සිදුහත් බෝසත් උපත සිදු වී වසර 2650 ක් ද, අපගේ බුදුරජාණන් වහන්සේ සම්බුදු බවට පත් වී වසර 2615 ක් ද, සම්බුදු පරිනිර්වාණය සිදුවී වසර 2570 ක් ද සපිරෙන මෙම ව්‍යවහාර වර්ෂ 2026 මැයි මස 30 දිනට යෙදුණු පින්බර වෙසක් පුන් පොහෝ දා පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව ප්‍රධාන දෙස් විදෙස් සියලු මහමෙව්නාව භාවනා අසපු ශාඛාවන්හි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිව්වණක් පිරිස ම එක් ව උතුම් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් සමලංකෘත ව උතුම් වෛශාඛ මංගල්‍යය ඉතා උත්කර්ෂවත් අයුරින් සමරන්නට යෙදුණි.
එහිදී ප්‍රධාන වශයෙන් සියලු අසපු ශාඛාවන්හි උදෑසන සිට රාත්‍රිය දක්වා ගිහි පින්වතුන් අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් ව දවස පුරා ධර්ම ශ්‍රවණය කිරීම්, භාවනා කිරීම්, පිරිත් සජ්ඣායනා කිරීම්, සත්බුදු වන්දනා හා දන්සැල් දීමෙන් මහත්ඵල වූ කුසල ධර්මයන් රාශියක් රැස් කරගත්හ. පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවෙහි ද වෙසක් පොහෝ දා 4000කට අධික පිරිසක් උපෝසථ සිල් සමාදන් වූ අතර එම පින්වතුන් සඳහා දානමාන ගිලන්පස ආදියෙන් සංග්‍රහ කරමින් තවත් පිරිසක් තම ජීවිතයට පින් රැස්කරගත්හ.
වෙසක් පොහෝ දා සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගා විහාරය වන්දනා කිරීමට පැමිණි පින්වතුන් සඳහා 30,000කට පමණ ප්‍රමාණවත් පරිදි කිරිකෝපි දන්සලක් හා පසු දා 25,000කට වැඩි පිරිසකට ප්‍රණීත රසයෙන් යුතු කහබත් දන්සලක් ද පවත්වන ලදී. අසපුව පුරා වෙසක් කූඩු හා නානාවිධ වෙසක් සැරසිලිවලින් අලංකාර කොට තිබූ අතර මේ සියලු දාන, සීල, භාවනා පින්කම් සාර්ථකව සිදුකරගැනීම සඳහා දෙස් විදෙස්හි බොහෝ පිරිසක් මුදලින් හා ශ්‍රමයෙන් දායකත්වය ලබා දුන්හ. ඒ සියලු දෙනාට අපගේ කෘතවේදී පුණ්‍යානුමෝදනාව පළකර සිටිමු.
මෙසේ රැස් වූ සියලු පුණ්‍යධර්මයන් අප හැම කෙනෙකුට ම මේ ගෞතම බුද්ධ ශාසනය තුළ ම උතුම් දහම් පිළිසරණ ලබාගැනීම පිණිස ම උපකාර වේවා!






Leave A Comment