අප භාග්‍යවතුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ

  1. මැනැවින් පිහිටි පාද ඇත්තේ වෙයි. (සුප්පතිට්ඨිතපාදෝ)
  2. යටි පතුල්හි චක්‍රයෝ හටගෙන තිබෙති. අර දහසකින් යුතු, රථ වළල්ල සහිත, නැබ සහිත, සියලු අයුරින් පිරිපුන් චක්‍රයෝ ය. (හෙට්ඨාපාදතලේසු චක්කානි ජාතානි හොන්ති සහස්සාරානි සනේමිකානි සනාභිකානි සබ්බාකාරපරිපූරානි.)
  3. දිගු විලුඹ ඇත්තේ වෙයි. (ආයතපණ්හී)
  4. දිගු ඇඟිලි ඇත්තේ වෙයි. (දීඝංගුලී)
  5. මෘදු යොවුන් අත් පා ඇත්තේ වෙයි. (මුදුතළුනහත්ථපාදෝ)
  6. ඉතා නම්‍යශීලි අත් පා ඇත්තේ වෙයි. (ජාලහත්ථපාදෝ)
  7. ගොප් ඇටය උස් ව පිහිටි පා ඇත්තේ වෙයි. (උස්සංඛපාදෝ)
  8. ඕලු මුවෙකුගේ බඳු කෙණ්ඩා ඇත්තේ වෙයි. (ඒණිජංඝෝ)
  9. සිටගෙන ම නොනැමී දෙඅත්ලෙන් දෙදණ ස්පර්ශ කොට පිරිමැදිය හැක්කේ වෙයි. (ඨිතකෝ’ව අනෝනමන්තෝ උභෝහි පාණිතලේහි ජණ්ණුකානි පරිමසති පරිමජ්ජති)
  10. කොපුවක බහාලූ දෙයක් බඳු ව සැඟවී ගිය පුරුෂ නිමිත්ත ඇත්තේ වෙයි. (කෝසෝහිතවත්ථගුය්හෝ)
  11. රන්වන් පැහැයෙන් යුතු, රන්වන් සමක් ඇත්තේ වෙයි. (සුවණ්ණවණ්ණෝ හෝති කඤ්චනසන්නිභත්තචෝ)
  12. සිවිය සියුම් හෙයින් කයෙහි දුහුවිලි නොරඳින සියුම් සිවියක් ඇත්තේ වෙයි. (සුඛුමච්ඡවි හෝති සුඛුමත්තා ඡවියා රජෝජල්ලං කායේ න උපලිප්පති)
  13. තනි තනි ව හටගත් ලොම් ඇත්තේ වෙයි. එනම් එක් එක් රෝම කූපයෙහි එක බැගින් හටගත් රෝම ඇත්තේ වෙයි. (ඒකේකලෝමෝ හෝති, ඒකේකානි ලෝමානි ලෝමකූපේසු ජාතානි)
  14. උඩුකුරු ව කරකැවී ගිය ලොම් ඇත්තේ, උඩුකුරු ව කරකැවී ගිය තද නිල් පැහැ ඇති, අඳුන් වන් ව කුණ්ඩලාවර්තී ව රවුම් ව කැරකී ගිය, දකුණු අතට කරකැවී ගිය ලෝමයන් ඇත්තේ වෙයි. (උද්ධග්ගලෝමෝ හෝති, උද්ධග්ගානි ලෝමානි ජාතානි නීලානි අඤ්ජනවණ්ණානි කුණ්ඩලාවත්තානි පදක්ඛිණාවත්තකජාතානි)
  15. බ්‍රහ්මරාජයෙකුට බඳු ඍජු සිරුරක් ඇත්තේ වෙයි. (බ්‍රහ්මුජ්ජුගත්තෝ)
  16. උස් ව මතු වූ සත් තැනකින් යුතු වූයේ වෙයි. (සත්තුස්සදෝ)
  17. සිංහරාජයෙකුගේ බඳු පෙර අඩකය ඇත්තේ වෙයි. (සීහපුබ්බද්ධකායෝ)
  18. පිරී ගිය පිටතුරු ඇත්තේ වෙයි. (චිතන්තරංසෝ)
  19. නුගරුකක් බඳු සම ප්‍රමාණ වූ කය ඇත්තේ වෙයි. කය යම් පමණ ද, බඹය ද එපමණ ය. බඹය යම් පමණ ද, කය ද එපමණ ය. (නිග්‍රෝධපරිමණ්ඩලෝ හෝති, යාවතක්වස්ස කායෝ, තාවතක්වස්ස බ්‍යාමෝ, යාවතක්වස්ස බ්‍යාමෝ තාවතක්වස්ස කායෝ)
  20. සමවට කඳ ඇත්තේ වෙයි. (සමවත්තක්ඛන්ධෝ)
  21. රස නහර ඇත්තේ වෙයි. (රසග්ගසග්ගී)
  22. සිංහරාජයෙකුගේ බඳු සවිමත් හනු ඇත්තේ වෙයි. (සීහහනු)
  23. සතලිසක් දත් ඇත්තේ වෙයි. (චත්තාළීසදන්තෝ)
  24. සම වූ දත් ඇත්තේ වෙයි. (සමදන්තෝ)
  25. දත් අතර විවර නැති සේ පිහිටි දත් ඇත්තේ වෙයි. (අවිරළදන්තෝ)
  26. ඉතා සුදු වූ දත් ඇත්තේ වෙයි. (සුසුක්කදාඨෝ)
  27. දික් වූ, පළල් වූ දිව ඇත්තේ වෙයි. (පහූතජිව්හෝ)
  28. කුරවීකයන්ගේ බඳු මිහිරි හඬ බ්‍රහ්මස්වර ඇත්තේ වෙයි. (බ්‍රහ්මස්සරෝ හෝති, කරවීකභාණී)
  29. තද නිල් පැහැ ගත් නෙත් ඇත්තේ වෙයි. (අභිනීලනෙත්තෝ)
  30. වහුපැටවෙකුගේ බඳු ඇස් මඬල ඇත්තේ වෙයි. (ගෝපඛුමෝ)
  31. දෙබැම අතර හටගත් ඌර්ණ රෝමය සුදු පැහැයෙන් යුතුව මොලොක් පුළුන් රොදක් සෙයින් ඇත්තේ වෙයි. (උණ්ණා භමුකන්තරේ ජාතා හෝති ඕදාතා මුදුතූලසන්නිභා)
  32. පිරිපුන් නළල් තලයකින් යුත් සිරසක් ඇත්තේ වෙයි. (උණ්හීසසීසෝ හෝති)

කියවන්න දීඝ නිකාය 3 වන පොත් වහන්සේගේ ලක්ඛණ සූත්‍රය

maha purusha lakshana