බුදුවරු පිදුමට සුදුසු වෙති

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ මහා භද්‍ර කල්පයෙහි බුදුවරයන් වහන්සේලා සතර නමක් පහළ වුණා. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප සහ ගෞතම යන බුදුරජාණන් වහන්සේලායි පහළ වුණේ. අපේ බුදුරජාණන් වහන්සේට පෙර පහළ වුණේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේයි. නමුත් උන්වහන්සේගේ පහළ වීමට අදාළ කිසිම ඓතිහාසික තොරතුරු ඒ වෙද්දි ඉතුරු වෙලා තිබුණෙ නෑ. හැම දෙයක්ම අනිත්‍ය වෙලා ගිහින්. නමුත් අපගේ භාග්‍යවතුන් වහන්සේට ඇතැම් අවස්ථාවන් හිදී ඒවා මතක් වෙනවා. මෙයත් එබඳු අවස්ථාවක්.

එදා අපගේ භාග්‍යවතුන් වහන්සේ චාරිකාවේ වඩිමින් සැවැත් නුවරින් පිටත් වුණා. බරණැස බලා වඩිමින් සිටියා. ඔය අතරමග තෝදෙය්‍ය කියන ගමකට ආසන්න වුණා. ඔය ප්‍රදේශයේ ඉතා ප්‍රසිද්ධ දේවාලයක් තිබුණා. බුදුරජාණන් වහන්සේ භික්ෂුසංඝයා පිරිවරාගෙන ඒ දේවාල භූමියට වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ එහි එළිමහනේ සඟල සිවුර අතුරා වාඩිවුණා. ආනන්දයන් වහන්සේ ඇමතුවා.

“පින්වත් ආනන්ද, ආන්න අර කුඹුරේ ගොවිතැන් කරන බ්‍රාහ්මණයාට එන්න කියන්න.”

ආනන්ද ස්වාමීන් වහන්සේ එතැනට ගිහින් බ්‍රාහ්මණයාට කතා කළා. බ්‍රාහ්මණයා පැමිණියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළේ නෑ. නමුත් දේවාලයට වන්දනා කොට හිටගත්තා.

“පින්වත් බ්‍රාහ්මණය, මෙම ස්ථානය මොකක් කියලද මේ අය හිතන් ඉන්නේ?”

“භවත් ගෞතමයන් වහන්ස, අපේ පරම්පරාවෙන් පරම්පරාවට පැමිණි චෛත්‍යස්ථානයක් කියලයි අපි දන්නේ. ඒ නිසයි අපි වඳින්නේ.”

“පින්වත් බ්‍රාහ්මණය, බොහෝම හොඳයි. මෙම ස්ථානයට වන්දනා කිරීමෙන් යහපත් දෙයක් කරගත්තේ.”

බුදුරජාණන් වහන්සේ විසින් ඒ බ්‍රාහ්මණ ගොවියාට මෙසේ ප්‍රශංසා කළ නිසා භික්ෂූන් වහන්සේලාට මේ ගැන තේරුම් ගන්නට බැරිව ගියා. විවිධ අදහස් ඇතිවුණා. සැක සංකා ඇතිවුණා. භාග්‍යවතුන් වහන්සේ ප්‍රශංසා කළේ මක්නිසාද කියා සිතුවිලි පහළ කරගත්තා.

එතකොට බුදුරජාණන් වහන්සේ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ සිදුවෙච්ච අතීත තොරතුරු විස්තර කළා. මජ්ඣිම නිකායෙහි සඳහන් වන ඝටීකාර සූත්‍රයත් මෙතැනදී වදාළා. භාග්‍යවතුන් වහන්සේ ඉර්ධි බලයෙන් ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ යොදුනක් පමණ උස වූ ස්වර්ණ චෛත්‍යරාජයා මවලා පෙන්නුවා. මහාජනයාට දකින්නට සැලැස්සුවා.

“පින්වත් බ්‍රාහ්මණය, මෙබඳු වූ පුද පූජාවන්ට සුදුසු උත්තමයන් හට පුද පූජා පැවැත්වීම යුතුකමක්” කියලා ස්ථූපාර්හ පුද්ගලයන් ගැන ප්‍රකාශ කළා. ශාරීරීක, උද්දේසික, පාරිභෝගික චෛත්‍යයන් ගැන විස්තර කළා. ඉන්පසු මෙම ගාථාරත්නයන් වදාළා.

පූජාරහේ පූජයතෝ – බුද්ධේ යදි ව සාවකේ
පපඤ්චසමතික්කන්තේ – තිණ්ණසෝකපරිද්දවේ

කෙලෙස් පැටලිලි ඉක්මවාගිය – සෝක වැළපුම් ඉක්මවා ගිය
පිදුම් ලැබුමට සුදුසු වූ – සම්බුදුන් හෝ ශ්‍රාවකයන් හෝ
වෙනුවෙන් කරයි නම් පිදුම්

තේ තාදිසේ පූජයතෝ – නිබ්බුතේ අකුතෝභයේ
න සක්කා පුඤ්ඤං සංඛාතුං – ඉමෙත්තමපි කේනචි

උතුම් නිවනට පත් වූ – කිසිදු බියකට පත් නොවූ
ඒ උතුම් මුනිවරු කෙරෙහි – කරයි නම් පුද පූජා
මෙතෙකැයි කියා ඒ පින – ගණනයක් කළ නොහැක්කේම ය

පින්වතුනේ, පින්වත් දරුවනේ, කාලයාගේ ඇවෑමෙන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්වර්ණචේතිය නැතිවෙලා ගියා. වෙන දේවාලයක් ඇතිවුණා. නමුත් එතනට වන්දනා කිරීමෙන් යහපතක් උදාවෙන බව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ උතුම් බුද්ධ භූමියක් නිසයි. එහෙම නම් පින්වතුනේ, පින්වත් දරුවනේ, අපට කොතරම් වාසනාවක් තියෙනවාද? ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩඉන්නවා. ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩසිටින ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයාණන් වහන්සේ වැඩඉන්නවා. දළදා වහන්සේලා වැඩඉන්නවා. ලලාට ධාතූන් වහන්සේ තැන්පත් සේරුවිල මහා සෑය වැඩඉන්නවා. අපට කොයිතරම් පින්කරගන්නට අවස්ථාව තියෙනවාද?

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