දිනවල ආයුෂ්මත් ආනන්ද තෙරුන් වැඩවාසය කළේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ. එදා ආජීවකශ්‍රාවක වූ එක්තරා ගෘහපතියෙක් ආයුෂ්මත් ආනන්ද තෙරුන් වෙත පැමිණියා. පැමිණ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන ආජීවශ්‍රාවක වූ ගෘහපතියා ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට මේ විදිහට කිව්වා. “පින්වත් ආනන්දයන් වහන්ස, කාගේ ධර්මයද මැනැවින් දේශනා කොට තිබෙන්නේ? ලෝකයෙහි මනා වූ ප්‍රතිපත්තියකට පිළිපන් සුපටිපන්න අය කවුද? ලෝකයෙහි සුගත අය කවුද?”

“එහෙනම් ගෘහපතිය, ඒ ගැන මම ඔබගෙන්ම විමසන්නම්. යම් විදිහකට නම් ඔබ කැමැති ඒක ඒ විදිහට ප්‍රකාශ කරන්න. පින්වත් ගෘහපතිය, මේ ගැන ඔබ මොකද හිතන්නේ? යමෙක් රාගයේ ප්‍රහාණය පිණිස ධර්මය දේශනා කරනවා නම්, ද්වේෂයේ ප්‍රහාණය පිණිස ධර්මය දේශනා කරනවා නම්, මෝහයේ ප්‍රහාණය පිණිස ධර්මය දේශනා කරනවා නම්, ඉතින් ඒ ඔවුන්ගේ ධර්මය මැනැවින් දේශනා කළ දෙයක්ද? නැද්ද? ඒ ගැන ඔබට කොහොමද හිතෙන්නේ?” “ස්වාමීනී, යමෙක් රාගයේ ප්‍රහාණය පිණිස ධර්මය දේශනා කරනවා නම්, ද්වේෂයේ ප්‍රහාණය පිණිස ධර්මය දේශනා කරනවා නම්, මෝහයේ ප්‍රහාණය පිණිස ධර්මය දේශනා කරනවා නම්, ඒ ඔවුන්ගේ ධර්මය මැනැවින් දේශනා කළ දෙයක්මයි. ඔය විදිහටයි ඒ ගැන මට හිතෙන්නේ.”

“පින්වත් ගෘහපතිය, මේ ගැන ඔබ මොකද හිතන්නේ? යමෙක් රාගයේ ප්‍රහාණය පිණිස ප්‍රතිපත්තියට පැමිණුනා නම්, ද්වේෂයේ ප්‍රහාණය පිණිස ප්‍රතිපත්තියට පැමිණුනා නම්, මෝහයේ ප්‍රහාණය පිණිස ප්‍රතිපත්තියට පැමිණුනා නම්, ඔවුන් ලෝකයේ සුපටිපන්නද? නැද්ද? ඒ ගැන ඔබට කොහොමද හිතෙන්නේ?” “ස්වාමීනී, යමෙක් රාගයේ ප්‍රහාණය පිණිස ප්‍රතිපත්තියට පැමිණුනා නම්, ද්වේෂයේ ප්‍රහාණය පිණිස ප්‍රතිපත්තියට පැමිණුනා නම්, මෝහයේ ප්‍රහාණය පිණිස ප්‍රතිපත්තියට පැමිණුනා නම්, ඒ ඔවුන් ලෝකයේ සුපටිපන්නමයි. ඔය විදිහටයි ඒ ගැන මට හිතෙන්නේ.”

“පින්වත් ගෘහපතිය, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? යමෙකුගේ රාගය ප්‍රහාණය වුනා නම්, මුලින්ම උදුරලා දමලා නම්, තල්ගසක කරටිය කැඩීම වගේ කරලා නම්, අභාවයට පත්කරලා නම්, නැවත උපදින්නේ නැති ස්වභාවයට පත්කරලා නම්, යමෙකුගේ ද්වේෂය …. (පෙ) …. යමෙකුගේ මෝහය ප්‍රහාණය වුනා නම්, මුලින්ම උදුරලා දමලා නම්, තල්ගසක කරටිය කැඩීම වගේ කරලා නම්, අභාවයට පත්කරලා නම්, නැවත උපදින්නේ නැති ස්වභාවයට පත්කරලා නම්, අන්න ඒ අය ලෝකයෙහි සුගතද? නැද්ද? ඒ ගැන ඔබට කොහොමද සිතෙන්නේ?” “ස්වාමීනී, යමෙකුගේ රාගය ප්‍රහාණය වුනා නම්, මුලින්ම උදුරලා දමලා නම්, තල්ගසක කරටිය කැඩීම වගේ කරලා නම්, අභාවයට පත්කරලා නම්, නැවත උපදින්නේ නැති ස්වභාවයට පත්කරලා නම්, යමෙකුගේ ද්වේෂය ප්‍රහාණය වුනා නම් …. (පෙ) …. යමෙකුගේ මෝහය ප්‍රහාණය වුනා නම්, මුලින්ම උදුරලා දමලා නම්, තල්ගසක කරටිය කැඩීම වගේ කරලා නම්, අභාවයට පත්කරලා නම්, නැවත උපදින්නේ නැති ස්වභාවයට පත්කරලා නම්, අන්න ඒ අය ලෝකයෙහි සුගතමයි. ඔය විදිහටයි ඒ ගැන මට සිතෙන්නේ.”

