“අයහපත ඇතිවෙන දේ නොකරන්න”

පින්වතුනේ, පින්වත් දරුවනේ, සෙල්ලමටවත් වැරැද්දක් කරන්න එපා. අනුන්ගේ අයහපතට හේතුවෙන දේවල් අත්හදා බලන්න යන්නත් එපා. එහෙම කරන්න ගිහින් එක් දෙවි කෙනෙක් අමාරුවේ වැටුණා. ඔහුට නිවන් අවබෝධ කරන තුරු එහි කටුක විපාක විඳින්නට සිද්ධ වුණා.

ඉස්සර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙ ඉතාමත් සිල්වත්, ඉතාමත් යහපත් යහළු භික්ෂූන් වහන්සේලා දෙනමක් හිටියා. මේ දෙනම එක මව් කුසේ උපන් සහෝදරයන් වගේ පුදුම ලෙන්ගතුකමකින් හිටියා. ඒ කාලෙ මිනිස්සුන්ගෙ ආයුෂ අවුරුදු විසිදාහයි. භික්ෂූන් වහන්සේලා පොහොය කළෙත් අවුරුදු පහකට හෝ අටකට වතාවක්. ඉතින් මේ පින්වන්ත ස්වාමීන් වහන්සේලා දෙනම පොහොය කිරීම පිණිස සංඝයා වැඩසිටින ඈත සෙනසුනක් බලා පිටත් වුණා.

තව්තිසා දෙව්ලොවට අයත් එක්තරා දේවතාවියක් මේ යහළු දමින් වෙලී සුවසේ සිල් රකින සුපින්වත් භික්ෂූන් දෙනම දෙස නිතර බැලුවා. දවසක් ඒ දේවතාවියට මෙහෙම හිතුණා.

‘හරී පුදුම සමගියක්නේ… මේ ඇත්තන්ගේ සමගිය කවදාවත් කිසිවෙකුටවත් බිඳලන්න බැරි එකක්ද? කෝකටත් මං අත්හදා බලන්න ඕන’ කියලා ඇය ඒ සඳහා ක්‍රමයක් කල්පනා කළා.

එදා පොහොය කිරීම පිණිස වඩිමින් සිටි එක් භික්ෂුවකට වැසිකිලි යාමේ අවශ්‍යතාවයක් ඇතිවුණා. ඉතින් අනෙක් භික්ෂුවට ‘ඔහොම ඉන්න’ කියා අර භික්ෂුව පහළ කැලෑව පැත්තට ගියා. එවේලෙහි අර දේවතාවිය ගැහැණියකගේ වෙස් අරගෙන අනිත් භික්ෂුවට පෙනෙන ලෙසින් කැලෑව පැත්තට ගියා. එහෙම යද්දි එක් අතකින් කෙස් කළඹ කඩා ගත්තා. අනිත් අතින් ඇඳ සිටි වස්ත්‍රය බුරුල් කරගත්තා. ‘මේ මොකක්ද වෙන්නේ…?’ කියලා පාරේ සිටි භික්ෂුව අදහාගත නොහැකි පුදුමයකින් බලා සිටියා. වැසිකිලි ගිය භික්ෂුව නැවත එන්න ටිකක් වෙලා ගියා. ඒ දෙසම හොඳින් බලා සිටින අනිත් භික්ෂුවගේ සැකය බලවත්ව වැඩුණා. වැසිකිලි ගිය භික්ෂුව ආපසු වඩිද්දි නැවතත් අර ස්ත්‍රිය එතනින් එහාට මෙහාට ගියා.

“ඇවැත්නි, යසයි වැසිකිලි ගිය අපූරුව…. පැවිදි ජීවිතයට කරගන්න තියෙන විපත කරගත්තා නේද?”

වැසිකිලි ගිය අහිංසක භික්ෂුව මේ කිසිවක් දන්නෙ නෑ. උන්වහන්සේ පුදුමයට පත්වුණා.

“ඇවැත්නි, මොකක්ද ඔබවහන්සේ මේ කියන්නේ? මං වැසිකිලි ගියා විතරයි. මගේ මහණකමට හානියක් වුණේ නෑ.”

“ආ… එහෙමද? ඒකද අර පිටිපස්සෙන් ආපු වල් ගෑණි කොණ්ඩෙ කඩාගෙන, රෙදි ගලවගෙන එහාට මෙහාට කලබලෙන් දිව්වේ…? ඒ මොකෝ…?”

“ඔබවහන්සේ මොනවද මේ කියන්නේ…? එහෙම ගැහැණියක් මං දැක්කේ නෑ…!”

“මේ…. ආයුෂ්මතුන්…. ගහ දන්න මටද කොළ කඩාපාන්න එන්නේ…? මගේ ඇස් පනාපිට මං දැක්ක දේ ද කිසිවක් වුණේ නෑ කියල කියන්නේ…?”

“අනේ ආයුෂ්මතුන් වහන්ස, මෙතෙක් මං ඔබවහන්සේට බොරු කියලා නෑ. මගේ පැවිදි ජීවිතයට මං කිලුටක් කරගෙන නෑ… මේ අත්දෙකෙන් ස්ත්‍රියක් ස්පර්ශ කරලා නෑ… මේ ශරීරයේ ස්ත්‍රියක් ගෑවිලාවත් නෑ…. එහෙව් පාරිශුද්ධ බඹසර රකින මාවද දැන් ඔබවහන්සේට සැක…? ඔබවහන්සේට අමනුස්සයෙක්වත් වැහුණාද?”

“හා….! ඇති ඇති. තමුන්නාන්සේගේ බඹසර ගැන මං දැන් දන්නවා…. වැඩි කතා ඕනෙ නෑ… හැබැයි එකක් මතක තියාගන්න. මේ මොහොතෙන් පසු තමුන්නාන්සේ සමඟ මගේ ගණුදෙනුවක් නෑ…. තමුන්නාන්සේ යන පාරෙ එන්න මට අවශ්‍ය නෑ… මං යන පාරේ තමුන්නාන්සේ එන්න එපා…!” කියලා ඒ භික්ෂුව අර භික්ෂුව පිළිකුල් කොට ගරහා පිටත්ව ගියා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, දෙවිවරුන් ගැනත් අපට හිතන්න දේවල් මේ කතාවලින් තේරෙනවා නේද? කේලාම් කියන, බොරු කියන, ඇත්ත කණපිට හරවන මෝඩ දෙවිවරු ඉන්න බව අපි තේරුම් අරගෙන සිටිය යුතුයි. නැත්නම් සාස්තර වලිනුත් මුලා වෙලා සණ්ඩු සරුවල් ඇතිවෙන අවස්ථා මොනතරම් තියෙනවද? යහපත් මිනිස්සුන්ට චෝදනා කරන අවස්ථා කොච්චර තියෙනවද?

ඉතින් අර භික්ෂුව කිසි වගක් නැතුව කරබාගෙන පොහොය කරන තැනට පිටත් වුණා. පොහොය ගෙයි සංඝයා වාඩි වී සිටියා. මේ භික්ෂුව වඩිද්දීම අනිත් යහළු භික්ෂුව නැගිට්ටා.

“අද මට පොහොය කරන්න බැහැ. සංඝයා අපිරිසිදුයි!”

අනිත් භික්ෂූන් පුදුමයෙන් වගේ බලා සිටියා.

“ඔන්න දැන් ආපු තැනැත්තා භික්ෂුවක් නෙවෙයි. නිකං සිවුරු පොරවාගෙන ඉන්න කෙනෙක්. මගේ දෑස් ඉදිරියේමයි කැලේ හිටපු වල් ගෑණියක් එක්ක එකතුවෙලා සිල් බිඳගත්තේ….”

අනිත් භික්ෂුව හඬා වැටුණා.

“අනේ පින්වත් මහා සංඝයා වහන්ස, මේ සත්තක්මයි කියන්නේ. මං වැසිකිලි ගියා විතරයි. ඔය කියාපු එක ගැහැණියක්වත් මං නම් දැක්කෙ නෑ… මගේ සීලයට අබමල් රේණුවක තරම්වත් හානියක් වෙලා නැහැ.”

දැන් සංඝයා අතර මහා කලබගෑනියක් හටඅරන්. පෝය කරන්න විදිහක් නෑ. සීලය පිළිබඳ අර්බුදයක් පැනනැංගා. මේ ඔක්කොම දේවල් කරලා කුමක්ද වෙන්නේ කියලා නොපෙනී බලා සිටිය දෙව්දුව තැතිගත්තා. තමා ගෙන් බරපතල හානියක් සංඝයාට සිදුවූ බව තේරුම් ගියා. සංඝයා ඉදිරියේ දෙව්දුව පෙනී සිටියා.

