Moon

දන් දීමෙන් දිව්‍ය සැපත්, මසුරුකමෙන් ප්‍රේත දුකත් උරුම කරගත්තෝ

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් – 10

ශිෂ්ටත්වය සිය හද තුළ රඳවා ගත් මිනිසා ජාතියේ සාඩම්බර උරුමකරුවා වේ. ඒ උරුමකරුවා තනනු වස්‌ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ ජාතියට පෙරමඟ දේශනා පවත්වති. සසරින් මිදෙන මාර්ගය සහ මේ මොහොතේ සතිය පවත්වා ගැනීම අතර ඇත්තේ එකම කාසියේ දෙපැත්ත බඳු සම්බන්ධතාවකි. ශිෂ්ට සම්පන්න, තෙරුවන කෙරෙහි නොසැලෙන ප්‍රසාදය උරුම පුද්ගලයා දෙලොවම ජයගන්නේ මේ දේශනා මගේ යැමෙනි.

මේ සිත පටු වුවොත් ඒ පටු සිත මුල් වී වචන කතා කරනවා. කයින් ක්‍රියා කරනවා. එවිට මේ සංසාර ගමනේ බොහෝ කාලයක්‌ සතර අපායේ අපට ඉන්න සිදුවෙනවා. මෙහි තිබෙන අනතුර අපි දකින්නේ නැත්නම් අපට ගැලවෙන්න බැහැ. පටු සිතෙන් මිදෙන්න නම් අපි සිහියෙන් සිටිය යුතු වෙනවා.

අප මේ මිනිස්‌ ලොව ගතකරන මේ ස්‌වල්ප කාලය අපේ ජීවිතයේ එක්‌තරා තීරණාත්මක පරිච්ඡේදයක්‌. මේ කාලයේදී තථාගතයන් වහන්සේ වදාළ සත්‍ය නො දැනීම තමයි අපට තිබෙන ලොකුම අලාභය. පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන බෝසතාණන් වහන්සේ ගිය ගමන අතිශයින්ම අසාමාන්‍යයි. ඒක සාමාන්‍ය පුද්ගලයකුට කරන්න පුළුවන් දෙයක්‌ නොවේ. වරින් වර සතර අපායට වැටෙන ලෝකයක පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ අතිශයින්ම දුර්ලභ එකක්‌. ඒ බුද්ධත්වය මේ ලෝකයේ ඉතාමත් සුළු පිරිසකටයි ලැබෙන්නේ.

මේ ඉපිද ඉපිද මැරි මැරී යන රටාවේ කිසිදු සාධාරණයක්‌ නැහැ. මේ නිසා තමයි තථාගතයන් වහන්සේ වදාළේ මෙයින් එතෙරවීම හොඳ බව. උන්වහන්සේ ලොව පහළ වූයේ සත්ත්වයා අනතුරෙන් බේරන්නයි. ඒ අනතුර තමා, සිත පටුවීම. පටු සිතක්‌ ඇතිවන්නේ කෙළෙස්‌ නිසා. එහෙම නැත්නම් සක්‌කාය දිට්‌ඨිය නිසා.

තථාගතයන් වහන්සේ මේ සම්බන්ධව, ලෝනඵල සූත්‍රයේ, දී ඉතා ලස්‌සන උපමාවක්‌ දේශනා කළා. ඒ තමා පටු සිතක්‌ ඇති පුද්ගලයාගේ සිත කුඩා බඳුනක්‌ වගේ කියා. ජලය දැමු කුඩා බඳුනකට ලුණු කැට කීපයක්‌ දමනවා. එවිට කුඩා බඳුනේ ඇති වතුර ස්‌වල්පයේ ලුණු කැට දිය වී ඒ වතුර ලුණු රස බවට පත්වෙනවා. එයට හේතුව කුඩා බඳුන තුළ වතුර ස්‌වල්පයක්‌ තිබීමයි. තථාගතයන් වහන්සේ වදාළා පටු සිතත් ඒ වගේ කියා. ඒ වගේම උන්වහන්සේ පළල් සිත උපමා කොට වදාළා යම් පුද්ගලයෙක්‌ ගංගානම් ගඟට ඒ ප්‍රමාණයේම ලුණු කැටයක්‌ දමනවා. ඒ ගංගාවේ ජලය තුළත් ඒ ලුණු කැටය දියවෙනවා. හැබැයි ලුණු රසක්‌ ඒ ජලය තුළ නැහැ. එයට හේතුව මහත් ජල කඳක්‌ ගංගාවේ තිබෙන නිසා.

