පතුරන සිව් දිසාවට මෙත් ගුණය නිති
ලද යම් කිසිවකින් තුටුවන සිත පැවති
සියලූ කරදර මැද – තැති ගැනීමක් නැතිවම
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….
අපගේ ශාස්තෘන් වහන්සේ පසේබුදුවරයන් වහන්සේලා පිළිබඳව කරනු ලබන අතිශයින්ම දුර්ලභ චරිතාපදානයන් ගැන සිත පහදවාගැනීමෙන් පවා අපට පින් රැස් කරගන්නට පුළුවනි. බුදුවරයන් වහන්සේලා ගැන, පසේබුදුවරයන් වහන්සේලා ගැන, රහතන් වහන්සේලා ගැන සිත පහදවා ගන්නට හැකි ආකාරයට නුවණ මෙහෙය වීමට අප දක්ෂ විය යුතුය. එය සැබැවින්ම අපගේ සසර ගමනට මහෝපකාරී වනු ඇත.
මෙම කථාවේ සඳහන් වන්නේ ද පසේබුදුවරයන් වහන්සේ නමකගේ විස්තරයයි. ඛග්ගවිසාණ ගාථා දේශනාවට අයත් අටවන ගාථාවෙහි සඳහන් වෙන පසේබුදුවරයන් වහන්සේගේ ප්රවෘත්තියයි අප දැන් දැනගන්නේ.
මේ මහා භද්‍ර කල්පයෙහි තුන්වැනිව පහළ වූයේ කාශ්‍යප නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේය. එකල මිනිසුන්ගේ ආයුෂ වසර විසිදහසක්ව තිබුණා. බොහෝ පිනැතියන් කසුප් බුදු සසුනෙහි පැවිදිව සරණ සිල්හි පිහිටා පින් රැස් කරගත්තා. එක්තරා යහළුවන් පස් දෙනෙක් ද කසුප් බුදු සසුනෙහි පැවිදි වුණා. ඉතාමත් ආදර ගෞරවයෙන් යුතුව කාශ්‍යප බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ශ්‍රී සද්ධර්මයත් සරණ ගියා. ශ්‍රාවක සඟරුවනත් සරණ ගියා. සීල සම්පත්තියෙහි පිහිටියා. පිළිවෙත් පිරුවා. නමුත් මේ පින්වත් ස්වාමීන් වහන්සේලා නිවන් අවබෝධ කරන්නේ පච්චේකබෝධියෙන් බව උන්වහන්සේලා දැනසිටියේ නැහැ. ප්රාර්ථනාවන්ට සීමා කොට වාසය කළේ නෑ. අද අදම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත යුතුයි යන අවංක අදහසින් මහණ දම් පිරුවා. ගතපච්චාගත වතත් පිරුවා.
නමුත් උන්වහන්සේලාට ඒ ජීවිතයේදී මාර්ගඵලාවබෝධයක් ඇති කරගන්නට බැරිවුණා. විසිදහසක් අවුරුදු මහණදම් පුරද්දී පවා මාර්ගඵලාවබෝධයක් නොලැබී යාම පිළිබඳව උන්වහන්සේලා පසුතැවුණේ නෑ. ඉතාමත් සතුටින් සරණ සිල් ආරක්ෂා කළා. ධර්මයේ හැසිරුණා. ධර්මාවබෝධ කිරීමේ අදහස වෙනස් කරගත්තේ නෑ. එනිසාම උන්වහන්සේලා තුළ සසරේ රැස් කරගෙන ආ පුණ්‍ය ධර්මයන් බලවත්ව මෝරා ගියා. එසේ බලවත් වූ පුණ්‍යානුභාවයෙන් යුතුව දෙව්ලොව උපන්නා.
