Children

විභාගයෙන් සමත් වන්නට පමණක් නොව අභාගයෙන් දුරුවෙන්නටත් අපේ දරුවන්ට තිසරණයෙන් මගක්…

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් – 8

දුක නිමා කරගැනීම සඳහා අනිකුත් දාර්ශනිකයන් සහ ආගම් විසින් මිනිසා, බාහිර බලවේග සඳහා භාර කරන ලද්දේය. මේ බඹයක් පමණ වූ ශරීරය තුළ දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය පෙන්වා දෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින්ය. එපිට සිටින දෙවියෙකුට ඔබේ ඉරණම භාර නොදුන් ඒ මහානර්ඝ දහම, ජීවිතයේ ඔබට ඇති එකම සරණය. එකම ශක්තිය ය. අන් කිසිවක, එය ඉක්මවා ගිය සරණක් හෝ ශක්තියක් නොමැත්තේය. තිසරණය කෙරෙහි පිහිටා ජීවිතය සමෘද්ධිමත් කරගැනීම, ජාතියක් ලෙස සිංහලයාට, දියුණුව සඳහා ඇති එකම මග ය. සංසාර ගමන කෙළවර කර, උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගැනීම අවසාන ඉලක්කය කරගනිමින් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මේ පෙන්වා දෙන්නේ, ඒ සඳහා බුදුරජාණෝ වදාළ මග හසරය.

බුදුරජාණන් වහන්සේ සතු මහා බලය, අදටත් අපිට තිබෙන මහා ශක්තිය බව ඔබවහන්සේ වදාරනවා. බුදුන් වහන්සේගේ බලය පිළිබඳව සමහරක් දෙනා පිළිගැනීමට මැලිකමක් දක්වනවා.

පසුගිය දවස්වල එක්තරා විදේශීය ස්වාමීන් වහන්සේ නමක් ඔය වගේ ප්‍රශ්නයක් ඇසුවා. “මට නම් මේ ධාතු කියලා විශේෂයක් තේරෙන්නේ නැහැ… ඇට නම් ඇටමයි…” කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. සිංහල බෞද්ධ සංස්කෘතියයි, විදේශීය අය බුදුදහම වැළඳ ගැනීමයි අතර වෙනස ඒක තමයි. බෞද්ධ ධර්මයේ ඇති පූජනීයත්වය පිළිබඳ සැබෑ අර්ථය උන්වහන්සේට ලැබී නැහැ.

ඒ බලය ලබාදෙන්නේ ධර්මය තුළින්. දෙවි මිනිසුන්ගේ ලෝකයෙන් එතෙර වූ බුදු බලය පිළිබඳව යම් කෙනෙක් සිහි කළොත්, සිහි කළ පමණින් සුගතිය හිමියි… දුකින් මිදෙනවා… කියලා මහ බුද්ධ බලය පිළිබඳව දේශනා කළේ, බුදුරජාණන් වහන්සේ ම යි. මහරහතන් වහන්සේලා, පෙර රජ දරුවෝ ඒ අස්ථි කැබැල්ලක තිබෙන වටිනාකම දන්න නිසා තමයි, ජීවිත පරිත්‍යාගයෙන් ඒ ධාතුන් වහන්සේලා සුරක්ෂිත කරගත්තේ. මහා සෑය වන්දනා කර කර, ධාතුන් වහන්සේලා වන්දනා කර, ඒ පිළිවෙත පුරාගෙන ගියේ. සාමාන්‍ය කෙනෙක් ගෙදර රණ්ඩු සරුවල් කරගෙන, සාමාන්‍ය විදිහට ඉන්නවා. ඔහු ධර්මයට එළඹෙනවා. එළඹිලා ඒ තුළ මාර්ග ඵල ලබනවා. ඊට පස්සේ එයා දෙව් මිනිසුන් අතර පූජනීය කෙනෙක්. එකට හේතුව තමයි, ඊට පස්සේ එයා මේ ලෝකයට අයිති නැති කෙනෙක් නිසා. ලෝකයෙන් පිදුම් ලබන්නේ, ඒ නිසයි.

බුදුරජාණන් වහන්සේ සිහිකළොත්, එපමණකින්ම සුගතිය හිමියි කියන කාරණය ඔබ වහන්සේ වදාරනවා. මේ කාරණය අදටත් වලංගුයිද…?

