“ජය පැරදුම නැති තැන සැප ඇත”

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඉස්සර කාලෙත් යුද්ධ ඇතිවුණා. හැමදාමත් යුද්ධ තියෙනවා. සමහරු පරදිනවා. සමහරු දිනනවා. ඉතින් මේ ජය පරාජ දෙක තුළ හටගන්නා අර්බුදවලට ලොව හැමදාම මැදිහත් වෙනවා. බුද්ධ කාලයේත් යුද්ධ හටගත්තා. මේ විදිහටම ප්‍රශ්න ඇතිවුණා. මෙයත් එවැනි කථාවක්.ජය පැරදුම

කොසොල් රජතුමා තමන්ගේ බෑණා කෙනෙකු වූ අජාසත් කුමාරයා සමඟ යුද්ධයකට පැටලුණා. ඒ පටලැවිල්ලට හේතුවුණේ කාසි කියන ප්‍රදේශයට අයිතිවාසිකම් කීමයි. ඉතින් කොසොල් රජතුමා තුන් වරක්ම යුද්ධයට ගියා. තුන් වාරය ම පැරදුණා. රජතුමාට දුක උහුලගන්න බෑ. ඇඳේ වැටුණා. කෑම්බීම් පවා අත්හැරියා.

“මං ජීවත්වෙලා මොකටද බොලව්… මට මේ කටේ කිරි සුවඳ වත් නොගිය කොළු ගැටයෙක්ව පරදවන්න බැරිවුණා නෙව” කියමින් කම්පා වුණා. සැවැත් නුවර පුරාවට මේ කථාව පැතිරුණා. පිඬුසිඟා වැඩිය භික්ෂූන් වහන්සේලාටත් මෙය අසන්නට ලැබුණා. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස. කාසි රටට අයිතිවාසිකම් කියන්න ගිහින් රජතුමා තුන්වතාවේ ම පැරදිලා. දැන් හරී ශෝකයෙන් ඉන්නවාලු. කන්නෙ බොන්නෙත් නැහැලු. ඇඳේ වැටිලා ඉන්නවාලු. කටේ කිරි සුවඳ නොගිය කොළු ගැටයෙක්ව පරද්දවන්නට බැරි මං ජීවත් වෙලා මොටද කියා කියනවාලු.”

භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයට පිළිතුරු දී වදාළා.

“පින්වත් මහණෙනි, ඕක ඔහොම තමයි. ජයගත්තු කෙනා ගැන අන්‍යයන්ට වෛරය ඇතිවෙනවා. පැරදුණු කෙනා ඉතා දුකසේ නිදියනවා. මේක තමයි ලෝකයේ ස්වභාවය.”
මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ මධුර ස්වරයෙන් මෙම ගාථාරත්නය වදාළා.

ජයං වේරං පසවති – දුක්ඛං සේති පරාජිතෝ
උපසන්තෝ සුඛං සේති – හිත්වා ජයපරාජයං

දිනාගත් කෙනා ගැන – වෛරයයි හටගන්නේ
පරාජය ලැබූ අය – දුක සේ ය සැතැපෙන්නේ
අත්හැර ජය පරාජය – වසති රහතුන් ලොවෙහි සුවසේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඇත්තෙන්ම ලෝකයේ සැප සේ වාසය කළේ නිකෙලෙස් උත්තමයන් වහන්සේලා පමණයි. දැන් බලන්න. උන්වහන්සේලාට ආහාර වේලක් වැරදුණා කියලා දුකක් නෑ. ආහාර වේල වළක්වපු කෙනා ගැන තරහක් නෑ. ලෝකය සමඟ තරඟයක් නෑ. පටලැවිල්ලක් නෑ. එකට එක කිරීමක් නෑ. උපශාන්ත බවට පත්වෙලයි ඉන්නේ. නිකෙලෙස් බවට පත්වෙලයි ඉන්නේ. කොයිතරම් සැපයක්ද…!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

 

 

  තවත් මෙවැනි ලස්සන කතා කියවන්න ඔබ කැමති නම් පිවිසෙන්න >>