වසර දහස් ගණනක් දිව්‍ය සැප විඳිමින් දෙව්ලොව වාසය කළා. අපගේ ශාස්තෘන් වහන්සේ වන ගෞතම බුදුරජුන්ගේ ශාසනය පහළ වෙන්නට පෙර පසේබුදුවරුන්ගේ යුගයක් ඇතිවුණා. ඒ යුගයේදී අර දෙව්ලොව උපන් දිව්‍ය පුත්‍රයන් පස්දෙනා දෙව්ලොවින් චුත වුණා. ජ්‍යෙෂ්ඨ දිව්‍යපුත්‍රයා බරණැස් රජපවුලේ උපන්නා. අනෙක් දිව්‍යපුත‍්‍රවරුන් ප්‍රාදේශීය රජපවුල්වල උපන්නා.
සසරේ රැස් කළ පිනට අනුව ප්‍රාදේශීය රජ පවුල්වල උපන් රාජකුමාරවරුන් යහළුවන් බවට පත්වුණා. මේ යහළු රජවරුන් හතර දෙනා කැමති වූයේ රාජ්‍ය උත්සව, ප්‍රිය සම්භාෂණ, මධුපානෝත්සව ආදී කාමරතියෙහි ඇලීම නොව, හුදෙකලා පරිසරයට ආසා කිරීමයි. මොවුන් සිත්කලූ උද්‍යාන බලන්න යනවා. වනාන්තර බලන්න යනවා. ගල්තලාවල වාඩි වී ඉන්නවා. මොවුන් තුළ ක්‍රමක්‍රමයෙන් රාජ සැපයෙහි ඇල්ම අඩුවුණා. බණභාවනාවට යොමු වුණා. දැන් මේ හතර දෙනාම වරින් වර එකතු වෙන්නේ භාවනා කිරීමටයි. තම තමන්ගේ මාළිගාවන්හි උඩුමහලට යන මේ රජවරු දිගටම භාවනා කරන්න පටන් ගත්තා. පුණ්‍ය මහිමය නිසා කිසි අපහසුවකින් තොරව චිත්ත සමාධිය වැඩුණා. ප්‍රඥාවත් වැඩුණා. සමථ විදර්ශනා භාවනාවන් මුහුකුරා ගියා. හතර දෙනා වෙන වෙනම හුදෙකලාවේම චතුරාර්ය සත්‍යය අවබෝධ කළා. නිකෙලෙස් බවට පත්වුණා. පසේබුදුවරයන් වහන්සේලා බවට පත්වුණා.
මේ පසේබුදුවරයන් වහන්සේලා සිව්නම හිමාලයෙහි නන්දමූලක පර්වතයට වැඩියා. එහි ගුහාවල සමවත් සුවයෙන් කල් ගෙව්වා. දිනක් මුන්වහන්සේලා තම තමන් පැමිණි සසර ගමනේදී කරන ලද පින් මෙනෙහි කළා. එසේ අතීත භවයන් මෙනෙහි කරන විට කසුප් බුදු සසුනෙහි මිතුරන් පස් දෙනෙක්ව එකට මහණදම් පිරූ අයුරු දැනගන්නට පුළුවන් වුණා. දැන් හතර දෙනෙක් එක් වී සිටිනවා. පස්වැනියා ඉන්නේ කොහේදැයි විමසා බැලූවා. ඔහු තමා සියල්ලන්ගෙන්ම ජ්‍යෙෂ්ඨයාව සිටියේ. දැන් ඔහු බරණැස් නුවර රජ බවට පත් වී දැහැමින් රජ කරනවා.
බරණැස් නුවර රජතුමාට මෑතක සිට බලවත් ප්‍රශ්නයක් ඇති වුණා. එනම් රාත්‍රී මධ්‍යම යාමයේ තුන්වරක්ම බියට පත් වී අවදි වීමයි. එවිට මේ රජතුමා නින්දෙන් කෑ ගසනවා. ඇතැම් විට උඩුමහලට දුවගෙන යනවා. රජතුමා මේ හේතුවෙන් බලවත් පීඩාවක් වින්දා. හිතට කිසි සතුටක් තිබුණේ නෑ. නමුත් කාටවත් කියන්න විදිහකුත් නෑ. හිතේ තෙරපා ගෙන හිටියා. සුවදායක නින්දක් නොමැති නිසා රජතුමාගේ මුහුණේ වෙනසක් ඇතිවුණා. මෙය පුරෝහිත බ්‍රාහ්මණයා දැක්කා.
“පින්වත් රජ්ජුරුවන් වහන්ස, දැන් දින කිහිපයක් තිස්සේ මං ඔබවහන්සේගේ මුව මඬලෙහි ඉරියව් පිරික්සා බැලූවා. එයට හේතු වුණේ වෙනදා තිබුණු ප්‍රීතිමත් සැපදායක සෝභාසම්පන්න බව නැති වී ඇති බව මට පෙනී ගිය නිසා. ඔබවහන්සේගේ මුව මඬලෙහි කිසියම් වෙහෙසකර බවක් පෙන්නුම් කරනවා.
පින්වත් රජ්ජුරුවන් වහන්ස, ඔබවහන්සේට කිසියම් චිත්ත පීඩාවක් තිබෙනවාද? වේදනාකාරී කරුණක් තිබෙනවාද? ඔබවහන්සේ සුවසේ සැතපෙන සේක්ද?”
“ආචාර්යපාදයෙනි, මා මෙතෙක් සඟවා ගෙන සිටි කරුණක් ඔබ සොයා ගත්තා. ඔබගේ ප්‍රකාශයෙහි කිසියම් සත්‍යයක් තිබේ. මා හට දැන් කලක් තිස්සේ සුව නින්දක් නෑ. රාත්‍රී මධ්‍යම යාමයෙහි කිසියම් අද්භූත බියජනක දෙයකින් තුන් වතාවක් අවදි වෙනවා. ඇතැම් විට මට කෑ ගැසෙනවා. ඇතැම් අවස්ථාවන්හීදී මා උඩුමහලට දුව යනවා. මෙය කිසියම් රෝගයක් දැයි මට නොවැටහේ.”
එතකොට පුරෝහිත බ්‍රාහ්මණයා නළල රැළි නංවා ගත්තා. තඹවන් රැවුල අතින් පිරිමදින්නට පටන් ගත්තා. උගුරේ රැල් බුරුල් හරින්නට පටන් ගත්තා.
“රජ්ජුරුවන් වහන්ස, මේ ගැන කල්පනා නොකරන සේක්වා! මා අපගේ වේද ශාස්ත්‍රය අනුව සිදු වී ඇති කාරණාව වහා සොයා ගන්නම්. ඇතැම් විට බලවත් ග්‍රහ කෝපයක් වෙන්නට පුළුවනි. ඒරාෂ්ටකයක් වෙන්නට පුළුවනි. සමහර විට බලවත් ග්‍රහ මාරුවක් නිසා ඇති වූ දරුණු දෙයක් වෙන්නටත් පුළුවනි. කෙසේවෙතත් මේ සියල්ලේ සත්‍ය ස්වභාවයත්, මෙයට කළ යුතු නොවරදින ප්‍රතිකාරත් ඔබවහන්සේට මා හෙට දවස තුළම දැනුම් දෙන්නම්.”
පුරෝහිත බ්‍රාහ්මණයාට කිසි කරුණක් සොයා ගන්නට නොහැකි වුණා. ඔහු සිතුවේ බොහෝ වියදම් කොට සතුන් මරා මහා යාගයක් කළ විට රජතුමාගේ ප්රශ්නය විසඳෙන බවයි. ඔහු පසුවදාම රාජ මාළිගයට ගොස් රජතුමාට සැළ කළා.
“පින්වත් රජ්ජුරුවන් වහන්ස, මා ඊයේ කළ ප්‍රකාශය අනුව කරුණු සොයා බැලූවා. ඔබවහන්සේගේ ජීවිතයට බලවත් අන්තරායක් තියෙනවා. ඔබවහන්සේගේ රාජ්‍යයට බලවත් අන්තරායක් තියෙනවා. මෙය විසඳීම පිණිස සුභ නැකතක් බලා යාගයක් කළ යුතුයි.”