කෙනෙක්‌ මේ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගනිද්දී ඔහු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවා. එහෙම නැත්නම් ධර්ම මාර්ගයට පිවිසෙනවා. එසේ පිවිසීමෙන් ඔහුගේ පටු සිත නැති වී යනවා. ඔහු නිතරම වාසය කරන්නේ පළල් වූ සිතකින්. එහෙම නම් මිනිසාගේ සිතේ ඇති පටු බව නැති කර දෙන්න පුළුවන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පමණයි. මේ ලෝකයේ වෙන කිසිම දෙයකට මේ පටු සිත නැති කරන්න බැහැ.

සිත පටුවෙන්න හේතුව මමත්වය යි. ඔබ බලන්න වෛර බැඳගෙන, ඉඩකඩම් දේපලවලට අධික ලෙස ගිජුවෙලා එහෙම නැත්නම් පරණ කෝන්තර ගැන කතා කරමින් ඉන්න පිරිස ගැන. මේ සියලු දෙනා ළඟ තිබෙන්නේ පටු සිතෙහි ලක්‌ෂණය යි. අධික මමත්වය ඇතිවන්නේ සක්‌කාය දිට්‌ඨිය නිසයි. මේ සක්‌කාය දිට්‌ඨිය තමා තුළින් ප්‍රහාණය කරන්න නම් තමා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කළ යුතුයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිවිසීමට තමාට හැකියාවක්‌ නැත්නම් ඒ ගැන විමසා බැලීමට අවශ්‍යතාවයකුත් නැතිනම් පටු සිත හටගත් වෙලාවට ප්‍රකෘති සිහිය නැතිවී යනවා. එවිට ඔහු පටු සිතට අවශ්‍යම ආකාරයටයි ක්‍රියා කරන්නේ.

රාගය ඇතිවෙන විට පටු සිතක්‌ ඇති පුද්ගලයා වරදේ බැඳෙනවා. අන් සතු දෙයට ආශා කරන පටු සිත ඇති පුද්ගලයා සොරකම් කරනවා. මේ ආකාරයට ඔහු බොහෝ පව් සිදුකරන්නේ පටු සිතින් යුතු පුද්ගලයකු නිසයි. යම් දෙයක්‌ කරන්නට බොහෝ විට මුල් වන්නේ අපේ සිතයි. මේ සිත පටු වුවොත් ඒ පටු සිත මුල් වී වචන කතා කරනවා. කයින් ක්‍රියා කරනවා. එවිට මේ සංසාර ගමනේ බොහෝ කාලයක්‌ සතර අපායේ අපට ඉන්න සිදුවෙනවා. මෙහි තිබෙන අනතුර අපි දකින්නේ නැත්නම් අපට ගැලවෙන්න බැහැ. පටු සිතෙන් මිදෙන්න නම් අපි සිහියෙන් සිටිය යුතු වෙනවා.

අපි මේ ලෝකයේ ජීවත් වෙද්දී එයට අවශ්‍ය පහසුකම් සලස්‌වා ගැනීම පිළිබඳව සිතනවා. ගේ දොර, යාන වහන, රැකී රක්‌ෂා ආදිය, ඒ සඳහා එකම අරගලයක යෙදී සිටිනවා. මේ අරගලය කවදාවත් සම්පූර්ණ කරන්න බැරි අරගලයක්‌. තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් තොරව මෙහි සැබෑ තත්ත්වය හඳුනා ගැනීමට කිසිම පිළිවෙළක්‌ නැහැ. මේ නිසා පටු සිතයි පළල් සිතයි අතර යම් තේරුම් ගැනීමක්‌ ඇතිකර ගත යුතුයි.

පළල් සිතක්‌ ඇතිකර ගන්න බොහෝ උපකාරී වන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයයි. පටු සිතක්‌ ඇති වූ අවස්‌ථාවක මුළුනින්ම ධර්මය මෙනෙහි කරලා ඒ සිත බැහැර කරන්න පුළුවන්නම් ඒක තමා වාසනාව. පටු සිතක්‌ ඇති වූ වෙලාවට ධර්මය මෙනෙහි කරන්නට බැරිනම් ධර්මයෙන් ඔහුට උපකාරයක්‌ ලැබෙන්නේ නැහැ. සිතේ ඇති පටු බවින් ඒ අනතුරින් මිදෙන්නට අපට ඉතාම ප්‍රයෝජන වන්නේ සසර ගැන සිතීමයි. අප මේ කෙළෙවරක්‌ නැති සංසාරයේ දුක්‌විඳ තිබෙන්නේ පටු සිතක්‌ නිසයි. මේ සිත පිළිබඳව අපි නිතර නිතර අවධනයක් යෙදිය යුතුයි. තමා විසින් විමසා බැලීම කළ යුතුයි. තම සිත පිළිබඳව තමා විමසා නොබලන තාක්‌ මේ අනතුර තමා තුළ තිබෙනවා කියා හඳුනා ගන්නට බැහැ.

එනිසා පළල් සිතක්‌ ඇතිකර ගැනීමට ඔබ ලාභ සත්කාරයට සිත යට නොකර ගැනීම, කෘතගුණ දන්නා බව, අප්‍රමාදය, වගේ ගුණධර්ම පුරුදු කළයුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය වන්නේ සිහිය දියුණු කිරීමයි. සිහිය දියුණු කිරීමට ප්‍රඥාව අවශ්‍යයි. තමා තුළ හට ගන්න අකුසල හේතුවෙන් තමා ධර්මයෙන් බැහැරව ඈත්වන ස්‌වභාවය හඳුනා ගන්න. එනිසයි තථාගතයන් වහන්සේ වදාළේ මාගේ ධර්මය ප්‍රඥාවන්තයට පමණයි කියා. ප්‍රඥාවන්තයා පමණයි මෙය තෝරා බේරා ගන්නේ.

එනිසා මේ පටු සිතේ ඇති අවදානම කෙතරම් බරපතලද කියා ඔබ සිහි කරන්න. කල්ප ගණනක්‌ අප දුගතියට රැගෙන යන්නේ පටු සිත විසින්. එනිසාම අප බොහෝ පරිස්‌සම් විය යුතු වෙනවා. ඔබ එදිනෙදා ජීවිතයේ කටයුතු කිරීමේ දී පවා පටු සිතෙන් බැහැර වෙලා පළල් සිතක් ඇතිකරගෙන තථාගතයන් වහන්සේගේ ධර්මය නුවණින් මෙනෙහි කරමින් ඔබගේ ප්‍රඥාව දියුණුකර ගෙන ඒ ප්‍රඥාව පාදක කරගෙන සසරින් නිදහස්‌ වීමට උත්සුක විය යුතුයි.

එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? සතර අපායට වැටුණොත් මොකද වෙන්නේ… එයින් ගොඩ යැම පහසු නැහැ…. ප්‍රේතභාවයකට පත්වුණොත් කල්ප කාලාන්තරයක්‌ දුක්‌විඳින්න වෙනවා.

ඒ ප්‍රේතයන් අධික බඩගින්නෙන් පිපාසයෙන් පීඩා විඳිනවා. බොහෝ කලක්‌ දුකසේ තැවි තැවී පිච්චෙනවා. ඔය දුක ඇතිවෙන පාප කර්ම කරලයි කටුක ඵල ඇති දුක අනුභව කරන්නේ. මේ ජීවිතය මොහොතකින් ඉවරයි. මොහොතකින් ඉවරවෙලා යන දෙය පවතින්නේ මොහොතක්‌ බව තේරුම් ගත්තු නුවණැති උදවිය තමන්ව දුකට යට නොවෙන දූපතක්‌ කර ගන්නවා. ධර්මය තේරුම් ගත්ත දක්‌ෂ මිනිසුන් ඉන්නවා ඒ අය ඔය කාරණය ඔය විදිහටම දන්නවා.

සංකිච්ච සාමණේරයන් වහන්සේ සත් හැවිරිදි වියේ දී පැවිදි වීම පිණිස හිස කෙස්‌ ගාන විටම රහතන් වහන්සේ නමක්‌ බවට පත්වුණා. උන්වහන්සේ වනයේ වැඩ වාසය කරන විට සොරුන් පන්සියයක්‌ බිල්ලක්‌ දීම පිණිස එක්‌ හිමි නමක්‌ මරණයට පත් කිරීමට ආ විට සංකිච්ච සාමණේර හිමියෝ භික්‌ෂූන් වහන්සේ මරණයෙන් ගලවා සොරුන් දමනය කොට මහණ කරවා බුදුන්වහන්සේ වෙත රැගෙන ගියා. තථාගතයන් වහන්සේ ඒ භික්‌ෂූන් පිරිසට ධර්මය දේශනා කළා. දෙසුම අවසන දී ඒ භික්‌ෂූ පිරිස රහත් භාවයට පත්වුණා.

සංකිච්ච හිමියන් විසිවස්‌ පිරී උපසම්පදාව ලබා පන්සියයක්‌ භික්‌ෂූන් සමඟ බරණැස්‌ නුවරට ගොස්‌ ඉසිපතනයේ වැඩ වාසය කළා. මිනිසුන් තෙරුන් වහන්සේ සමීපයට ගොස්‌ බණ අසා සිත් පැහැදී වීදී පිළිවෙලකට හා කණ්‌ඩායම් වශයෙන් ආගන්තුක දානය දෙන්නට පටත් ගත්තා. එහි විසූ එක්‌තරා උපාසක මහතෙක්‌ මිනිසුන් සැමදාම දානය දීමට කැමැති කරවා ගත් නිසා ඔවුන් තමන්ට හැකි පමණින් දානය දීමට පටන් ගත්තා.

බරණැස්‌ නුවර ජීවත් වූ එක්‌ මිසදුටු බමුණෙකුට පුතුන් දෙදෙනෙක්‌ හා දුවක්‌ වූවා. ඔවුන්ගෙන් වැඩිමහලු පුත්‍රයා ඒ උපාසකගේ යහළුවෙක්‌ වූ නිසා ඔහු සංකිච්ච තෙරුන් වහන්සේ බැහැ දැකීමට යාළුවා සමඟ ගියා. උන්වහන්සේගෙන් බණ අසා සිත පහදවා ගෙන ඔහු එක්‌ භික්‌ෂූන් වහන්සේ නමක්‌ නිවසට වඩමවාගෙන විත් දානය පූජා කළා. කල් යද්දී භික්‌ෂූන්ගේ පිළිවෙත් දැක බණ අසා ඔහුගේ බාල සොහොයුරුද සොහොයුරියද සසුන පිළිබඳව බෙහෙවින් පැහැදුණා. ඒ තිදෙනා නිතර නිතර දන් දීමට පුරුදු වුණා.

නමුත් ඔවුන්ගේ මවුපියෝ සැදැහැසිත් නැති අයයි. පිනට අකැමැති වුණා. ශ්‍රමණයන් වහන්සේලාට පිදුම්, බුහුමන් කළේ නැහැ. ඔවුන්ගේ දුවට තම සොහොයුරාගේ පුතා විවාහ කර දීමට මේ මවුපිය යුවළ සූදානම් වුණා. නමුත් ඒ පුතා සංකිච්ච තෙරුන්ගෙන් බණ අසා සංවේගය උපදවාගෙන පැවිදි වුණා. එම සාමණේර හිමියෝ නිතරම තම මවගේ නිවසට දානය වැළඳීමට වැඩියා. ඒ මෑණියන්ට සොයුරාගේ දියණිය කෙරෙහි සිතක්‌ උපදවා ගන්නා ආකාරයට සාමණේර හිමියන් පොළඹවනු ලැබුවා. ඒ සාමණේර හිමියෝ කලකිරී තම ගුරු හිමියන් වෙත ගොස්‌ ස්‌වාමිනී මම සිවුරු හරිමියි කියා සිටියා.

“මාසයක්‌ ඉවසන්න..” ඒ භික්‌ෂුවගේ පින දුටු ගුරු හිමියෝ වදාළා. භික්‌ෂුව මාසයක්‌ ගියවිට නැවත එලෙසම දැන්වූවා.

“අඩමසක්‌ ඉවසන්න..” ගුරු හිමියෝ වදාළා. අඩමසක්‌ ගිය කල්හි නැවත අවසර පැතුවා.

“සතියක්‌ ඉවසන්න…” ඒ සතිය ඇතුළත සාමණේර හිමියන්ගේ නැන්දණියගේ ගෙදර දිරාගිය වහළ හා සවි නැති බිත්ති වැස්‌ස හා සුළඟ නිසා ඇද වැටුණා. එහිදී බුමුණා සහ බැමිණියත් ඔවුන්ගේ පුතුන් දෙදෙනාත් දියණියත් ගෙට යට වී මිය ගියා. බමුණා හා බැමිණිය ප්‍රේත ලොව ඉපදුණා. පුතුන් දෙදෙනා හා දියණිය භූමාටු දෙවියන් අතර ඉපදුණා. ඔවුන්ගේ වැඩිමහලු පුතුට ඇත් යානාවක්‌ පහළ වුණා. බාල පුතාට අස්‌ වෙළඹුන් සහිත රියද පහළ වුණා. දියණියට රන්සිවි ගෙයක්‌ පහළ වුණා.

බමුණා හා බැමිණිය විශාල යකඩ මුගුරු ගෙන ඔවුනොවුනට පහර දෙනවා. වැදුන වැදුන තැන්වල විශාල කළගෙඩි තරම් ගෙඩි නැගී මොහොතින් ඒවා පැසවා පැලී ගියා. ඔවුන් එකිනෙකා ඒ ලේ සැරව පානය කරමින් ගහබැණ ගන්නවා. එයිනුත් සෑහීමකට පත් වන්නේ නැහැ.

අර සාමණේරයන් වහන්සේ තම ගුරු හාමුදුරුවන් වෙත ගොස්‌ මෙසේ පවසනවා. “ස්‌වාමිනි මා පොරොන්දු වු පරිදි දවස ගෙවී තිබෙනවා. මම හෙට සිවුරු හැර යනවා.” සංකිච්ච හිමියෝ තම සෘද්ධි බලයෙන් අර සාමණේර හිමියන්ට ප්‍රේත ලෝකයේ හා භූමාටු දෙවිවරු දැකීමට සැලස්‌සුවා. උන්වහන්සේ ඒ ප්‍රේතයන් දැක මෙසේ අසනවා?

“එක දිව්‍ය පුත්‍රයෙක්‌ සුදු ඇත් වාහනයකින් ඉස්‌සරවෙලා යනවා. තව දිව්‍ය පුත්‍රයෙක්‌ වෙළඹුන් යෙදූ රථයකින් මැදට වෙලා යනවා. එතකොට දස දිසාවම බබළනවා. ඒ වුණාට ඔබලානම් අත්වලින් දඬුමුගුරු අරගෙන හඬ හඬා හොඳටම කැඩුණු බිඳුණු අතපය ඇතිව යනවා. ඊළඟට එකිනෙකාගේ ලේ බිබී ඉන්නවා. මිනිස්‌ ලෝකේ ඉන්න කාලේ ඔබලා කරපු පාපය මොකක්‌ද?”

