අවිවේකී ඔබේ දිවියේ ලද විරාමයක සොඳුරු සදහම් හුදෙකලාවක් අත්විඳින්නට…

මහමෙව්නාව අනගාරිකා අසපුව මගින් මෙහෙයවන සති භාවනා වැඩසටහන

කාර්යබහුල ගිහි ජීවිතයේ ලැබෙන පුංචි නිවාඩුවෙන් විවේකීව භාවනා කරමින් ධර්මය ඉගෙන ගන්ට වෙර දරනා ගෞතම ශ්‍රාවක දියණියන් සඳහා නිසංසල පරිසරයක සතියක් පුරාවට, සුවසේ ධර්මයේ හැසිරෙන්නට මංපෙත් විවිර කරමින්, මහමෙව්නාව අනගාරිකා අසපුව මගින් ආරම්භ කරන්නට යෙදුනු, සති භාවනා වැඩසටහන….

මොකක්ද මේ “සති භාවනා වැඩසටහන” කියන්නේ?

  • එය සතියක භාවනා වැඩපිළිවෙළක්.
  • සති භාවනා වැඩසටහන ආරම්භ වන්නේ සෑම සතියේම ඉරිදා දිනයේදීය.
  • දඹදෙණිය මුතුගල මූලස්ථාන අසපුවේ උපාසිකාවන් 15 දෙනෙකු ද, අනෙකුත් අසපුවල උපාසිකාවන් 5 දෙනෙකු ද සඳහා එක් සතියක් ගත කිරීමේ පහසුකම් සළසා තිබෙනවා.
  • මුතුගල, කඩුගන්නාව මහමෙව්නාව අනගාරිකා අසපු ශාඛාවන් හී සති භාවනා වැඩසටහන පැවැත්වෙනවා.
  • විදේශ ගතව සිටින පින්වතුන් හට පහත වට්ස්ඇප් අංකයට දුරකථන ඇමතුමක් ලබා දී මුලින්ම ඔබගේ සතිය වෙන් කරගෙන මෙම භාවනා වැඩසටහනට සහභාගී වීමටත් පුළුවනි.
  • පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේ නමකගේ අධීක්‍ෂණය යටතේ කෙරෙන භාවනා පුහුණුවකිනුත් යුක්තයි.
  • උදෑසනත්, හවසත් මිහිරට බුදුගුණ සජ්ඣායනා කරමින්, පිරිත් සූත්‍ර සජ්ඣායනා කරමින් බුද්ධ වන්දනා කරන්ටත් පුළුවන්.
  • උපාසිකා පිරිස වෙනුවෙන් ම පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලා විසින් වැදගත් සූත්‍ර දේශනා කියා දෙනවා.
  • බ්‍රහ්මචාරී අධිසීලයක හික්මෙමින් සතියක් පුරාවට විශාල පිනක් රැස්කරගන්ටත් පුළුවන්. ඒ සිල් පද ගැන ඉතා හොඳ වැටහීමක් ඇතිකරගන්ට පුළුවනි.
  • පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්නටත්, සදහම් ග්‍රන්ථ පරිශීලනය කරන්නටත් ඔබට පුළුවනි.
  • ඔබට ගැටලුවක් වූ යම් යම් දහම් කරුණු ඉතා ම විවේකීව පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලාගෙන් විමසා දැනගන්නටත් පුළුවන්.
  • “සති භාවනා” වැඩපිළිවෙළ කාලසටහනකට අනුව කෙරෙන නිසා ධර්මානුකූල කාලසටහනක් හඳුනාගන්ටත් ඔබට පුළුවනි.
  • අනගාරිකා මෑණියන් වහන්සේලාට ඇප උපස්ථාන කොට, දන් පැන් පූජා කොට පින් රැස් කරගන්ටත් පුළුවනි.
  • ඇත්තෙන්ම “සති භාවනා වැඩසටහන” කියන්නේ දස්සනානුත්තරිය, සවණානුත්තරිය, සික්ඛානුත්තරිය. පාරිචරියානුත්තරිය, අනුස්සනානුත්තරිය, ලාභානුත්තරිය යන අනුත්තරිය ධර්ම සියල්ල ම සතියක් පුරාවට ඔබට උදාකරවන වැඩසටහනක්.
  • ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවක දරුවන් වූ පින්වන්ත ඔබටත්, නිසංසල පරිසරයක සතියක් පුරාවට, සුවසේ ධර්මයේ හැසිරෙන්නට මේ තුළින් අවස්ථාව උදාකරගන්නට පුළුවනි.

ඡායාරූප එකතුව

සති භාවනා උපාසිකාවන් සඳහා නියමිත කාල සටහන

  • අළුයම 4.00 ට  – අවදිවීම

  • අළුයම 4.30 ට  – සම්බුද්ධ වන්දනාව

  • උදෑසන 6.00 ට – වත් පිළිවෙත්

  • උදෑසන 7.00 ට – හීල දානය

  • උදෑසන 8.30 ට – භාවනාව සම්බන්ධ දේශනය

  • උදෑසන 10.45 ට – දහවල සම්බුද්ධ පූජාව

  • දහවල් 11.00 ට – දහවල දානය

  • දහවල් 1.30 ට – සදහම් ග්‍රන්ථ පරිශීලනය හා භාවනා කටයුතු සිදු කර ගැනීම.

  • සවස 4.30 ට – වත් පිළිවෙත්

  • සවස 5.00 ට – සවස සම්බුද්ධ වන්දනාව

  • රාත්‍රී 7.00 ට – දේශනාවක් ශ්‍රවණය කිරීම,සදහම් ග්‍රන්ථ පරිශීලනය , භාවනා කටයුතු සිදු කර ගැනීම.