මාතර උඩඅපරැක්ක මහමෙව්නාව මහා විහාරයත් දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයත් හා එකතුව “පින්වන්ත දරුවන් ලබන්නට නම්” යන මැයින් ගර්භණී මව්වරුන් වෙනුවෙන් වන විශේෂ සදහම් වැඩසටහන් පෙළක් මාතර දිස්ත්‍රික්කයේ සංවිධානය කර තිබේ. මාතර දිස්ත්‍රික්කයේ වාර්ෂිකව 12000 කට අධික ගර්භණී මව්වරුන් පිරිසක් සිටින අතර එම මව්වරුන්ගේ අධ්‍යාත්මය ගුණදහමින් පෝෂණය කිරීමත් කුස තුළ සිටින දරුවන්ට තෙරුවනේ අනන්ත ආශිර්වාදය ලබා දීමත් මහා බල ඇති මහා තෙද ඇති අංගුලිමාල මහරහතන් වහන්සේගේ අනන්ත සීලානුභාව බලයෙන් මව්වරුන්ට සෙත්පතා අංගුලිමාල පිරිතේ ආශිර්වාදය ලබා දීමත් යන මූලික අරමුණ සහිතව මෙම වැඩසටහන් පෙළ ක‍්‍රියාත්මක වෙයි.

මව්කුසට දරුවා පැමිණීමට පෙර සිටම ඒ වෙනුවෙන් කළ යුතු බෞද්ධ චාරිත‍්‍ර ගැන බොහෝ මව්වරුන්ට ඇත්තේ අල්ප දැනුමකි. එනිසාම සමහර අවස්ථාවල දරුවන්ට තෙරුවනේ ආරක්ෂාව නොලැබී යන්නේය. මව්කුස තුළ දරුවා වැඩෙන කාලය තුළ දෙමව්පියන් විසින් අනුගමනය කළයුතු බෞද්ධ චාරිත‍්‍ර අතීතයේ සිටම පැවත එන්නකි. කලක් ගත වීමත් සමග සමාජයෙන් එවා ඈත් වී වෙනත් නොයෙක් මිත්‍යාවන් සමාජ ගත වීමෙන් බෞද්ධ චාරිත‍්‍ර වාරිත‍්‍ර නිවැරදි ලෙස හැඳිනගැනීමට මව්වරුන් අද අසමත් වී තිබේ. නමුත් සැබෑම වූ බොදු චාරිත‍්‍ර අනුව අනුගමනය කිරීමෙන් මවටත් දරුවාටත් තෙරුවනේ ආශිර්වාදය සැළසෙන අතර දෙවියන්ගේ පවා රැකවරණය ලැබෙන්නේය. මෙම වැඩසටහන් පෙළේ ප්‍රධාන අරමුණක් වන්නේ ඒ පිළිබඳ මව්වරුන් දැනුවත් කිරීමයි.

ඉන් මුල් අදියර ලෙස පළමු වැඩසටහන ව්‍යවහාරික වර්ෂ 2108 ජනවාරි මස 20 වන දින වැලිගම නගර ශාලාවේදී සාර්ථක අයුරින් පවත්වන්නට අපට හැකි විය. එහිදී ගර්භණී මව්වරුන් 400 කට අධික පිරිසක් වැඩසටහනට සහභාගී විය.

දික්වැල්ල ප්‍රාදේශිය සභා ශාලාවේදී පැවැති වැඩසටහන…

එහි දෙවන අදියර පෙබරවාරි මස 24 වන දින දික්වැල්ල ප්‍රාදේශීය සභා ශාලාවේදී ක්‍රියාත්මක විය. දික්වැල්ල හා ඒ අවට ප්‍රදේශයේ සිටින ගර්භණී මව්වරුන් එහිදී විශේෂයෙන් ඉලක්ක කෙරුණි. මේ සඳහා ගැබිණි මව්වරුන් 350කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර එම මව්වරුන් උතුම් සීලයෙහි පිහිටුවා ධර්මානුශාසනාව පැවැත්වීම ද සෞඛ්‍ය අධ්‍යක්ෂතුමාගේ විශේෂ දේශනය ද පිරිත් සජ්ඣායනය ද මව්වරුන් වෙනුවෙන් පිරිත් පැන් හා පිරිත් නූල් ලබා දීම ද සිදු විය. ඊට අමතරව සෑම මවකටම මහමෙව්නාවේ පාලි සිංහල පිරුවානා පොත් වහන්සේ, සැබෑ බිරිඳ කවුද පොත් වහන්සේ මහාමේඝ සදහම් පුවත්පත ද ලබාදීම සිදු විය. මව්වරුන් වෙත දිවා ආහාරය ලබාදීමට ද හැකි විය.

මේ අයුරින් රැස් කළ සියලු පින් උදව් උපකාර කළ සියලු දෙනාටම අනුමෝදන් වෙත්වා! දැක බලා සතුටු වන සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා! සසර දුකින් නිදහස් වීම පිණිස මේ පින් උපකාර වේවා!

මොරවක, මාතර, අකුරැස්ස, හක්මණ, දෙණියාය, කඹුරුපිටිය ආදී ප‍්‍රදේශවල ඉදිරියේදී ගර්භණී මව්වරුන් වෙනුවෙන් මෙවැනිම වූ වැඩසටහන් පැවැත්වීමට අපේක්ෂිත අතර එම වැඩසටහන් සඳහා ඔබටද සහයෝගය දැක්විය හැකිය.

මහමෙව්නාව මහා විහාරය,
උඩ අපරැක්ක,
මාතර.

විමසීම් – 0716410444