අදටත් වලංගුයි… බුද්ධ ආනුභාවය, උන්වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ ආනුභාවය, කාලයට අනුව විපර්යාසයට ලක්වෙන්නේ නැහැ. සාමාන්‍ය වස්තුවක් විපර්යාසයට ලක්වුණාට ධර්මය ඉපැද්දවූ වස්තුවක් නිසා එය මහානුභාව සම්පන්නයි. මට දිනක් විදේශගතව ඉන්න මහත්තයෙක් කතා කළා. ඔහුගේ ධර්ම ප්‍රචාර කටයුතු නිසා, ධර්මය ගැන පැහැදුණු සුදු ජාතිකයෙකුට, හුගක් කරදර වෙන්න පටන් අරගෙන. රෑට හීනෙන් ඥාතීන් පේන්න පටන් අරගෙන. මේ සඳහා මගෙන් විසඳුමක් ඇහැව්වා. “බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තියලා, ඥාතීන්ට පින් දෙන්න” කියලා, මම කිව්වා. “අපි ඉන්න පළාතේ පන්සල් නැහැ, හාමුදුරුවනේ…” කියලා, ඒ මහත්තයා මට කිව්වා. “එහෙනම් ඔබතුමාගේ ගෙදර තියෙන බුදුපිළිම වහන්සේ, ඒ ගෙදරට වඩම්මලා, බුද්ධ වන්දනාව කරලා, මල්, පහන් පූජා කරලා බුද්ධ පූජාව කරලා, ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න” කියලා මම කිව්වා. සතියකින් මට ඒ මහත්තයා කෝල් කළා. “හරිම පුදුමයි ස්වාමීන් වහන්ස… දැන් එයාට ඒ ඥාතීන් පේන්නේ නැහැ…” කියලා ඒ මහත්තයා කිව්වා.

මේ කටයුතු හරි යන්න නම් තමන්ගේ හිතේ සරණ මනාකොට පිහිටලා තියෙන්න ඕනේ.

ඔබවහන්සේ වදාරන කාරණය අද ඉන්න අමුතු තාලේ විද්‍යාත්මක බෞද්ධයන්ට ගෝචර නොවන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ, දර්ශනයක් කියලා හිතන බෞද්ධයන් පිරිසක් රටේ ඉන්නවා. අනික් දර්ශන වගේම බුද්ධ ධර්මයත් තවත් දර්ශනයක් කියලා ඔවුන් විග්‍රහ කරනවා. මහා සෑය වන්දනා කිරීම, ධාතු බලය, බුද්ධ බලය ආදිය ගැන ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. ඔවුන්ට අනුව ධර්මය තුළ ඇත්තේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැනි දාර්ශනික කාරණා විතරයි…

දර්ශනය කියලා ධර්මයට සමහරු අර්ථකථන දීලා තියෙනවා. දර්ශනය කියලා දාර්ශනිකයන් හඳුන්වන දෙයයි, බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රතිපදාවයි, අහසට පොළොව වගේ වෙනස් දෙකක්. “මහණෙනි… මේ ධර්මය පහුරක් ලෙස ගන්න” කියලා වදාරන බුදුරජාණන් වහන්සේ “මහණෙනි, යම් කෙනෙක් තථාගතයන් වහන්සේ සිහිකළහොත්, ඒ සිහි කළ පමණින් සුගතිය හිමිවන්නේය” කියලා වදාරනවා. සාමාන්‍යයෙන් දර්ශනයක් ගැන විතරක් නම් අපි කතා කරන්නේ, ඒ සඳහා සරණ යෑමක් අවශ්‍ය නැහැනේ… නිතරම ධර්මයේ සඳහන් වන්නේ සරණ යෑම ගැන නේ… සරණ කියන එක අවශ්‍ය අසරණ කෙනකුටයි. මනාකොට සරණ පිහිටන කෙනාට ඒ සරණේ බලය ලැබෙනවා. මේ සරණ යෑම රහතන් වහන්සේලා විසින් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී පටන් ගත්තේ. උන්වහන්සේලා කිසි දිනක ලාමක, තමන්ට හිත සුව පිණිස නොපවතින දෙයක්, තමන්ගේ ශ්‍රාවකයන්ට දෙන්නේ නැහැ. ධාතුන් වහන්සේලා විසිරිලා යන්න කියලා, අධිෂ්ඨානය කළේ බුදුරජාණන් වහන්සේයි. ද්‍රෝණ අටක් වෙන මාගේ ධාතුන් වහන්සේලාගෙන් ද්‍රෝණයක්, ලංකාවේ ඉදිවෙන මහා සෑය සඳහා වෙන් කරන්න” කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබෙනවා. ඒ නිසා ඒ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න නිසා තමයි, රුවන්වැලි මහා සෑය මේතරම් බලවත් වෙලා තියෙන්නේ. දර්ශනයක් ගැන කතා කරපු කෙනෙක් සරණ යෑමක් ගැන කතා කරන්නේ නැහැ. එක එක දර්ශන පටලෝගෙන කතා කර කර ඉඳියි.

