ඓතිහාසික අනුරාධපුර මිහින්තලා පින්බිමෙහි සුපිහිටි, වසර දහස් ගණනකට පසුව ප්‍රතිසංස්කරණයට කරන්නට යෙදුණ ශ්‍රී අනුබුදු මිහිඳු මහා සෑ රජාණන් වහන්සේගේ “ධාතු නිධාන පුණ්‍ය මහෝත්සවය” මිහින්තලා රාජමහා විහාරාධිපති අතිපූජනීය වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ ආශීර්වාදයෙන් ද, අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයෙන් සහ මග⁣පෙන්වීමෙන් ද, සේරුවිල මංගල රජමහා විහාරාධිපති පූජ්‍ය අළුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් ද වර්ෂ 2024 ක් වූ ජූනි 21 වන දිනට යෙදුණු පොසොන් පුන් පොහෝදා අලුයම 6.00ට අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.

මෙහිදී සෑයේ සතරැස් කොටුවේ උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා සහ ගර්භයෙහි දීපප්පසාදක වූ ශ්‍රීමත් මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා නිධන්ගත කෙරුණු අතර මෙම පින්කම සඳහා දිවයිනේ නන් දෙසින් විශාල සැදැහැවතුන් පිරිසක් සහභාගී විය.

මේ උතුම් පින්කමෙන් රැස්වූ සියලු පින් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මේ මහා කෘතවේදී පින්කම සඳහා ඇප කැප වුණු ගරුතර මහා සංඝරත්නයටත්, මෙම මිහිඳු මහාසෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහාත්, ධාතු නිධානෝත්සවය සඳහාත් මුදලින්, ශ්‍රමයෙන් හා නන් අයුරින් දායක වූ සියලු පින්වතුන්ටත්, දැකබලා අනුමෝදන් වන සුපින්වත් ඔබ සැමටත් මේ ගෞතම බුදුසසුනේදී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිස ම හේතු වාසනා වේවා!

සිදුකළ තවත් පින්කම්

  • මිහිඳු සෑ මළුව පුළුල් කර සලපතල මළුව සැකසීම.
  • මල් ආසන සහිත ගෙවල් 4 සැකසීම.
  • පැමිණෙන සැදැහැවතුන්ට අව් රශ්මියෙන් හෝ වැස්සෙන් පීඩාවට පත් නොවී වැඳුම් පිදුම් සිදුකරගැනීම සඳහා සෙවණ මණ්ඩපයක් ඉදිකිරීම.
  • භාග්‍යවතුන් වහන්සේ උදෙසාත්, මිහිඳු මහරහතන් වහන්සේ උදෙසාත් පූජාවන් පිළියෙල කිරීම සඳහා පූජා මණ්ඩපයක් ඉදිකිරීම.
  • පහන් පූජාවන් සිදුකරීමට පහන් මණ්ඩපයක් ඉදිකිරීම.
  • මිහිඳු සෑය වටා ආලෝක පද්ධතිය සැකසීම.
  • මහාසෑයේ විහාර මන්දිරය පිළිසකර කිරීම.
  • මිහිඳු සෑය අසල බෝධි මණ්ඩපය ඉදිකිරීම.
  • ආරාධනා ගලේ අත්වැට සහ පඩිපෙළ පිළිසකර කිරීම.
  • මැද මළුවේ මුළුතැන්ගෙයක් ඉදිකිරීම.
  • ඉට්ඨිය සෑයේ ආරක්ෂිත බැම්ම සැකසීම.
  • මිහිඳු සෑ මළුවේ වතුර ෆිල්ටරයක් ස්ථාපිත කිරීම.
  • මිහිඳු සෑ මළුව ආසන්නයේ වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම.
  • ධාතු මන්දිරය අසල පඩිපෙළ සහ මහාසෑයට යන පඩිපෙළ පිළිසකර කිරීම.

වීඩියෝ පෙළ

ඡායාරූප එකතුව