පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් කලකට ඉහතදී පවත්වන්නට යෙදුණු ධර්ම දේශනාවකි.
(කලකට ඉහතදී පටිගත කළ දේශනයක් බැවින් ශ්‍රවණ තත්වය දුර්වල බව කරුණාවෙන් සළකන්න)
ශ්රද්ධාවන්ත පින්වතුනි,
භාවනා පන්තිය පටන් ගන්න පළමු වෙනි දවස අද. බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට දැන් අප සූදානම් වෙන්නේ උන්වහන්සේගේ ධර්මය අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්නෙ කොහොමද කියන එක ගැන කථා කරන්නයි. ගිහි පැවිදි අප කවුරුත් මේ වෙලාවේ මෙතන රැස් වුනේ වැදගත් දෙයක් ගැන සිත යොමු කිරීමට. ඒ වැදගත් දේ අපට පෙන්වල දුන්නේ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ කුමක්ද? එ තමයි අප සියළුම දෙනා එක්තරා විදිහක ශෝචනීය වූත් අනතුරුදායක වූත් ගමනක පැටලිලා දුකින් දුකට වැටෙන්නට ඉඩ සළසා ගෙන තිබීම. එහෙත් මේක දැකගන්න එක පහසු නැහැ. ඒකට හේතුව සාමාන්‍ය හිතකට පේන්නෙ ඇස්වලින් දකින දේත් කන්වලින් අහන දේත් ආදී ඉන්ද්‍රියන්ට දැනෙන දේ විතරයි. සාමාන්‍ය මිනිසුන්ගේ ඇස්වලට නොපෙනෙන දෙයක් අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුටුවා.
ඒ තමයි මේ හිතේ කර්ම රැස් වීම. කර්ම රැස් වීම් නිසා සකස් වෙන්නෙ මොනවද? විපාක. මේ දෙකම අපට පෙනෙන දේවල් නොවෙයි. හිතේ කර්ම රැස් වෙන්නෙ කොහොමද කියල අපට පෙන්නේ නෑ. ඒකට ලැබෙන විපාක මොනවද කියල පේන්නෙ නෑ. මේ නිසා සාමාන්‍ය ජීවිතයේදී අපි මොකද කරන්නේ? ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, සිතට සිතෙන දේ, මේවා පිළිඅරගෙන හිතට එන දේ හිතමින් කටට එන වචන කතා කරමින් හිතූ දේ කරමින් ඔහේ යනවා. මේකේ අනතුර තියෙන්නෙ අපි මේ මනුෂ්‍ය ආත්ම භාවයෙන් ආපස්සට වැටුනොත් මේ ගමන කොහෙන් කෙළවර වෙයිද කියන කාරණය උඩයි. ආයෙ කවදා මිනිස් ආත්මයක් ලැබෙයිද කියන්න බැහැ.
මට ලබන ආත්මයේත් මනුෂ්‍යයෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් දෙවියෙක් වෙන්න ඕන කියල අපි කිසි කෙනෙක් එක්ක ගිවිසුමක් ගහගෙන නැහැ. මේ මිනිසත් බව අප ලැබුවේ කිසි කෙනෙක් එක්ක ගිවිසුමක් ගහල නෙවෙයි. අපට එහෙම පුළුවන් නම් අපි මීට වඩා හොඳ සරුසාර ජීවිතයක් තෝරා ගන්නවා. එහෙම තෝරා ගන්න පුළුවන් කමක් නැහැ. කොහොම නමුත් අපට ලොකු වාසනාවක් නිසා, පිනක් නිසා, හොඳට හිතන්න පුළුවන්, හොඳට කල්පනා කරන්න පුළුවන්, බුද්ධිය පාවිච්චි කරන්න පුළුවන්, ගැඹුරක් ගැන හිතන්න පුළුවන් ජීවිතයක් ලැබිලා තියෙනවා.
● ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට පිවිසෙන්න »
Leave A Comment