“බුදු පිහිට අසිරිමත්”

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපගේ නිවෙස්වල වුණත් විශේෂ අවස්ථාවන්හිදී භික්ෂූන් වහන්සේලා වඩම්මලා දන් පැන් පූජා කරනවා. මගුල් උත්සව ආදියේදීත් ඇතැම් සැදැහැවතුන් සංඝයා වඩම්මවා දන් පැන් ආදිය පූජා කරන අවස්ථා තියෙනවා.සැදැහැවත් බිරිඳ

සැවැත් නුවර සැදැහැවත් පවුලක් හිටියා. ඔවුන්ගේ නිවසට කුලදැරියක් කැන්දාගෙන එන ආවාහ උත්සවයක් තිබුණා. ඒ වෙනුවෙන් නිවැසියන් කල්පනා කළේ හැමට පළමු භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වඩම්මවා දානයක් පිරිනැමීමටයි. ඔවුන් ඉතා ශ්‍රද්ධාවෙන් දානය සම්පාදනය කළා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වැඩැම්මුවා.සැදැහැවත් බිරිඳ.සැදැහැවත් බිරිඳ

අලුත් මනාලියත් ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුක්තයි. ඈ ලස්සන ඇඳුමක් ඇඳගෙන භාග්‍යවතුන් වහන්සේටත්, භික්ෂු සංඝයාටත් ඇප උපස්ථාන කරමින් කඩිනමින් එහාට මෙහාට යනවා. ඇය සරණ පාවාගත් තරුණයා ඇය කෙරෙහි ලොල් සිතින්මයි වාසය කළේ. දැන් ඔහුගේ සිතේ පිනක් ගැන කල්පනාවක් නෑ. ඔහු ඈ දෙස බලාගත්වනම සිටියා. ඔහු හරි පීඩාවෙන් සිටියේ. සිතට සැනසිල්ලක් තිබුණේ නෑ. ඇය සමඟ හුදෙකලාවේ වාඩිවෙලා කතාබස් කරන්නට ආසාවෙන් හිටියා. ඇය ගැන රාග සිතුවිලි ඇතිවුණා.

මේ තරුණයා මාර්ගඵල ලැබීමට පින් ඇති කෙනෙක්. අර දියණියටත් මගඵල ලැබීමේ පින තියෙනවා. නමුත් මේ තරුණයාගේ සිත දැන් මේ පින්කම කෙරෙහි යොදවාගන්නට බෑ. ඔහු බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළෙත් නෑ. උතුම් රහතන් වහන්සේලාට උපස්ථාන කළෙත් නෑ. ඔහුට සිතුනේම තමන්ගේ පියකරු යොවුන් බිරිඳ අතින් ඇදගෙන ගිහින් හිනහවෙවී කතාබස් කරමින් ඉන්නයි.

ඒ මොහොතේදී මේ පිරිසගේ චිත්ත ස්වභාවයන් බැලූ භාග්‍යවතුන් වහන්සේට කෙලෙස් නිසා අසරණ වී සිටින තරුණයාගේ සිත පෙනුණා. භාග්‍යවතුන් වහන්සේ ඒ තරුණයාට මෙම ස්ත්‍රිය නොපෙනෙන්න අධිෂ්ඨාන කළා. එතකොට තරුණයාට ඒ ස්ත්‍රිය නොපෙනී ගියා. තරුණයාගේ සිත භාග්‍යවතුන් වහන්සේ දෙසට යොමු වුණා. ස්ත්‍රිය පිළිබඳ කල්පනාව වෙනස් වුණා. හිතේ ශ්‍රද්ධාව ඇතිවෙන්න පටන් ගත්තා. තරුණයා දැන් බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන ඉන්නවා.

“පින්වත් දරුව, රාගය සමාන ගින්නක් නම් තවත් නැහැ නේද? ද්වේෂය සමාන කිලුටකුත් නැහැ නේද? මේ පංච උපාදානස්කන්ධය පරිහරණය කිරීමේ දුක තරම් වෙනත් දුකක් නෑ නේද? ඒ වාගේම තමයි තරුණය, අමා නිවන් සුව හා සමාන වෙනත් සැපයකුත් නෑනේ…”

මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ ඉතා මිහිරි ස්වරයෙන් මේ ගාථාරත්නය වදාළා.

නත්ථි රාගසමෝ අග්ගි – නත්ථි දෝසසමෝ කලි
නත්ථි ඛන්ධාසමා දුක්ඛා – නත්ථි සන්තිපරං සුඛං

වෙන ගින්නක් නැත මෙලොවේ – රාග ගින්න තරම් දැවෙන
වෙන කිලුටක් නැත මෙලොවේ – ද්වේෂය සම කිලුට තරම්
වෙනත් දුකක් නැත මෙලොවේ – පස්කඳ පරිහරණ තරම්
වෙනත් සැපක් නැත මෙලොවේ – අමා නිවන් සුවය තරම්

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලස්සන ගථාව ඇසූ වේලෙහි අර තරුණයාටත්, තරුණියටත් හොඳට වැටහුණා. දෙදෙනාම සෝවාන් ඵලයට පත්වුණා. ඊට පස්සේ තමයි තරුණයාට අර ගෑණු ළමයාව පෙනුනේ. විවාහ වෙච්ච ගමන් මාර්ගඵල ලබන්න වාසනාව ලැබුණා කියන්නේ ලෝකයේ සිදුවෙන අතිශයින්ම දුර්ලභ දෙයක්. මෙවැනි යහපතක් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ පමණයි සිදුවන්නේ. ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේ නිසා ලොවට සිදුවන යහපත වචනයෙන් කිව නොහැකි තරම්.

                                                                                                                                                                                                                                                                                                                   පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

 

 තවත් මෙවැනි ලස්සන කතා කියවන්න ඔබ කැමති නම් පිවිසෙන්න >>>

සැදැහැවත් බිරිඳ