළෙහිගුණය දැක්වූ හැටි. ඒ වගේම නේ පුතේ තාපසයාත් එයැයිව මරන්ට ආපු සොරා ව සුවපත් කොරලා පිටත් කරවන්ට කොයිතරම් මෛත්‍රියෙන් වාසය කොරලා ද! ඒ නිසා පුතේ අපි කොහොම හිටියත් අපට සැබෑම යහපත සැලසෙන්නේ මේ ගුණධර්ම නිසා ම යි. ගුණධර්ම නැතිව මොනවා තිබුණත් ඵලක් නෑ පුතේ….”

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