යහගුණ දම් පසෙකලා, නොයෙක් ළාමක සිතුවිලිවල පැටලීගත් වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී අද්‍යතන තාරුණ්‍යය ම ගෞතම බුදුරජුන්ගේ දහම තුළ සුවපත් කරනු පිණිස ශ්‍රද්ධා රූපවාහිනිය මඟින් තෙවැනි වරටත් සංවිධාන කළ ‘යොවුන් දහම් සක්මන ‘ සදහම් වැඩසටහන 2018 පෙබරවාරි 13 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අතිසාර්ථකව නිමාවට පත්විය. අපගේ ගුරුදේවොත්තම කල්‍යාණමිත්‍ර අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබූ බුද්ධ වන්දනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, සූත්‍ර සජ්ඣායනා ආදී නන්විධ පුණ්‍ය දහරාවන්ගෙන් සමන්වින්විත වූ මෙම වැඩසටහන සඳහා යොවුන් දූදරුවන් 5000කට අධික පිරිසක් සහභාගි විය.

මෙම උතුම් ධර්මදානමය පුණ්‍යකර්මයෙන් රැස්වන්නා වූ සියලු පින් ගෞතම බුදුසසුන සුරකින සියලු දෙවියන්ටත් මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනගාරිකා මෑණිවරුන්ටත්, අනගාරික පින්වතුන්ටත් අනුමෝදන් වෙත්වා. මේ උතුම් කටයුත්ත සාර්ථක කරගනු පිණිස නන් අයුරින් උපකාර කළ සියලු පින්වතුන්ටත්, වැඩසටහනට සහභාගී වූ තරුණ, වැඩිහිටි සියලු පින්වතුන්ටත්, දැකබලා සතුටුවන පින්වත් ඔබ සැමටත් අනුමෝදන් වෙත්වා! සුවසේම පින් රැස් කර ගනිමින් සිල් ගුණදම් ආරක්ෂා කරගනිමින් මේ ගෞතම බුදුසසුන තුළ දී ම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා!