අංගුත්තර නිකායේ සමචිත්තපරියාය සූත්‍රය විස්තර කරමින් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2010 වසරේදී පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන්නට යෙදුනු ධර්ම දේශනාවකි.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. එ් දිනවල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. එ් දිනවල ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාමය නම් වූ මිගාරමාතු ප‍්‍රාසාදයේ වැඩවාසය කළා.

එදා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ “ආයුෂ්මත් මහණෙනි” කියා භික්ෂූන් වහන්සේලා අමතා වදාළා. එ් භික්ෂූන් වහන්සේලා “ප‍්‍රිය ආයුෂ්මතුන් වහන්ස” කියා ආයුෂ්මත් සැරියුත් තෙරුන් හට පිළිතුරු දුන්නා. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙම දෙසුම වදාළා.

“ප‍්‍රිය ආයුෂ්මතුනි, ආධ්‍යාත්මයෙහි කෙලෙස් බන්ධන තිබෙන පුද්ගලයාත්, කාම ලෝකයෙන් බැහැරට ගිය කෙලෙස් බන්ධන ඇති පුද්ගලයාත් ගැන දේශනා කරන්නම්. එය අසන්න. හොඳින් සිහි කරන්න. කියා දෙන්නම්.”

“එසේය, ප‍්‍රිය ආයුෂ්මතුනි” කියා එ් භික්ෂූන් වහන්සේලාද ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් හට පිළිතුරු දුන්නා. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙම දෙසුම වදාළා.