පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2008 ජූලි මස 20 වෙනි දින කුරුවිට දී පවත්වන්නට යෙදුණු ධර්ම දේශනාවකි.

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

පි මේ ගතකරන කාලේ පහළවෙච්ච බුදු රජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේයි. මීට කලිනුත් බුදුරජාණන් වහන්සේලා පහළ වුනා. මීට කල්ප 91 කට කලින් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුනා. ඒ තමයි විපස්සී බුදුරජාණන් වහන්සේ. මේ කල්පය කියන්නේ කොච්චර කාලයක් ද?. දවසක් ස්වාමීන් වහනසේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා කල්පය කියන්නේ කොච්චර කාලයක් ද කියලා. එතකොට බුදුරජාණන් වහනසේ වදාළා “පින්වත් භික්ෂුව, කල්පයට මෙච්චර කාලයක් අයිතියි කියලා වර්ෂ වලින් කියන්න බෑ. මෙච්චර අවුරුදු දහස් ගණනක් තියෙනවා.. මේච්චර අවුරුදු ලක්ෂ ගණනක් තියෙනවා කියලා වර්ෂ වලින් කියන්න බෑ.” එහෙමනම් ස්වාමීනී උපමාවකින් කියන්න පුලුවන් ද? උපමාවකින් නම් කියන්න පුලුවන් කියා වදාළා. උපමාව තමයි හැතැක්ම හතක් දිග සැතපුම් හතක් උස කළුගලක් තියෙනවා. අවුරුදු සියයකට වතාවක් මනුස්සයෙක් ඒ කළුගල සිනිඳු සේලයකින් පිසදමනවා. කාලයක් ගියාම මේ කලුගල ගෙවෙනවා පොළොව මට්ටමට… ඒත් කල්පය ඉවර නෑ කිව්වා. එතකොට ඒ වගේ අති දීර්ඝ කාලයක් තමයි කල්පයක් කියන්නේ. ඒ වගේ අති දීර්ඝ කාලයක් ඉවරවුනාම කල්පයක් ඉවර වුනා කියනවා. ඉතින් එබඳු කල්ප 91 කට කලින් බුදු කෙනෙක් පහළ වුනා. ඒ බුදු රජාණන් වහන්සේගේ නම විපස්සී.

ඊට පස්සේ කල්ප හැටක් බුදුවරු නෑ… මිනිස්සු ඉපදෙනවා… විකාර කර කර ඉඳලා මැරිලා යනවා… මැරිලා අපායේ යනවා. එතකොට කල්ප හැටක් මේ ලෝකේ කිසි කෙනෙකුට චතුරාර්ය සත්‍යය ගැන අහන්න නෑ.. ආයෙත් කල්පයක් ආවා.. ඒ කල්පේ බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වී වදාළා. සඛී බුදුරජාණන් වහන්සේ සහ වෙස්සභූ බුදුරජාණන් වහන්සේ කියලා. එතකොට මිනිසුන්ට චතුරාර්ය සත්‍යය අහන්න ලැබුනා. ඊට පස්සේ ආයෙත් කල්ප තිහක් ආයෙමත් බුදුවරු නෑ.. ඔබට හිතෙන්න පුලුවං මේ ලෝකේ බුදුරජාණන් වහන්සේලා බොහොම ඉක්මනින් ඉක්මනින් පහළ වෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය තුළින් බැලුවාම පේනවා එහෙම පහළ වෙන්නේ නෑ කියලා.එතකොට කල්ප තිහක් බුදුරජාණන් වහන්සේලා නෑ. ඒ කාලේ මිනිස්සු මැරි මැරී ඔහේ ගියා. ඊට පස්සේ මේ කාලේ ආවා. අපි මේ ගතකරන මේ කල්පයට කියන්නේ මහා භද්‍ර කල්පය කියලා. මේ කල්පය තුළ මේ වනවිට බුදුරජාණන් වහන්සේලා හතරනමක් පහළවී වදාළා. මේ කල්පයේ මුලින්ම පහළ වූ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වන විට මිනිසුන්ගේ ආයුශ අවුරුදු හතලිස් දහසයි. ඒ බුද්ධ ශාසනය ඉවර වුනා. චතුරාර්ය සත්‍යය නෑසී ගියා. ඊට පස්සේ කොණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වී වදාළා. එතකොට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු තිස්දහසයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයත් අතුරුදහන් වුනා. අනිත්‍ය වුනා. කොච්චර අනිත්‍යය වි ගියාද කියන්නේ නටඹුන් වත් හොයාගන්න නෑ. ඊට පස්සේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු විසිදහසක් වන කාලයේදී කාෂ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වී වදාළා. ඒ ශාසනයත් අතුරුදන් වුනා. ඒත් තවම කල්පය අවසන් වුනේ නෑ. මේ එකම කල්පය තමයි ගතවෙන්නේ. ඊට පස්සේ දිගින් දිගටම මිනිසුන්ගේ ආයුෂ අඩු වෙවි ඇවිල්ලා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120 වෙද්දී අපේ වාසනාවට ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වී වදාළා. එතකොට ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ සම්බුද්ධත්වය පත්වුනා අවුරුදු තිස් පහේදී. අවුරුදු 80 ක් උන්වහන්සේ වැඩහිටියා. අවුරුදු 45ක් උන්වහන්සේ සම්බුදුවරයෙක් හැටියට මේ ලොකයේ වැඩහිටියා. ඒ කාලය ඇතුළත උන්වහන්සේ අප්‍රමාණ මහන්සියක් ගත්තා දෙවියන්ට සහ මිනිසුන්ට චතුරාර්ය සත්‍යය දේශනා කරන්නට. ඒ දේශනා කරපු ධර්මය තමයි මේ අපට ඉතිරිවෙලා තියෙන්නේ. ඒ ධර්මය තමයි අපට දැන් අසන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ශාසනයත් අතුරුදන් වෙලා යනවා….

● ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට පිවිසෙන්න »