“ආචාර්යපාදයන් වහන්ස, ඉතා මැනැවි. ඉතා මැනැවි. කෙසේ හෝ මා මේ ප්‍රශ්නයෙන් නිදහස් විය යුතුයි. ඒ සඳහා ඔබ කරන ඕනෑම යාගයකට මා සූදානම්.”
“එසේ නම් රජ්ජුරුවන් වහන්ස, මෙතෙක් ගණනක් ඇතුන් මට ලැබේවා. අසුන් මට ලැබේවා. ගවයින් මට ලැබේවා. එළුවන්, බැටළුවන්, ඌරන්, කුකුලන් මට ලැබේවා. මෙතෙක් පමණට රන්, රිදී, මාණික්‍යය මට ලැබේවා. මා ඔබවහන්සේට සදාකාලික රැකවරණය ඇති උදාර වූ යාගයක් කොට සෙත් පතන්නම්.”
දැන් යාගය පිණිස සියලූ කටයුතු ලහි ලහියේ සූදානම් වෙනවා. අතිවිශේෂ වූ සුභ මුහුර්තියකින් රාජාංගනයෙහි යාග කණුව සිටෙව්වා. සිය ගණන් සතුන් යාගය පිණිස එක් රැස් කරන්න පටන් ගත්තා. රාජාංගනය පුරා සතුන්ගේ හඬින් ඒක නින්නාද වී ගියා. බවුන් වඩමින් සිටි පසේබුදුවරයන් වහන්සේලා තමා සමඟ පිළිවෙත් පිරූ තම වැඩිමහළු ශ්රමණයන් වහන්සේ දැන් රජෙක් වී කරගන්නට යන විපත දුටුවා.
“අහෝ! අපගේ සහෝදර වූ බරණැස් රජතුමා සත්ව ඝාතනය කොට මහා යාගයකට සූදානම් වෙනවා. මේ අනතුර සිදුවුවහොත් මොහුටත් විමුක්ති සාධනය පිණිස ඇති වාසනාවට බාධා වෙන්නට පුළුවනි. එයට පෙර ඔහු රැක ගත යුතුයි.”
එදා රජතුමා සීමැදුරු කවුළුවෙන් යාගය පිණිස කටයුතු සූදානම් වන අයුරු බලමින් සිටියා. එවේලෙහි රාජාංගනයෙහි ශාන්ත ඉරියව්වෙන් යුතුව පාත්‍රා අතැතිව පිඬු සිඟා වඩින ශ්රමණයන් වහන්සේලා සිව් නමක් දකින්නට ලැබුණා. උන්වහන්සේලා දුටු සැණින්ම රජුගේ සිතෙහි මහත් ස්නේහයක් හටගත්තා. ගෞරවාදරයක් හටගත්තා. විශ්වාසයක් හටගත්තා. රජතුමා උන්වහන්සේලාව මාළිගයට වඩම්මවා ගත්තා. ආසනවල වඩා හිඳුවා දානය පූජා කරගත්තා.
“පින්වත් ශ්රමණයන් වහන්ස, ඔබවහන්සේලාගේ ඉරියව් ඉතාමත් ශාන්තයි. ඔබවහන්සේලාගේ ඇවතුම් පැවැතුම් ප්රියජනකයි. ඔබවහන්සේලාගේ සිතෙහි ඇති පිවිතුරු බව බාහිරටත් දැනෙනවා. පින්වත් ශ්රමණයන් වහන්ස, මං කැමතියි ඔබවහන්සේලාගේ නම් දැනගන්න.”
“ප්‍රිය මහරජ්ජුරුවන් වහන්ස, අපි හතර දෙනාව ‘සිව්දිසා’ නමින් හැඳින්නුවාට කමක් නැහැ.”
“සිව්දිසා….? ඇත්තෙන්ම ශ්රමණයන් වහන්ස, එහි තේරුම කුමක්ද?”
“ප්‍රිය මහරජ්ජුරුවන් වහන්ස, උතුර, නැගෙනහිර, දකුණ, බටහිර යන මේ සිව් දිශාව තුළ අපට භයක් හෝ තැතිගැනීමක් හෝ ඇතිවෙන කිසි කරුණක් නොපෙනෙන නිසයි සිව්දිශාව නමින් අපව හඳුන්වන්නේ.”
“පින්වත් ශ්රමණයන් වහන්සේ සිව්දිශාව තුළ බිය තැතිගැනීම් ඇති නොවන්න හේතුව කුමක්ද?”
“ප්‍රිය මහරජ්ජුරුවන් වහන්ස, අපි මෛත්‍රී භාවනාව කරනවා. කරුණා භාවනාවත් කරනවා. අනුන්ගේ සැපයෙහි සතුටු වීම නම් මුදිතා භාවනාවත් කරනවා. ලෝක සත්වයා තම තමන්ගේ කර්මානුරූපව උපත ලැබූ බව සිහි කොට උපේක්ෂා භාවනාවත් කරනවා. මේ නිසයි අපට කිසි දිශාවකින් භයක් හට නොගන්නේ.”
මෙසේ පැවසූ පසේබුදුවරයන් වහන්සේලා සිව්නම ආපසු වැඩියා. රජතුමාගේ සිතේ මේ මෙත් සිත පැතිරවීම ගැන ඇසූ කරුණු දෝංකාර දුන්නා. රැව් පිළිරැව් දුන්නා. රජතුමා කල්පනා කරන්න පටන් ගත්තා.
“ඇත්ත. මේ ශ්රමණයන් වහන්සේලා පැවසූ කරුණේ ඉතාමත්ම සාධාරණ පදනමක් තියෙනවා. අප තුළ මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂා යන භාව ගුණයන් වැඞී තියෙනවා නම් කිසි කෙනෙකුට භයක් හටගන්නේ නැහැ නෙව. දැන් මේ සතුන්, මරණ බියෙන් තැති ගෙන හඬ නගනවා. වැළපෙනවා. බොහෝ දෙනෙක් දඬුවමට බියෙන් කඳුළු වැකුණු මුහුණින් යුතුවයි යාගය උදෙසා සේවය කරන්නේ. හැමෝගෙම සිත් තුළ තියෙන්නේ භයක්. තැති ගැනීමක්. මගේ ප්‍රශ්නයට විසඳුමක් හැටියට පුරෝහිත බ්රාහ්මණතුමා පැවසුවේ සතුන් මරා බිලි පූජා කොට යාගයක් කළ යුතු බවයි. මේ බිලි පූජාව නම් මෛත්‍රියෙන් යුක්තව කළ හැකි දෙයක් නොවෙයි.
බලාගෙන ගියාම සත්‍යය ප්‍රකාශ වුණේ අර ශ්රමණයන් වහන්සේලාගෙන් විතරයි. පිරිසිදු බවක් සෙවිය යුත්තේ පිරිසිදු බවක් තුළින්මයි. වේදයේ උගන්වන පිළිවෙලට නම් පිරිසිදු බව සොයාගත යුත්තේ අපිරිසිදු බව තුළිනුයි. නමුත් අපිරිසිදු බවකින් පිරිසිදු බවක් ලැබෙන්න කිසිදු පිළිවෙලක් නැහැ. ඒ නිසා මමත් මෙත් සිත වඩන්න ඕන. වෛර, තරහ, පළිගැනීම ආදියෙන් ඉවත් වෙන්න ඕන. අනුන්ගේ දුක දැක උණුවෙන හදවතක් ඇති කරගන්න ඕන. හැම දෙනාගේම සැපය ඔවුන් ළඟ නිරතුරුව පවතීවා කියන මුදිතාව ඇති කරගන්න ඕන. මධ්‍යස්ථ භාවය ඇති කරගන්න ඕන.”
ඉතින් රජතුමා බ්‍රහ්මවිහාර භාවනාවන් වඩන්න පටන් ගත්තා. ටිකෙන් ටික රජතුමාගේ සිත තුළ අර සතුන් කෙරෙහි මහත් දයානුකම්පාවක් ඇතිවුණා. සෙනෙහසක් ඇතිවුණා. පුරෝහිත බ්‍රාහ්මණයා කෙරෙහිත් අනුකම්පාවක් ඇතිවුණා. ඔහු කළේ වේදයේ සඳහන් අන්ධ විශ්වාසයෙන් ප්‍රකාශ කිරීම පමණයි. ඔහුට පවා මේ ගැන අවබෝධයක් තිබුණේ නෑ. හැමදෙනා කෙරෙහිම රජතුමාගේ සිතේ අනුකම්පාව හටගත්තා. පුරෝහිත බ්‍රාහ්මණයා කැඳෙව්වා.
“භවත් ආචාර්යපාදයෙනි, සැබෑ යාගය කුමක්දැයි මට දැන් වැටහේ. මා මේ සතුන් කෙරෙහි හොඳින් බලා සිටියා. ඔවුන් බියට පත් වී සිටිනවා. තැතිගැනීමට පත් වී සිටිනවා. මරණ භයෙන් මළ මුත්‍රා පහවෙමින් තියෙනවා. වෙව්ලා සිටිනවා. යාගයට උදව් වෙන කිසිවෙක් තුළ ප්‍රීති චිත්තයක් දකින්නට නොලැබේ. එනිසා ආචාර්යපාදයෙනි, මා අලූත්ම යාගයක් සොයා ගත්තා. ඒ යාගය ඔබටත්, මටත්, අපි හැමෝටමත් බොහෝ කල් හිතසුව පිණිස පවතිනවා.
එනිසා භවත් ආචාර්යපාදයෙනි, යාගය වෙනුවෙන් ඔබට ගෙවිය යුතු යම් මුදලක් ඇද්ද, මා ඒ මුදල ගෙවීම පිණිස අණ කළා. මං අලූත්ම යාගයක් කරනවා. මේ සියලූ සතුන් මං නිදහස් කොට යවනවා. මේ සියලූ සත්වයෝ සුවසේ නිල් තණ බුදිත්වා! සිහිල් පැන් පානය කොට පවස නිවා ගනිත්වා! මේ සතුන්ගේ සිරුරු කරා සිහිලැල් පවන් වැදගනිත්වා!”
රජතුමාගේ මේ තීරණය නිසා සියලූ දෙනාම සතුටට පත් වුණා. දෙවියනුත් සතුටට පත් වුණා. රජතුමා උඩුමහල් තලයේ සිට භාවනාව දියුණු කළා. ටිකෙන් ටික සමාධිය බලවත් වුණා. ධ්‍යාන උපදවා ගත්තා. අර සතුන් විඳි පීඩාව මතක් වෙද්දී රජතුමා නුවණින් කල්පනා කළා. මේ සියලූ දෙයට හේතුව ඉපදීමයි. ඉපදීම නිසාමයි මෙම ඇස, කණ, නාසය, දිව, කය, මනස ලැබුණේ. මේවා නිසාමයි ජරා, මරණ, ශෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම් හටගන්නේ. මෙවැනි උපතක් ලැබුවේ මක් නිසාද? මේ අයුරින් නුවණින් විමසමින් යද්දී රජතුමාට පටිච්චසමුප්පාදය වැටහෙන්න පටන් ගත්තා. එය හටගන්නා ආකාරයත්, නිරුද්ධ වී යන ආකාරයත් වැටහෙන්න පටන් ගත්තා. චතුරාර්ය සත්‍යය අවබෝධ වෙන්න පටන් ගත්තා. රජතුමාට හේතුඵල දහමින් හටගත් සියල්ලේ ඇති අසාරත්වය වැටහුණා. එහි නොඇල්ම ඇතිවුණා. ඒ සියල්ලෙන් නිදහස් වුණා. අරහත්වයට පත්වුණා. පසේබුද්ධත්වයට පත්වුණා.
දහවල් භෝජන වෙලාව පැමිණුණා. රාජභෝජන පිළියෙල කළ ඇමතිවරු විසින් රජතුමාට ඒ බව දැනුම් දුන්නා.
“මහරජ්ජුරුවන් වහන්ස, දැන් බොජුන් වළඳන වෙලාවයි.”
“පින්වත්නි, මම රජකෙනෙක් නෙවෙමි. රජෙක් තුළ තිබිය යුතු කිසිදු කල්පනාවක් දැන් මා තුළ නැහැ. මට මේ සියලූ සතුන් කෙරෙහි මහත් අනුකම්පාවක් තියෙනවා. රාජකීය ජීවිතය හා බැඳුණු සියල්ලෙන්ම මා දැන් නිදහස් වෙලයි ඉන්නේ. මා ලැබූ අත්දැකීම් ගැන ඔබට විස්තර වශයෙන් පවසන්නට මට තේරෙන්නේ නැහැ. නමුත් යම් දෙයක් මට කියන්නට පුළුවනි. මා තුළ වචනයෙන් කිව නොහැකි අමුතු අලෞකික සතුටක් තියෙනවා. ඒ තුළ කිසි ඇලීමක් ගැටීමක් නැහැ. රැවටීමකුත් නැහැ. හැම දෙයින්ම නිදහස් වූ බවක් මං අත්විඳිනවා.”
“මහරජ්ජුරුවන් වහන්ස, හරි අසිරිමත්! ඔබවහන්සේගේ මුවින් පිටවන්නේ රජ කෙනෙකුගේ කතාවක් නම් නොවෙයි. පච්චේකබුද්ධ නම් වූ ශ්රමණයන් වහන්සේලා ගැන අප අසා තිබෙනවා. උන්වහන්සේලා කරුණු විස්තර කරන්නේ ඔය ආකාරයෙනුයි. ඉතින් ඔබවහන්සේ තුළ එවැනි පරිවර්තනයක් ඇතිවූයේ කෙසේද? තවම ඔබවහන්සේ රජ කෙනෙක්! ඔබවහන්සේ කෙස් රැවුල් බා ගත්, කසාවත් පොරවා ගත්, ශ්‍රමණයෙක් නොවෙයි.”
එතකොට රාජවේශයෙන් සිටි එතුමා හිස අතගා බැලූවා. වස්ත්‍ර දෙස බැලූවා. එසැණින්ම ඒ කෙස් රැවුල් නොපෙනී ගියා. රාජකීය වස්ත්‍ර වෙනුවට කසාවත් ඇඟ දැවටුණා. පාත්‍රයක් අතට ලැබුණා. එවිට ඇමතිවරු වැඳ වැටුණා.
“අනේ ඔබවහන්සේ අප අත්හැර වඩිනා සේක්ද?”
එවිට පසේබුදුවරයන් වහන්සේ මෙම ගාථාව වදාළා.
චාතුද්දිසෝ අප්පටිඝෝ ච හෝති
සන්තුස්සමානෝ ඉතරීතරේන
පරිස්සයානං සහිතා අඡම්භී
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ“සතර දිශාවටම මා මෙත් සිත පතුරුවන නිසා කිසිම ගැටීමක් කොහෙන්වත් ඇතිවන්නේ නෑ. මා තුළ මෙත් සිත පැතිරවීම නිසා හටගත් විරාගී සතුටක් තියෙනවා. මට ලැබෙන ඕනෑම දේකින් යැපෙන්න පුළුවනි. මගේ සිත කය වචනය යන තිදොරින් භයක් හටගන්නේ නෑ. තැති ගැනීමක් හටගන්නෙ නෑ. බාහිර අරමුණු තුළිනුත් දැන් මා තුළ භයක්, තැතිගැනීමක් හටගන්නෙ නෑ. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”
සාදු! සාදු!! සාදු!!!
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