විහාර විස්තරය
“ශ්‍රී පිළින්දිවච්ඡ සුගන්ධ කුටිය” දරා වැඩසිටින සිරි ඝටීකාර මහා සෑය – (ඉහළ ම මහල)
මෙම විහාරයේ ඉහළ ම මහලෙහි උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා සහ දෙවියන්ට ප්‍රිය මනාප වූ භික්ෂූන් වහන්සේලා අතර අග්‍ර භාවයට පත් වූ පිළින්දිවච්ඡ මහරහතන් වහන්සේගේ උතුම් අරහන්තක ධාතුන් වහන්සේලා වඩාහිඳවූ ශ්‍රී පිළින්දිවච්ඡ සුගන්ධ කුටිය දරා වැඩසිටින සිරි ඝටීකාර මහාසෑ රදුන් පිහිටා තිබේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ ජෝතිපාල නම් බ්‍රාහ්මණ මාණවකයෙකු ව සිටි අපගේ මහබෝසතාණන් වහන්සේගේ කල්‍යාණමිත්‍ර වූ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ව සිටි, අනාගාමී ඝටීකාර උපාසකතුමා මරණින් මතු සුද්ධාවාස බඹලොව උපත ලැබීය.
ඝටීකාර මහා බ්‍රහ්මරාජයා ද නිතින් වන්දනා කරන මේ සෑරදුන් දෙව්ලොව පිහිටි සළුමිණි මහා සෑ රදුන් ද සිළුමිණි මහා සෑ රදුන් ද සිහි ගන්වමින් බුදු පසේබුදු අරහන්තක මහ වෙහෙර මුදුනේ අහස් කුස බබළයි. පරිවාර සෑ අටකින් සෝභමාන වන ශ්‍රී ඝටීකාර සෑ රජුන්ගේ සොඳුරු ධාතු ගර්භය “ශ්‍රී පිළින්දිවච්ඡ සුගන්ධ කුටිය” නම් වන්නේය. ශ්‍රී ඝටීකාර මහා බඹුන් ද සක් දෙව් මහරජු ද තව්තිසාවාසී වූ සුසීම දෙව්රජු ද නිතියෙන් වැඳුම් කළ පිළින්දිවච්ඡ මහ රහත් ධාතුන් වහන්සේලා අප කෙරෙහි කරුණාවෙන් සුගන්ධ කුටියෙහි සුපූජිත ව වැඩසිටිති. ඒ උතුම් ආකාස සෑයේ සිව් දිශාවේ මල් අසුන් ශ්‍රීමත් දඹදිව් තලයේ සුපූජිත සතර ස්ථානයන් නමින් වෙන් වී ඇත. ධාතු ගර්භයේ ප්‍රධාන පිවිසුම් ද්වාර මන්දිරයේ අනේකවිධ කැටයමින් සමලංකෘතව බබළන්නේය. ශ්‍රී අරහත් මැදුරේ පියගැටපෙළ සිට සෑ මළුව දක්වා ම බිතු සිතුවම්වලින් ගැවසී ගත්තේය. කස්සප සම්බුදු සසුනේ ගිහි අග්‍ර උපස්ථායකව සිටි ඝටීකාර උවසුන්ගේ කතා පුවත සහ අප සිදුහත් මහ බෝසතුන් සහ ශ්‍රී ඝටීකාර මහා බ්‍රහ්ම රජුගේ පවර වූ කලණ මිතුදම දක්වන්නා වූ ද දිවියේ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය විදහා දක්වන්නා වූ සොඳුරු බිතුසිතුවම් නිර්මාණයන් විහාරයේ පියගැටපෙළ සුන්දර කරත් ම ය. සිළුමිණි සෑ රජුන් වඳින්නාක් බඳු වූ හැඟුමන් පුබුදු කරවන සුවිසල් සුගන්ධවත් දැවයෙන් කරවන ලද්දා වූ ධාතු ආසනය මත අට දිශාවෙන් පිදුම් ලබනා සුපූජිත වූ විමන් මත සුවිසල් ධාතු කරඬුන් වහන්සේ දිව්‍ය විමානයට වැඩම කළ සම්බුදුරජුන් මෙන් සෝභමාන වන්නාහ.
සත්බුදු මන්දිරය – (තෙවන මහල)
තුන්වන මහලෙහි, ගෙවුණු කල්ප සියය ඇතුළත ලොව පහළ වී වදාළ විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සත්බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රතිමා සහිත සත්බුදු විහාර මන්දිරය පිහිටා තිබේ.
පසේබුදු මන්දිරය – (දෙවන මහල)
දෙවන මහලෙහි පිහිටා ඇත්තේ පසේබුදු මන්දිරය යි. බුදු සසුන් පැවති කාලයන්හි ඉතාමත් වීර්යයෙන් මාර්ග ප්‍රතිපදාවෙහි හැසිරුණත් එම බුදුසසුන්හි මගඵල සාක්ෂාත් නොකළ මහා පින් ඇති භික්ෂූන් වහන්සේලා අබුද්ධෝත්පාද කාලයන්හි දෙව්ලොව හෝ බඹලොව සිට මේ මනුලොවට පැමිණ ඉතා කුඩා නිමිත්තක් මුල් කොටගෙන තම නුවණ මෙහෙයවා පසේබුදු බවට පත්ව හුදෙකලාවේ ම වැඩහිඳ පිරිනිවනට පත් වූහ. උන්වහන්සේලා දෙව් මිනිසුන්ට ධර්මය දේශනා නොකළත් උන්වහන්සේලාට දන් පැන් පිදූ බොහෝ ජනයා දෙව්ලොව උපන්හ. ඈත හිමාල වනයේ ගන්ධමාදන කඳු මුදුනේ මංජූසක නම් වූ අතු පතර විහිදී ගිය සොඳුරු වෘක්ෂය පාමුල සමවත් සුවයෙන් බවුන් වඩනා පසේබුදු රජාණන් වහන්සේලා මනරම් ව නිර්මාණය වූ ශ්‍රී පසේබුදු මන්දිරය අග නුවර පිහිටා ඇති රමණීය භාවනා භූමියකි. ඒ උතුම් මුනිවරුන් උදෙසා ය මේ පසේබුදු මන්දිරය වෙන් වී තිබෙන්නේ.
අරහන්තක මන්දිරය – (පළමු මහල)
මේ ගෞතම බුදු සසුනෙහි අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ, සීවලී මහරහතන් වහන්සේ ඇතුළු සුප්‍රකට මහරහතන් වහන්සේලා ද අපගේ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ සහ අශෝක මහා නිරිඳුන්ගේ අවසන් ආත්මභාවය වන ලක්වාසී වූ කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ, දේවානම්පියතිස්ස නිරිඳුන්ගේ අවසන් ආත්මභාවය වන ව්‍යග්ඝ මහරහතන් වහන්සේ, කැළණිතිස්ස මහරහතන් වහන්සේ සහ මලියදේව මහරහතන් වහන්සේ යන ලංකාවාසී මහරහතන් වහන්සේලාගේ ද උතුම් ප්‍රතිමා වහන්සේලා වඩාහිඳුවා ඇති ශ්‍රී අරහන්තක මන්දිරය පළමු මහලෙහි ඔබට දැකගත හැකිය.
පුණ්‍යානුමෝදනාව
මහත් වූ පුණ්‍ය ඉර්ධියෙන් දෙව්ලොව පිහිටියාක් බඳු වූ ශ්‍රී පිළින්දිවච්ඡ සුගන්ධ කුටිය දරා වැඩසිටින ශ්‍රී ඝටීකාර මහා සෑ රජුන් ද, බුදු පසේබුදු අරහන්තක මහා විහාරය ද සකලාංගෝපාංගයන්ගෙන් සම්පූර්ණ කොට සැදැහැවත් ජනී ජනයාගේ ද, දෙවි බඹුන්ගේ ද වන්දන මානන පිණිස පුද සත්කාර පිණිස මහත් සැදැහැයෙන් යුතුව ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ බක් මස 12 වන පුර පසළොස්වක පුන් පොහෝ දින ගෞතම බුදු සසුනට පූජා කිරීමෙන් රැස් වූ අග්‍ර පින සියල්ලෝ සැදැහැ සිතින් අනුමෝදන් වෙත්වා !
මේ අති රමණීය විහාර මන්දිරය නිර්මාණය කිරීම සඳහා සියලු උපදෙස් හා අනුශාසනාවන් ලබා දුන් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ විහාර පූජාවේ සියලු පින් අනුමෝදන් වේවා!
මේ විහාර පූජාව සඳහා ඇප කැප වූ ගරුතර මහා සංඝ රත්නයටත් මේ පින් අනුමෝදන් වේවා!
මේ විහාර පූජා පින්කම සඳහාත්, මේ මනරම් විහාරය ඉදිකිරීම සඳහාත් ධනයෙන්, ශ්‍රමයෙන් හා නොයෙක් අයුරින් ආධාර උපකාර කළ සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වේවා!
සියලු දෙනාට ම මේ ගෞතම බුදු සසුනේදී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා!
සාදු! සාදු!! සාදු!!!
Leave A Comment