“ස්වාමීනී, මාගේ වචනයට සවන් දෙන්න. මං මේ ස්වාමීන් වහන්සේලා දෙනමගේ මිත්‍රත්වය ස්ථිරද, අස්ථිරද කියලා පරීක්ෂා කරන්නයි ඒක කළේ. ගැහැණියකගේ වේශයෙන් එතන හැසිරුණේ මමයි. මේ භික්ෂූන් වහන්සේ සිල්වත්. ඒ වගේම නිර්දෝෂියි. එනිසා මුන්වහන්සේ සමඟ සංඝයා පොහොය කරන සේක්වා!”

එතකොට අර චෝදනා කළ භික්ෂුව නිශ්ශබ්ද වුණා. සංඝයා පොහොය කළා. හැබැයි පරණ මිත්‍රත්වය අවසන් වුණා. දේවතාවිය තම ආත්මභාවයෙන් චුත වෙනවාත් සමඟම අවීචි මහා නිරයේ උපන්නා. එක් බුද්ධාන්තර කල්පයක්ම ඒ නිරයේ පැසුණා. කුමක්දෝ වාසනාවකට අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමයෙහි සැවැත් නුවර කුමාරයෙකුව උපන්නා. තරුණ වියෙහිදී ගිහි ගෙය අත්හැරියා. ගෞතම සසුනෙහි පැවිදි වුණා. උපසම්පදා වුණා. පැවිදි වූ දා සිට එක්තරා ස්ත්‍රියගේ සෙවණැල්ලක් මේ භික්ෂුවගේ පිටිපස්සෙන් යනවා. හැබැයි පිට අයට විතරයි පේන්නේ. තමන්ට පේන්නෙ නෑ. ඒ නිසාම උන්වහන්සේට ‘කුණ්ඩධාන’ යන නම ලැබුණා. භික්ෂූන් වහන්සේලා අනේපිඬු සිටාණන්ට මෙය සැළකළා.

“සිටුතුමනි, මේ දුස්සීල පුද්ගලයා දෙව්රමින් බැහැරට දමන්න. මොහු නිසා සංඝයා මහත් අපකීර්තියට පත්වෙනවා.”

“ඇයි ස්වාමීනී, එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ දෙව්රමෙහි වැඩ නොසිටින සේක්ද?”

“සිටුතුමනි, බුදුරජාණන් වහන්සේ වැඩසිටිනවා.”

“එසේ නම් ස්වාමීනී. කළ යුතු දේ ශාස්තෘන් වහන්සේ දන්නා සේක” කියලා සිටුතුමා නිශ්ශබ්ද වුණා.

ඒ ගමන භික්ෂූන් වහන්සේලා ගිහින් විශාඛාවගේ කනේ තිබ්බා. විශාඛාවගෙන් ලැබුණෙත් ඒ පිළිතුරමයි. මේ භික්ෂුව නෙරපනකම් අනිත් භික්ෂූන්ට නින්ද යන්නෙ නෑ. බැරිම තැන කොසොල් රජ්ජුරුවො මුණගැහෙන්න ගියා.

“රජ්ජුරුවන් වහන්ස, කුණ්ඩධාන නමින් අපේ දෙව්රම් වෙහෙරේ දුස්සීල භික්ෂුවක් ඉන්නවා. වල් ගැහැණියක් එල්ලගෙන හැමතැනම යන්නේ. අපට ලැජ්ජාවේ බෑ. සංඝයාට මහා අවනම්බුවක්… අනේ රජතුමනි, කොසොල් රටින් මේ භික්ෂුව නෙරපා හරින්න…”

“හරි! කියන්න ස්වාමීනී, කොහේද ඔය පුද්ගලයා ඉන්නේ…?”

“ආන්න අසවල් තැනයි ඉන්නේ….”

“හරි! මම්ම ගිහිල්ලා අතට අල්ලා ගන්නම්” කියලා රජතුමා සවස ඒ භික්ෂුව සිටින තැනට ගියා. මිනිසුන් ලවා කුටිය වට කෙරෙව්වා. මේ ඝෝෂාව ඇහිලා භාවනා කරමින් සිටි කුණ්ඩධාන භික්ෂුව කුටියෙහි දොර ඇරගෙන ඉදිරියට ආවා. හරි පුදුමයි! දැන් රජතුමාටත් පේනවා. අසංවර ඉරියව්වෙන් ගැහැණියක් හැසිරෙනවා නෙව. කුණ්ඩධාන තෙරුන් රජතුමාව හඳුනාගත්තා. රජතුමා තෙරුන්ට වැන්දේ නෑ. කෙලින්ම කුටිය ඇතුළට ගියා. හැමතැනම බැලුවා. දොර අස්සේ, ඇඳ යට කොහෙවත් නෑ.

“කෝ මෙතන හිටිය ගෑණි…?”

“අනේ රජතුමනි, මං නම් දැක්කෙ නෑ…”

“එහෙනම් ස්වාමීනී, දැන් ආයෙත් ඇතුළට වඩින්න.”

කුණ්ඩධාන තෙරුන් කුටිය ඇතුළට වැඩියා. ආයෙත් අර ස්ත්‍රිය පේන්න ගත්තා. රජතුමා පෙරට පැන්නා. ඒ ස්ත්‍රී රූපය නොපෙනී ගියා. ස්ත්‍රී රූපය පේනවා. නැතුව යනවා.

“ස්වාමීනී, එතකොට කවුද ඒ ගෑණි? දැන් මමත් දැක්කනේ….”

“අනේ රජතුමනි, මේ ස්වාමීන් වහන්සේලාත් කියනවා. මට පේන්නෙ නැහැනේ…”

“එහෙනම් ස්වාමීනී, ඔහොම හිටගන්න.”

රජතුමා බලන් හිටියා. ආයෙමත් පිටිපස්සෙන් පේනවා. රජතුමා ඒ තෙරුන්ගේ පිටිපස්සට ගියා. එතකොට ඒ ස්ත්‍රී රූපය නෑ.

“ස්වාමීනී, දැක්කා නේද? ඔය කැරකෙන්නේ…?”

“අනේ රජතුමනි, මං දැක්කෙ නෑ…”

මේ ඉන්නේ සැබෑ ස්ත්‍රියක් නොවන බව රජතුමා තේරුම් ගත්තා. රජතුමාගේ ඤාණවන්ත පරීක්ෂණය නිසා ඒ භික්ෂුවට ලොකු පහසුවක් ඇතිවුණා. කිසිවක් හරියාකාර ලෙස නොවිමසූ භික්ෂූන් වහන්සේලා කළේ අර අහිංසක භික්ෂුවට විරුද්ධව නින්දා අපහාස කිරීම පමණයි.

රජතුමා අර භික්ෂුවට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, මේක ටිකක් බරපතල දෙයක් බව පේනවා. ඔබවහන්සේ පිණ්ඩපාතෙ වඩින්න ඕන නෑ. ඔබවහන්සේට කරදර වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා හෙට සිට ඔබවහන්සේ මාළිගයට වඩින්න. මං දානය සූදානම් කරන්නම්. මං සිව්පසයෙන් උපස්ථාන කරන්නම්” කියලා රජතුමා භික්ෂූන් වහන්සේලා ඇමතුවා.

“පින්වත් ස්වාමීන් වහන්ස, කුණ්ඩධාන තෙරුන්ගේ පාඩුවේ බණ භාවනා කරගැනීමට ඉඩහරින්න. සිව්පසයෙන් උපස්ථාන කරන එක මං කරන්නම්.”

භික්ෂූන් වහන්සේලා නිශ්ශබ්දව හිටියා. රජතුමා ගිය විට රජතුමාටත් බනින්න පටන් ගත්තා.

“පව්කාර රජෙක්. අපි ඉල්ලා හිටියේ මේ පුද්ගලයාව විහාරයෙන් එලවන්න. උන්දෑ ඇවිත් සිව්පසයෙන් උපස්ථාන කරන්නත් භාරගත්තා…. ඒයි කුණ්ඩධානයා… ඒයි දුස්සීලයා…. දැන් නුඹ රාජකුණ්ඩයෙකුත් වුණා නේද?” කියලා අපහාස කරන්න පටන් ගත්තා.

ඉවසන්න බැරිම තැන කුණ්ඩධාන භික්ෂුව ද පිළිතුරු දෙන්න පටන් ගත්තා.

“නුඹලයි දුස්සීල… නුඹලයි කුණ්ඩයො… නුඹල වෙන්නැති ගෑණුත් එක්ක ලගින්නෙ….” සිල්වතුන් වහන්සේලාට කුණ්ඩධාන තෙරුන් නින්දා කරනවා කියා බුදුරජාණන් වහන්සේට පැමිණිල්ලක් ගියා. සියලු භික්ෂූන් කැඳවා කරුණු විමසූ භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

“පින්වත් කුණ්ඩධාන, ඔබ මේ භික්ෂූන් පිටුපසින් ගැහැණුන් යනවා දැක්කාද?”

“නෑ… ස්වාමීනී”

“එසේනම් ඔබ ස්ත්‍රීවාදයෙන් මේ භික්ෂූන්ට චෝදනා කරන එක වැරදියි. ඔබගේ පිටුපසින් ස්ත්‍රියක් එනවාය කියන කරුණ සත්‍ය එකක්. ඔබට එය පේන්නෙ නැත්තෙ ඔබගේ කර්ම විපාකයක් නිසා. කාශ්‍යප තථාගතයන් වහන්සේගේ කාලයේදී ඔබ අතින් සිදුවූ වරදක් නිසයි එහෙම වෙන්නේ. ඉතින් මේ භික්ෂූන් වහන්සේලාට දොස් පවරන්න ගිහින් ආයෙමත් අවුලේ වැටෙන්න එපා!” කියලා අතීත ප්‍රවෘත්තිය විස්තර කරලා දුන්නා. අනිත් භික්ෂූන් වහන්සේලාටත් කරුණු පැහැදිලි කළා.

“පින්වත් මහණෙනි, මේ භික්ෂුව සිල්වත්. නමුත් අර කර්ම විපාකයේ ඉතුරු කොටසයි ඔය ගෙවන්නේ. ඒ නිසා මේ භික්ෂුව කෙරෙහි අනුකම්පා කරන්න. නැවත ඔය ප්‍රශ්නය ඇදල ගන්න එපා…!

පින්වත් කුණ්ඩධාන, කවුරු මොනවා කිව්වත් නිශ්ශබ්දව ඉන්න. යකඩ බඳුනක කට කැඩුණා වගේ නිහඬව ඉන්න. ඕන දෙයක් කියන්න අරින්න. බණ භාවනා කිරීමට බාධාවක් කරගන්න එපා… ඔබට ඉක්මනින්ම නිකෙලෙස් වෙන්න මේක හොඳ පාඩමක්….”

ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ ඉස්මතු කරමින් ඉතා ලස්සන ධර්මාවවාදයක් මේ ගාථාරත්නයන් තුළින් පෙන්වා වදාළා.

මා’වෝච ඵරුසං කඤ්චි - වුත්තා පටිවදෙය්‍යු තං
දුක්ඛා හි සාරම්භකථා – පටිදණ්ඩා ඵුසෙය්‍යුං තං

කාටවත්ම නපුරු වදන් නොකියා ඉන්න – එහෙම වුණොත් ඒවි අනිත් අය බැණගන්න
කෝලාහල ඇතිවෙන තැන දුකමයි ඔන්න – කරදරයට වැටෙන්නෙ ඔබ බව දැනගන්න

ස චේ නේරේසි අත්තානං - කංසෝ උපහතෝ යථා
ඒස පත්තෝ’සි නිබ්බාණං - සාරම්භෝ තේ න විජ්ජති

ලෝහ බඳුන කැඩුණ වගේ නිහඬව ඉන්න – තමන්ගෙ වචනය වරදින් මුදවාගන්න
අවුලක් හටනොගන්න ලෙස සංසුන් වෙන්න – සසරේ හැටි දැන ඔබ මේ නිවනට යන්න


පින්වතුනේ, පින්වත් දරුවනේ, දැක්කා නේද අත්හදා බලන්න ගිහින් වෙච්චි දේ. අනුන්ගේ දේවල්වලට ඇඟිලි ගහන්න යන්න එපා! අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරට ගන්න එපා! ඒ කියන්නේ සමහරු බළල්ලු ලවා කොස් ඇට බාවගන්නවා. තමන්ට කරගන්න බැරි වැඬේ අනුන් ලවා කරවා ගන්නවා. තව කෙනෙක් කෙලින්ම බනින්නෙ නෑ. අනිත් අය ලවා බන්නවනවා. එවැනි දේවල්වලට අහු වෙන්න යන්න එපා. මේ භයානක සසරේ කොයි විදිහට විපාක දෙයිද කියලා කවුද දන්නේ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