මේ ධර්ම ප්‍රතිපදාව තුළ පිදිය යුත්තන් පිදීම, ගරු කළ යුත්තන් ගරු කිරීම, වැඳිය යුත්තන් වැඳීම කියන එක තියෙනවා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ විසින් වදාළ කාරණයක් නෙමෙයිද…? සමහරුන්ට ධර්මය දැන ගත්තාහම, සරණ ගියාමත් මාන්නයක් එනවානේ… “අපි තමයි ධර්මය දන්නේ, අපි සරණ ගිහිල්ලා ඉන්නේ…” කියලා. ඒකට කියන්නේ අත්තුක්කංසන පරවම්භන කියලා, තමාව උසස් කරගැනීම සහ අනුන් පහත් කර සැලකීම. ඒක ධර්මයට අයිති දෙයක් නෙමෙයි. ඒක මාර සේනාවේ අන්තිම මාර සේනාව හැටියටයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඔය දර්ශනය කරපින්නාගෙන ගිය අය අන්තිමට දෙමව්පියන්ටත් ගරහන තැනට යනවා. “අපි දෙමව්පියන්ට සලකන්න ඕනේ නැහැ, ඒ අය විනෝද වෙන්න ගිහිල්ලා තමයි, අපි ඉපදුනේ…” කියලා කියන්නේ ඔය වගේ අය. දර්ශනය කියන එකේ, ප්‍රායෝගික සමාජ වටිනාකමක් තියෙන්නේ, ඒක ගුණවත් නම් විතරයි.

බුදුරජාණන් වහන්සේට පවා වන්දානාමාන කරනවාට සමහරු කැමති නැහැ. ඒ ගැන ඊර්ෂ්‍යා සහගතයි. ක්‍රෝධකාරයි. සාමාන්‍යයෙන් ලෝකයේ අනිකුත් මිසදිටු ආගම් තමන්ගේ ශාස්තෘන් වහන්සේ සිහිකරන්න සුවිසල් මන්දිර හදනවා. අපේ බෞද්ධයන්, බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් පන්සලක් හැදුවොත්, ඒකටත් බනිනවා. මෙච්චර විශාල එකක් බුදුන්ට හදන්නේ ඇයි, කියලා බනිනවා. මේ ගැරහීම ඒ අයගේ විපත්තියට හේතු වෙන්න පුළුවන්. රුවන්වැලි මහා සෑයට වඳින්න, පුදන්න කියලා, අපි කියනවා. තථාගතයන් වහන්සේ කියන්නේ කවුද කියන එක හඳුනානොගත් අයට, මේකට ගරහන්න පුළුවන්. ඒ කෙනාට බුද්ධාගමේ ඇලපිල්ලක්, ඉස්පිල්ලක්වත් වටහා ගැනීමට ඇති, අවස්ථාව නැතිවෙලා යනවා.

මේක දර්ශනයක් කියලාම, අපි හිතමු. එතකොට දර්ශනය කියන්නේ මොකක්ද…? දැක්ම. බුද්ධ දර්ශනය කියන්නේ, බුදුරජාණන් වහන්සේගේ දැක්ම. බුදුරජාණන් වහන්සේගේ දැක්මේ කොටස්කාරයෙක් වුණොත් එයා තුළ, ගුණාත්මක විශේෂත්වයක් ඇති වෙන්න ඕනේ… ශාස්තෘවරයාණන් වහන්සේටත් එක එක ආකාරයෙන් ගරහනවා නම්, එයාගේ දැක්ම විපරීතයි.

අපේ හාමුදුරුවනේ… මේ මතක ශක්තිය කියන එක ඔබවහන්සේ සතුව පුදුමාකාර විදිහට පවතිනවා. ඔබවහන්සේ සමහර කාරණා විස්තර කරන්නේ පොත් කිහිපයක් අතේ තියාගෙන, ඒවා කියවනවා වගේ. ජාතක කතා, ධම්ම පදය, තුන් පිටකය ආදිය ඒ ලෙසම ඔබවහන්සේ විස්තර කරනවා. ධර්මය ග්‍රන්ථාරූඪ කිරීමට පෙර සිය මතකයේ මේ ධර්මය තැන්පත් කරගත්ත සඟ පරපුරක උරුමය අප සතුයි. අපේ හාමුදුරුවනේ… මේ දවස්වල අපේ දරුවන් විභාග සඳහා ලැහැස්ති වෙනවා. ඔවුන්ට පමණක් නොවෙයි, සාමාන්‍ය ජනතාවට පවා මේ මතක ශක්තිය රඳවා ගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඒ නිසා මතක ශක්තිය වර්ධනය කර ගැනීමට ඔබවහන්සේ අපිට මාර්ගයක් දේශනා කරන්න…

