2010 පෙබරවාරි මස 14 වැනි දින, පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ මෙහෙයවීමෙන් කැළණිය රාජමහා විහාරස්ථානයේ දී පවත්වන්නට යෙදුනු යොවුන් සදහම් මංගල්‍යය.

මේ කැළණි වෙහෙරට අද අපි සියළු දෙනා පැමිණුනේ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ, ඒ කියන්නේ අපගේ ශාස්තෘන් වහන්සේ, අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අපට වදාළ ධර්මය ටිකක් අහලා අපේ ජීවිතයට යම්කිසි ආරක්ෂාවක් ලබාගන්නයි. ඉතින් මේ අවස්ථාවේ අපි සියළු දෙනාම මේ උතුම් භූමියේ වාඩි වී සිටින මලින් සරසා ඇති මේ ස්ථූපය පෙනෙද්දී අපේ සිත අතීතයට යනවා.

එදා මණිඅක්ඛිත නා රජුට දම් දෙසා වදාළ තැන, මණිඅක්ඛිත නාගරාජයා ප්‍රමුඛ නා පිරිවරට මිණි පළඟෙහි වැඩහිඳ දහම් දෙසූ තැන අද අපි මේ සියළු දෙනා වාඩි වී සිටින්නේ.

පින්වතුනි, පින්වත් දරුවෙනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය වගේම අපට ඉස්සරට මේ ලෝකයට මුහුණ දීමේදී මොන වගේ ලෝකයක්ද කියලා දැනසිටීමත් උපකාරී වෙනවා.