ලොව එළිය කරනා පහනක් බඳු වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ අප්‍රමාණ වූ අවබෝධ ඤණයෙන් අනාගතය බලන කල්හි සම්බුදු සසුන උතුම් ලංකාද්වීපයේ පිහිටන බව දකිමින් තෙවරක් ම අප මාතෘ භූමියට වැඩම කළ සේක. මෙසේ උතුම් සම්බුදු ශ්‍රී පාද පද්ම පහසින් පාරිශුද්ධත්වයට පත් අපගේ මාතෘ භූමිය පිළිබඳව
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ දී
‘දේවේන්ද්රය, මාගේ සාසනය ලංකාද්වීපයෙහි පිහිටන්නේ ය.’
යනුවෙන් සක්දෙවිඳුන්ට වදාළ බව මහාවංශයේ සඳහන් වෙයි.
මහින්දෝ උපසංකම්ම – මහින්දත්ථේර මුත්තමං
යාහි ලංකං පසාදේතුං – සම්බුද්ධේනා’සි ව්යාකතෝ
එතකොට මහා ඉන්ද්‍ර නැමැති සක්දෙව් රජුන් අපගේ උත්තම වූ මිහිඳු මහරහතන් වහන්සේ වෙත පැමිණියා.
“සම්බුදු සසුන කෙරෙහි පහදවන්ට ලංකාවට වඩින්ට ස්වාමීනී,
අපගේ සම්බුදුරජාණන් වහන්සේත්
ලංකාවෙහි බුදු සසුන ඔබවහන්සේ විසින් පිහිටුවන බවට
පිරිනිවන්පානා අවස්ථාවෙදී අපට වදාළා.”
̃(දහතුන්වෙනි පරිච්ඡේදය – මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීම, මහාවංශය)
මේ අයුරින් උතුම් සම්බුදු සසුන ලංකාද්වීපයේ බබළවනු පිණිස තම උපන් දේශය ද, ඤතීන් ද අතහැර මහා මහින්ද නම් වූ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කළ සේක. ඉන් අනතුරුව මේ ලක් දෙරණේ උපන් පිනැති සත්පුරුෂයන් සදහම් දායාදය ලබමින් සදහටම දුක් නිමා කරමින් අරහත්වයට පත්වූයේත් මගඵල සාක්ෂාත් කළේත් මිහිඳු මහරහතන් වහන්සේගේ අප්‍රමාණ වූ උපකාරය ලද නිසාමය. පුරාණයේ සිටි කෙළෙහිගුණ දත් සත්පුරුෂයෝ එ් බව සැම කල්හිම නිරන්තරයෙන් සිහි කළෝය.
මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය
30. මහාමහින්දත්ථේරෝ තු – ජිනසාසනමුත්තමං
පරියත්තිං පටිපත්තිං – පටිවේධඤ්ච සාධුකං
අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන උතුම් බුද්ධ ශාසනය ඉතා යහපත් ලෙස,
31. ලංකාදීපම්හි දීපෙත්වා – ලංකාදීපෝ මහාගණි
ලංකාය සෝ සත්ථුකප්පෝ – කත්වා ලංකාහිතං බහුං
ලංකාදීපයෙහි බැබලෙව්වා. ලංකාවට මහත් පිහිටක් ලබාදුන්නා. මහා සඟ පිරිවරකින් යුක්ත වුනා. උන්වහන්සේ ලංකාවට ශාස්තෘන් වහන්සේ හා සමානව ලොවට යහපත පිණිස බොහෝ කටයුතු සිදුකොට වදාළා.
32. තස්ස උත්තියරාජස්ස – ජයවස්සම්හි අට්ඨමේ
අන්තෝවස්සං සට්ඨිවස්සෝ – චේතියපබ්බතේ වසං
උත්තිය රජ්ජුරුවෝ රාජ්‍යාභිෂේක කරලා ජයග්‍රාහී අටවෙනි වර්ෂයේ උපසම්පදාවෙන් සැට වසරක් ගත වුන අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලේ සෑගිරි විහාරයේ වැඩ වාසය කළා.
33. අස්සයුජස්ස මාසස්ස – සුක්කපක්ඛට්ඨමේ දිනේ
පරිනිබ්බායි තේනේතං – දිනං තන්නාමකං අහු
වප් මාසයේ පුර පක්ෂයේ අටවෙනි දවසේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළා. ඒ නිසා වප් මාසයේ පුර අටවක දවස උන්වහන්සේගේ නමින් හැඳින්වුනා.
34. නිබ්බුතස්ස මහින්දස්ස – අට්ඨමියං දිනේ පන
තේන තං දිවසං නාම – අට්ඨමියාති සම්මතං
අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අටවක දා පිරිනිවන් පෑ සේක. එනිසා ඒ පුර අටවක දා ‘ශ්‍රී මිහිඳු පුර අටවක’ යි සම්මත වුනා.
(විසිවෙනි පරිච්ඡේදය – මහාවංශය)
එහෙත් මෑතක සිට මේ සත්‍ය වූ ඉතිහාසය විකෘති කරමින්, අප කෙරෙහි අනුකම්පාවෙන් ලක් දෙරණට වැඩි මිහිඳු මහරහතන් වහන්සේ ‘ඔත්තුකරුවෙක්’ යැයි කියමින් අභූතයෙන් චෝදනා කරමින් මහජනතාව මුලාවට පත්කරවන අසත්පුරුෂ ගිහි පැවිදි පිරිසක් මේ රටෙහි බිහි වී තිබේ.
මේ විකෘතිය ඇසූ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සිතේ ඇති වූ සංවේගය නිසා මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා අග්‍ර වූ අරහන්ත පූජාවක් පවත්වමින් ජනතාවට නැවතත් සත්‍ය විවෘත කිරීම පිණිසත්, සිදුකළා වූ අද්විතීය සේවයට ස්වල්ප වශයෙන් හෝ කළගුණ දක්වනු පිණිසත් මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා විහාරයක් තනවන්නට තීරණය විය.
එහි ප්‍රතිඵලයක් ලෙස පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා ‘ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය’ නමින් මනරම් විහාරයක් ඉදි විය.
ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය
මෙලෙස අපගේ මිහිඳු මහරහතන් වහන්සේ කෙරෙහි ඉමහත් ශ්‍රද්ධාවෙන් ඉදිකළ මෙම ‘ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය’ සැදැහැවතුන්ට වන්දනා මාන කරගැනීම උදෙසා විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ වප් මස 13 වෙනි දින (ඔක්තෝබර් 13) සිට වප් මස පුර අටවක දින වන වප් මස 16 දින (ඔක්තෝබර් 16) දක්වා පැවැත්වේ.