“පාද හතරකින් යුතු සුදු හස්‌ති රාජයෙක්‌ ඉන්න වාහනයෙන් යන එක්‌ අයෙක්‌ ඉන්නවා නේද? එයා අපේ ලොකු පුතා. එයා දන් දුන්නා නෙව. දැන් ඉතින් සැප විඳිමින් සතුටු වෙනවා. “

“අර වෙලඹුන් හතර දෙනෙක්‌ බැඳපු අශ්ව රථයෙහි මැදට වෙලා ගමන් කරන කෙනෙක්‌ ඉන්නවා නේද? එයා අපේ මධ්‍යම පුතා. මසුරු කෙනෙක්‌ නෙමෙයිනේ. දානපතියෙක්‌. ඒකයි එයා බබළන්නේ. අර රන්සිවි ගෙයකින් ගෙනයන දෙවඟනක්‌ ඉන්නවානේ, ඇය හරි නුවණැතියි. මුවැත්තියකගේ අඩවන් නෙත් තියෙනවා. ඒ අපේ බාල දෝණි. තමාට ලැබුණු කොටසින් භාගයක්‌ම දන් දුන්නා. දැන් ඉතින් සැපසේ සතුටු වෙනවා. ඔය දරුවෝ ටික ඉස්‌සර දන් දුන්නා. සිත පහදවාගෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටයි දන් දුන්නා. ඒකට අපි මසුරුකමින් හිටියා, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නින්දා අපහාස කළා, දරුවෝ දිව්‍ය සැපෙන් සතුටු වෙනවා, ඒකට අපි කපල අව්වේ දාපු බටගස්‌ වගේ වේළි වේළී ඉන්නවා.”

“ඔබලාගේ කෑම බීම මොනවාද? මොනවගේ ද නිදා ගන්නේ? මහ පවිටුන් වන ඔබලා ජීවත් වන්නේ කොහෙද? හොඳට දේපල වස්‌තුව තිබෙන කාලේ ලැබිච්ච සැප වරදවා අරගෙන අද ඉතින් දුක්‌ විඳිනවා.”

“අපි කරන්නේ එකිනෙකාට වද හිංසා කරගෙන ගලන ලේ සැරව බොන එකයි. අපිට කොච්චර බීවත් ඇතිවන්නේ නැහැ. අපිට එකිනෙකා රුස්‌සන්නේ නැහැ. දන් පැන් නොදෙන මිනිස්‌සු මරණින් මත්තේ ප්‍රේත ලෝකෙට යනවා. ගිහින් වැළපි වැළපි ඉන්නවා. සමහර මිනිසුන් භෝග සම්පත් ලබාදෙන විට තමන් අනුභව කරන්නෙත් නැහැ පින් කර ගන්නෙත් නැහැ.”

ඒ ප්‍රේතයන් අධික බඩගින්නෙන් පිපාසයෙන් පීඩා විඳිනවා. බොහෝ කලක්‌ දුකසේ තැවි තැවී පිච්චෙනවා. ඔය දුක ඇතිවෙන පාප කර්ම කරලයි කටුක ඵල ඇති දුක අනුභව කරන්නේ. මේ ජීවිතය මොහොතකින් ඉවරයි. මොහොතකින් ඉවරවෙලා යන දෙය පවතින්නේ මොහොතක්‌ බව තේරුම් ගත්තු නුවණැති උදවිය තමන් දුකට යට නොවෙන දූපතක්‌ කර ගන්නවා. ධර්මය තේරුම් ගත්ත දක්‌ෂ මිනිසුන් ඉන්නවා. ඒ අය ඔය කාරණය ඔය විදිහටම දන්නවා. රහතන් වහන්සේලාගේ ධර්මය අහලා දන් දෙන්න ප්‍රමාද වන්නේ නැහැ.

සාකච්ඡා කළේ – මනෝඡ් අබයදීර

(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)