■ මහ වනයේ ලොකු ගෙඩි ඇති බෙලි ගසක් ඇතේ
ඒ ගස යට තල් පැළයක් පැළවෙලා ඇතේ
■ දවසක් සාවෙක් තල් ගස යට නිදියන්නේ
මහා පොළොව පෙරලේදැයි භයකින් උන්නේ
■ ඒ මොහොතේ බෙලි ගෙඩියක් ගිලිහී වැටුනා
තල් අත්තට හඬ දීගෙන එය බිම වැටුනා
■ ඒ සද්දෙට හාවා උඩ ගොස් බිම වැටුනා
පොළොව පෙරලෙනවා ම යි කියලා සිතුනා
■ පණත් එපා කියා හාවා හනික දුවන්නේ
ඇයි යාලුවා මොකද කියා හාවො අසන්නේ
■ පේන්නැද්ද මහ පෘථිවිය දැන් පෙරලෙනවෝ
පණට ආස අය හනිකට පැනල දුවපියෝ
■ එය අසලා සියලු සාවො පැනලා දිව්වා
ඇයි ද දුවන්නේ කියලා අන් අය ඇසුවා
■ මහා පොළොව පෙරලෙන බව හැමෝම කිව්වා
සියලු සතුන් එකතුව මහ භයකින් දිව්වා
■ බෝසත් සිංහයා දුවන සතුන්ව දැක්කා
ඇයි දුවන්නෙ කියලා එය විමසා සිටියා
■ මේකා අපට කිව්ව පොළොව පෙරලෙයි කියලා
එනිසයි අපි දුවන්නෙ පණ එපා ය කියලා
■ අනේ මෝඩයිනි තොපි ඔය කොහිද දුවන්නේ
තව දිව්වොත් තොපි මහ සයුරටයි වැටෙන්නේ
■ අසනා දෙය සිහි නුවණින් සිට අසපන්නේ
ඔය ගමනින් හැම දෙනා ම මැරිලා යන්නේ
■ සිංහය ඇවිත් ඒ ගැන විමසා සිටියා
අන්තිමේදී සොයාගත්ත ඒ හා පැටියා
■ හාවා භයවුනු තැනට යි සිංහය එන්නේ
බෙලි ගෙඩියක් වැටී තියෙන බව දැනගන්නේ
■ හනේ සතුනි ඇයි තොපිලා මෙතරම් මෝඩ
මොළේ නැද්ද මේ ගැන පොඩියක් විමසන්ඩ
■ වයසට ගොස් පැවිදි වූ අයෙක් ලක්දිව
වැරදි භාවනාවෙන් වැටුනානෙ අවුලක
■ භූතාවේශෙන් ඔහුගේ සිත අවුල් වුනා
බුදුන් උපන් බිම කණපිට හැරිලා පෙනුනා
■ ලංකාවෙලු හිමාල පර්වතේ තියෙන්නේ
මහමේරුව පිදුරුතලාගලලු තියෙන්නේ
■ චිංචි මානවික දෙව්දත් මෙහෙලු උපන්නේ
උදේනි රජු මාගන්දියා මෙහෙලු උපන්නේ
■ නාලාගිරි ඇතාට මෙහිදිලු රා පෙව්වේ
කොසොල් අජාසත් බිම්සර මෙහි රජ කෙරුවේ
■ සැවැත් නුවර දෙව්රම රිටිගලලු තියෙන්නේ
බරණැස ඉසිපතනේ වව්නියා තියෙන්නේ
■ රාජගිරිය අම්පාරෙලු පිහිටා ඇත්තේ
මහජනපද දහසය මේ රටේලු ඇත්තේ
■ රහත් ඵලය ලබලලු මේවා දැනගත්තේ
පටිසම්භිද නුවණලු ඔහු හට දැන් ඇත්තේ
■ මෝඩ රැලක් සාදු කියා එය පිළිගන්නේ
බුදුන් උපන්නේ ලක්දිව කියා නටන්නේ
■ භූතාවේශය හැමතැන පැතිරී යන්නේ
හැම දෙයක් ම කණපිටට යි උන්ට පෙනෙන්නේ
■ භූතාවේශෙන් හොඳ හැටි මගඵල දෙන්නේ
මෝඩ රැලත් සාදු කියා එය අරගන්නේ
■ එක පොදියට ආර්ය උපවාද කරන්නේ
උන් දෙස බලමින් හොඳ හැටි මරු හිනැහෙන්නේ
■ නාමරූප වැටහෙනකොට බඩ යනවාලු
සිත සමාධිගත වෙනකොට බඩ යනවාලු
■ මෝඩ ගෑනු ටික උඩඟුව නන් දොඩවන්නේ
දැහැන් ලබා ඇතැයි කියා නැටුම් නටන්නේ
■ මෝඩ පිරිමි රැලකුත් ඒ නැටුමට එන්නේ
මගඵල ලැබුවා කියමින් උඩු බුරලන්නේ
■ ඒ අයගේ මොළේ තියෙන්නේ කොයි පැත්තේ
දැන ගත්තොත් හොඳා නේද හිඳිනා පැත්තේ
■ නොපෙනෙන ලෝකෙන් ඔවුන්ව කළඹා ඇත්තේ
උඩඟුකමින් මං මුළාව වැනසී ඇත්තේ
■ මාර පිරිස මිනිස් වෙසින් මනුලොව එන්නේ
සිවුරු දරා ශ්රාවක වෙස් ගෙන හැසිරෙන්නේ
■ මෝඩ රැලක් අල්ලෙ තියා උන් නටවන්නේ
සුගතියෙ උපතත් එනිසා අහිමිව යන්නේ
■ සිංහයා මෙසේ ඒ ගැන සතුන්ට කිව්වා
විමසා නොබලා හාවා පැනලා දිව්වා
■ සතුනි දැක්ක නේ සිරිලක නව ඉතිහාසේ
බිම පෙරලේ කියලා හාවා දිව්වා සේ
■ මුළා වූ කෙනා කියනා බස පිළිගත්තූ
තොප හැමටත් එයින් වුනා නේද සවුත්තූ
■ මෙලෙසට ඒ සිංහ රජා පහදා දුන්නේ
හැමෝම බිම බලා ආපසු හැරිලා යන්නේ
– සුනිසිත –
(මහාමේඝ 2018 වෙසක් කලාපයේ පළවූ කවි පෙළකි)
මහමෙව්නා අසපුව තව තව පැතිරේවා
සම්බුදු සසුනේ දියුණුවටම උරදේවා
සම්මා සම්බුදු බන පදරුත් පවසාවා
හැමටම තෙරුවන් සරණින් සෙත සැලසේවා…