“පින්වත් ගෘහපති, ඉතින් ඔබ විසින්ම මේ විදිහට ඒ ප්‍රශ්නය විසඳුවා නෙව. ඒ කියන්නේ ‘ස්වාමීනී, යමෙක් රාගයේ ප්‍රහාණය පිණිස ධර්මය දේශනා කරනවා නම්, ද්වේෂයේ …. (පෙ) …. යමෙක් මෝහයේ ප්‍රහාණය පිණිස ධර්මය දේශනා කරනවා නම් ඔවුන්ගේ ධර්මය ස්වාක්ඛාතයි’ කියලා. ඒ වගේම ඔබ විසින්ම අනෙක් ප්‍රශ්නයත් විසඳුවා නෙව. ඒ කියන්නේ, ‘ස්වාමීනී, යමෙක් රාගයේ ප්‍රහාණය පිණිස ප්‍රතිපත්තියට පැමිණුනා නම්, ද්වේෂයේ …. (පෙ) …. මෝහයේ ප්‍රහාණය පිණිස ප්‍රතිපත්තියට පැමිණුනා නම්, ඔවුන් ලෝකයෙහි සුපටිපන්නයි’ කියලා. ඒ වගේම ඔබ විසින්ම ඊළඟ ප්‍රශ්නයත් විසඳුවා නෙව. ඒ කියන්නේ ‘ස්වාමීනී, යමෙකුගේ රාගය ප්‍රහාණය වුනා නම්, මුලින්ම උදුරලා දමලා නම්, තල් ගසක කරටිය කැඩීම වගේ කරලා නම්, අභාවයට පත්කරලා නම්, නැවත උපදින්නේ නැති ස්වභාවයට පත්කරලා නම්, යමෙකුගේ ද්වේෂය ප්‍රහාණය වුනා නම්, …. (පෙ) …. යමෙකුගේ මෝහය ප්‍රහාණය වුනා නම්, මුලින්ම උදුරලා දමලා නම්, තල් ගසක කරටිය කැඩීම වගේ කරලා නම්, අභාවයට පත්කරලා නම්, නැවත උපදින්නේ නැති ස්වභාවයට පත්කරලා නම්, ඒ අය ලෝකයෙහි සුගතයි’ කියලා.”

“ස්වාමීනී, ආශ්චර්යයි! ස්වාමීනී, පුදුම සහගතයි! තමන්ගේ ධර්මය හුවාදැක්වීමත් කළෙත් නෑ. අනුන්ගේ ධර්මය හෙලා දැක්කෙත් නෑ. වුවමනා කරන කරුණු පිණිසම ධර්මය දේශනා කළා. අර්ථයත් ප්‍රකාශ කළා. තමන්ව හුවා දැක්වුවෙත් නෑ.

ස්වාමීනී, පින්වත් ආනන්දයන් වහන්ස, ඔබවහන්සේලා රාගය ප්‍රහාණය කිරීම පිණිසයි ධර්මය දේශනා කරන්නේ. ද්වේෂය ප්‍රහාණය කිරීම පිණිසයි ධර්මය දේශනා කරන්නේ. මෝහය ප්‍රහාණය කිරීම පිණිසයි ධර්මය දේශනා කරන්නේ. ස්වාමීනී, ආනන්දයන් වහන්ස, ඔබවහන්සේලාගේ ධර්මය ස්වාක්ඛාතයි. ස්වාමීනී, ආනන්දයන් වහන්ස, ඔබවහන්සේලා ප්‍රතිපත්තියට පැමිණ සිටින්නේ රාගය ප්‍රහාණය කිරීම පිණිසයි. ද්වේෂය …. (පෙ) …. මෝහය ප්‍රහාණය කිරීම පිණිසයි. ඔබවහන්සේලා ලෝකයෙහි සුපටිපන්නයි. ස්වාමීනී, ආනන්දයන් වහන්ස, ඔබවහන්සේලාගේ රාගය ප්‍රහීණයි. මුලින්ම උදුරා දමලයි තියෙන්නේ. තල් ගසක කරටිය සිඳ දැම්මා වගේ කරලයි තියෙන්නේ. අභාවයට පත්කරලයි තියෙන්නේ. නැවත නූපදින ස්වභාවයට පත්කරලයි තියෙන්නේ. ඔබවහන්සේලාගේ ද්වේෂය …. (පෙ) …. ඔබවහන්සේලාගේ මෝහය ප්‍රහීණයි. මුලින්ම උදුරා දමලයි තියෙන්නේ. තල් ගසක කරටිය සිඳ දැම්මා වගේ කරලයි තියෙන්නේ. අභාවයට පත්කරලයි තියෙන්නේ. නැවත නූපදින ස්වභාවයට පත්කරලයි තියෙන්නේ. ඔබවහන්සේලා ලෝකයෙහි සුගතයි.

ස්වාමීනී, ඉතා සුන්දරයි! ස්වාමීනී, ඉතා සුන්දරයි! යටට හරවා තිබූ දෙයක් උඩු අතට හැරෙව්වා වගෙයි. මං මුලාවූවන්ට නියම මග පෙන්වා දෙනවා වගෙයි. ඇස් ඇති උදවියට රූප දකින්න අඳුරෙහි තෙල් පහනක් දල්වාගෙන දරාසිටිනවා වගෙයි. ඔය විදිහට ආර්ය වූ ආනන්දයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය වදාළා. ආනන්දයන් වහන්ස, මේ මමත් භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් ආර්ය මහා සංඝරත්නයත් සරණ යනවා. ආර්ය වූ ආනන්දයන් වහන්සේ, මං ගැන අද පටන් දිවි තිබෙන තුරාවටම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙස සළකන සේක්වා!

(ආජීවක සූත්‍රය – අං.නි. 01 – තික නිපාතය)

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