පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016 ඔක්තෝම්බර් මස 16 වෙනි දින දකුණු කොරියාවේ දී පවත්වන්නට යෙදුණු ධර්ම දේශනය

අද අපි අපේ මව්බිමෙන් ඈත, ඉතා දුර බැහැර කොරියාව කියන රටේ අපි මේ එකතුවෙලා ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිහිටක් ලබාගැනීමට අවස්ථාවක් කරගන්න. පුංචි කාලේ ඉඳලා අපි සියළු දෙනා ‘බුද්ධං සරණං ගච්ඡාමි‘ කියලා තෙරුවන් සරණ ගිය අය. මේ තෙරුවන් සරණ තමයි අපේ ජීවිතයට ලැබුණු එකම පිහිට. ඒ ගැන මං ටිකක් කියා දෙන්නයි කල්පනා කරන්නේ.

ඊට කලින් අපිට සරණක්, පිහිටක්, රැකවරණයක් ඕනෑ කරන්නේ ඇයි කියන කාරණය මං කියා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ අපිට කියා දීලා තියෙන්නේ අපි හැමෝම මේ මනුස්ස ලෝකයේ ඇවිල්ලා තියෙන්නේ පෙර ආත්මයක කරපු කර්මයක විපාක හැටියටයි. මනුෂ්‍ය ලෝකයට අපි ඇවිල්ලා තියෙන්නේ පෙර ආත්මයේ රැස් වුණු පුණ්‍ය විපාකයකටයි.

බුද්ධ දේශනාවේ තියෙනවා මනුෂ්‍යයෙක්, සත්වයෙක් ක්‍රියා කරන්නට… (ක්‍රියා කරනවා කියන්නේ කර්ම රැස් කරනවා) මූලික වෙන කරුණු තුනක්. ඒකට කියනවා ලෝභ, ද්වේෂ මෝහ. ලෝභ කිව්වේ ආශාව. ද්වේෂය කිව්වේ තරහව. මෝහ කිව්වේ මුලාවට පත්වීම. බුද්ධ දේශනාවේ තියෙනවා මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන තුන මුල්වෙලා ක්‍රියා කරනවා. ක්‍රියා කරනවා කියන්නේ සිතින් සිතනවා. ක්‍රියා කරනවා කියන්නේ වචනයෙන් කතා කරනවා. ඊළඟට අතපය, ශරීරය මෙහෙයවලා කරනවා.

බුද්ධ දේශනාවේ තියෙනවා ලෝභයෙන් කරපු දේවල්, ද්වේෂයෙන් කරපු දේවල්, මෝහයෙන් කරපු දේවල් වලින් මිනිස් ලෝකයට එන්න බෑ කියනවා. ලෝභ, ද්වේෂ, මෝහ වලින් යුක්තව කරන දේවල් වලින් මිනිස් ලෝකයේ එන්නේ නෑ කියනවා.