අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ආනන්ද මහරහතන් වහන්සේගේ ජීවන චරිතය අළලා රචනා කරන ලද ‘සම්බුදු සුවඳේ පහස ලත් අනඳ මහතෙරණුවෝ’ නවතම ග්‍රන්ථය 2024 අගෝස්තු මස 24 වන දා පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී එළිදක්වන ලදී. එම උතුම් උත්සව අවස්ථාවේදී අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් මේ ග්‍රන්ථයේ විශේෂත්වය ගැනත් ආනන්ද මහරහත් මුනිඳුන්ගේ උතුම් ගුණ වරුණත් ඇසුරෙන් ධර්මානුශාසනාවන් පවත්වන්නට යෙදුනි. එමෙන්ම ථේරගාථා පාළියේ සඳහන් ආනන්ද මහරහතන් වහන්සේ වදාළ ගාථාවන් මනරම් පසුබිම් වාදනයක් ද සමග පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ හඬින් සියලු දෙනාට ම ශ්‍රවණය කරන්නට අවස්ථාව උදාවිය.

පොත ගැන

අප භාග්‍යවතුන් වහන්සේගේ මහාශ්‍රාවක සඟරුවන අතර ආනන්ද මහරහතන් වහන්සේගේ නම කියන විට ම මුළු මහත් බෞද්ධ ලෝකයාගේ සිතෙහි උන්වහන්සේ පිළිබඳව මහත් ආදර ගෞරවයක් නිතැතින් ම හටගනී. එයට ප්‍රධාන හේතුව නම් අනඳ මහතෙරුන් විසිපස් වසක් පුරා සිය සදාදරණීය ශාස්තෘන් වහන්සේට නිබඳ කැපවීමෙකින් උපස්ථානයන් කිරීම ය. එසේ ම, බුද්ධ දේශනා කියවීමේ දී ද ආනන්ද නාමය නිතර ම හමුවේ.

අප ගේ අනඳ මහතෙරුන් පිළිබඳව බොහෝ තොරතුරු ඇතත් ඒ සියල්ල ම එක්කොට පොතක් ලිවීම පහසු නැත. එහෙත් අනඳ මහතෙරුන් පිළිබඳ දතයුතු බොහෝ වැදගත් කරුණු කාරණා මේ පොතෙහි සඳහන් ය. ඇතැම්විට ඒවා ඉතා අනුවේදනීය ය.

අනඳ මහතෙරුන් බඳු සත්පුරුෂ උතුමෙකුගේ උත්තුංග චරිතාපදානය මෙපමණෙකින් හෝ ලියන්ට ලැබීම කෙනෙකුට ලැබෙන අතිමහත් භාග්‍යයක් යැයි සිතේ. ඔබත් මේ පොත අවසන් වනතුරු කියවුව මැනව. අනඳ මහරහතන් වහන්සේ පිළිබඳව සිත පහන් කරගත මැනව. ඒ මහෝත්තමයන් වහන්සේගේ අසිරිමත් දිවිසැරිය දැනගන්ට ලැබීම වාසනාවක් කොට සැලකුව මැනව. එය කවදා හෝ ඔබට පිහිට වනු ඇත.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

අප භාග්‍යවතුන් වහන්සේට විසිපස් වසරක් උවටැන් කළ, සෙවණැල්ලක් සේ වැඩසිටි, සුපූජනීය අනඳ මහරහතන් වහන්සේගේ අසිරිමත් ගුණ කදම්බය ඇතුළත් මෙම සොඳුරු පොත් වහන්සේ ඔබට දැන් මහමෙව්නාව භාවනා අසපු ශාඛාවලින් හා මහාමේඝ ප්‍රකාශකයෝ වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

ගෞතම බුදුසසුනෙහි වැඩසිටි, සසර දුක් අවසන් කළ, නිකෙලෙස් පිරිසිදු සිත් ඇති, උතුම් රහතන් වහන්සේලා විසින් පැවසූ උදාන ගාථාවන් ඇතුළත් වන්නේ සූත්‍ර පිටකයේ, ඛුද්දක නිකායට අයත්‍ ථේරගාථා පාළියෙහි ය. එම ග්‍රන්ථය පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ‘ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා‘ නමින් සිංහලට පරිවර්තනය කොට ඇත. එම ග්‍රන්ථයේ සඳහන් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ, මේ බුදුසසුනේ අගතනතුරු පහක් දරා වැඩසිටි අනඳ මහතෙරුන් වහන්සේ විසින් පැවසූ ගාථාවන් ය මියුරු පසුබිම් වාදනයක් ද සමග පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ හඬින් ඔබට මෙයින් අසන්නට ලැබෙන්නේ.