ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර චිරාත්කාලයක සිට පවතින සදහම් මිතුදම ශක්තිමත් කරමින් අප ලක්දෙරණේ අසිරිමත් පුණ්‍යභූමීන් වන්දනා කරමින් ලක් දෙරණ සිසාරා පාගමනින් වැඩම කරනා පුණ්‍ය චාරිකාවයි
“ධර්ම යාත්‍රා”
මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මහරහතන් වහන්සේලා 1000 නමකගේ සහභාගීත්වයෙන් පැවති තුන්වන ධර්ම සංගායනාවෙන් පසු ද්වීපචක්රවර්තී ධර්මාශෝක මහාධිරාජයාගේ අනුග්‍රහය ඇතිව දඹදිව මධ්‍යදේශයෙන් බැහැර රටවල් නවයකට තුන්ලෝකාග්ර ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සදහම් සාම සංදේශය දායාද කරලීමේ මහා ධර්මප්‍රචාරය ආරම්භ විය. මහ සමුදුරෙන් වට සොඳුරු දිවයිනක් වූ අප මාතෘභූමිය වෙත ද ධර්මදූතයන් වහන්සේලා වැඩමවා වදාළ සේක. මින් වසර 2300කට පමණ පෙර දේවානම්පියතිස්ස රජ දවස මිහින්තලේ මිස්සක පවුවට අනුබුදු මහා මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන මහරහත් උතුමන්ගේ වැඩමවීමෙන් දායාද වුණ ලක්දිව බුදුසසුන අප ලංකාදීපය ධර්මදීපයක් බවට පත්කරවාලූහ. ඒ ධර්මාශෝක නිරිඳුන් විසින් මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි ධර්ම ප්‍රචාරය සිදුකළ ලෝකයේ සුපූජිත සුපින්බිම්හි පහස ලබමින් පූජෝපහාර වන්දනාමාන දක්වමින් පාගමනින් ඇවිද ගොස් උතුම් උපහාර පූජාවක් පැවැත්වීමේ අදහසින් මෙම ධර්ම යාත්‍රා මාලාව ආරම්භ විය. මේ වන විට තායිලන්තය, ඉන්දියාවේ හිමාලය ප්‍රදේශය, නේපාලය, ජම්බු කාශ්මීරය යන රටවල ධර්ම යාත්‍රා සිදුකොට මනා පළපුරුද්දක් ඇති තායිලන්තයේ මහා සංඝරත්නය සිය චාරිකා මාලාවේ අවසානය ඉතා සුපින්වත්ව පූර්ණය කරනු පිණිස ලංකාදීපයේ අනුරාධපුර, පොළොන්නරුව, දඹුල්ල, මහනුවර යන පූජනීය නගර කේන්ද්‍ර කරගනිමින් මෙම පුණ්‍ය චාරිකාව සිදු කරනු ලබයි.
වැඩි විස්තර >> shraddha.lk/dharmayathra