අපි මතක තබා ගත යුත්තේ, පොතේ පතේ දැනුම විතරක් නෙමෙයි… ගුණධර්මත් මතක තියාගන්න ඕනේ. තිසරණය තමයි, අපේ දරුවන්ට තියෙන ලොකුම වස්තුව. තිසරණයේ මනාකොට පිහිටීම තමයි අපේ දරුවන්ගේ සියලු ජයග්‍රහණ සඳහා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා, ධර්ම රත්නය වන්දනා කරලා, මතක ශක්තියෙන් අග්‍ර වූ ආනන්ද මහ රහතන් වහන්සේට වන්දනා කරලා පූජා පැවැත්වීම, මතක ශක්තියෙන් අග්‍ර වූ ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේට පූජා පැවැත්වීම තමයි මේ සඳහා අපිට තියෙන හොඳම දේ. එහෙම කරලා පොත පත පාඩම් වැඩ අපේ දරුවෝ පටන් ගත්තොත් ඒ අයට හොඳින් ශිල්ප පිහිටනවා. කාරණා හොඳට මතක හිටිනවා. අපේ අසපුව යටතේ විභාගයට යන්නට ඉස්සෙල්ලා, වැඳුම් පිදුම් කරන්න විශේෂ උත්තමයන් වහන්සේලා දෙනමක් ගැන අපි උගන්වනවා. ඒ ආනන්ද මහ රහතන් වහන්සේ සහ ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේ කියන උත්තම දෙනම. ප්‍රඥාව ගැන කියන කොට බුද්ධ ශාසනයේ අග්‍රස්ථානයට පත්වූයේ, ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේ තරම් බුදු ගුණ විස්තර වශයෙන් දේශනා කරන්න පුළුවන් කෙනෙක් මේ බුද්ධ ශාසනයේ කවුරුවත් නැහැ. ධර්මය විස්තර වශයෙන් කියන්න පුළුවන් වෙන කවුරුවත් නැහැ. ප්‍රඥාවෙන් ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේ දෙවැනි වන්නේ, බුදුරජාණන් වහන්සේට පමණයි. මතක ශක්තිය අතරෙන් ආනන්ද මහ රහතන් වහන්සේට සමාන කෙනෙක් නැහැ. එබඳු මහා ශ්‍රාවක මහ රහතන් වහන්සේලා, මේ බුද්ධ ශාසනය අපිට ලබා දීලා තියෙනවා. එහි මනාකොට පිහිටියා නම් අපේ දරුවෝ ඔය බාල වැඩවලට හුරුවෙන්නේ නැහැ. මේ දරුවෝ සුවපත් වෙලා, අපිට වාසනාවන්ත දරු පරපුරක් බිහිවෙනවා. අපේ නිවසේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ දෙපස, සිටිය යුත්තේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමයි. ආනන්ද මහ රහතන් වහන්සේගේ පින්තූරයක් සමඟ ඒ දෙනමගේ පින්තුරයක් තබාගෙන, වන්දනා ගාථා කියලා, අපේ දරුවන්ට මේ මහ රහතන් වහන්සේලාගේ පිහිට ලබාගන්න පුළුවන්. අපේ අසපුවල මේ මහ රහතන් වහන්සේලාගේ පිළිම නෙළලා තියෙනවා.

“ප්‍රඥාවෙන් අග්‍ර වූ ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේට මේ මල් පූජා කරමි. පූජා වේවා…! මතක ශක්තියෙන් අග්‍ර වූ, වටහා ගැනීමෙන් අග්‍ර වූ, වහා කරුණු අවබෝධ වීමෙන් අග්‍ර වූ, අපගේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද මහ රහතන් වහන්සේට මේ මල් පූජා කරමි. පූජා වේවා…!” කියලා පූජා කිරීමෙන් ලැබෙන චිත්තප්‍රසාදය ඒ දරුවන්ගේ ගුණාත්මකභාවය උසස් තලයකට ගෙන යනවා. මේ වඩන්නේ සංඝානුස්සතිය. අපේ දරුවෝ, මේ සරණ පිහිටියා නම් ඔය සමාජයේ එන එක එක රැළිවලට අහුවෙන්නේ නැහැ. විභාගයට යන්නට ඉස්සෙල්ලා තිසරණයේ මනාකොට පිහිටලා, පන්සිල්හි පිහිටලා, රුවන්වැලි මහා සෑය වන්දනා කළොත් ඒ තමයි අපට, අපේ දරුවන්ට තියෙන මහා බලය.

තව කොටසක් ලබන සතියේ…

(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර