සමගියෙන් සතුටුව සිටීම ගැන කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, යම් සමාජයක් අතර දියුණුවක් දකින්ට ලැබෙන්නේ ඔවුන් තුළ සමගිය තියෙනකල් විතරයි. යම් හෙයකින් ඔවුන් වාද විවාද වල හෝ වෙනත් කරුණුවල හෝ පැටලිලා අසමගි වුනොත් එදා සිට ඔවුන්ගේ දියුණුව නැතිවෙනවා. ඔවුන්ගේ සතුරන්ට ඔවුන්ව ඉතා පහසුවෙන් විනාශ කරන්ටත් පුළුවනි. සම්මෝදමාන ජාතකය එබඳු කතාවක්.

ඒ දිනවල අපගේ භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයේ වැඩ වාසය කළේ. ඒ කාලයේ ශාක්‍යයන් හා කෝලියයන් අතර කෝලාහලයක් හටගත්තා. එදා භාග්‍යවතුන් වහන්සේ සිය ඤාතීන් අමතා මෙසේ වදාළා.

“පින්වත් මහරජවරුනේ, ඔබ එකිනෙකා කලකෝලාහල කරගැනීම කිසිසේත් ම සුදුසු නෑ. ඉස්සර තිරිසන්ගත සත්වයන් පවා සමගියෙන් සිටිය කාලේ සතුරු බලවේග මැඩගෙන වාසය කළා. නමුත් ඔවුන් අසමගි වෙලා වාද විවාද කරගන්ට පටන් ගත්තාට පස්සේ මහා ව්‍යසනයන්ට පත්වුනා.

එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ඤාති රජවරු ඒ අතීත කතාව කියා දෙන්ට කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ සම්මෝදමාන ජාතකය වදාළා.සම්මෝදමාන කියන්නේ සමගිව වාසය කිරීම කියන එකයි.

මහරජවරුනි, ගොඩාක් ඉස්සර කාලෙක බරණැස් පුරේ බ්‍රහ්මදත්ත නමින් රජ්ජුරු කෙනෙක් වාසය කළා. ඒ කාලේ මහාබෝධිසත්වයෝ වටු යෝනියෝ ඉපිද සිටියා. මොහු වැඩුණු වටු කුරුල්ලෙක් වුනාට පස්සේ දහස් ගණන් වටු කුරුල්ලන් පිරිවරාගෙන වනාන්තරේ වාසය කළා. ඔය කාලේ ඒ පළාතේ වටුකුරුළු වැද්දෙක් සිටියා. ඔහු වටුකුරුල්ලන් වාසය කරන ප්‍රදේශයට ගිහින් වටුකුරුළු හඬින් කෑ ගහනවා. එතකොට ඒ ශබ්දය අසා වටුකුරුල්ලෝ එතැනට රැස්වෙනවා. වැද්දා ඒ රැස්වූ කුරුල්ලන් මතට ලොකු දැලක් එලනවා. දැන් උන්ට ඉගිලෙන්ට බෑ. වැද්දා ඒ වටුකුරුල්ලන් ඔක්කෝම එක ගොඩට එකතු කරගෙන මල්ලක පුරවාගෙන ගෙදර ගෙනියනවා. ඔවුන්ව විකුණා ජීවත් වෙනවා.

දවසක් බෝධිසත්වයෝ සියලු වටුකුරුල්ලන් කැඳෙව්වා.

“වටුකුරුල්ලනේ…. දැන් බලාපන්…. වැද්දා ඇවිත් අපේ කුරුල්ලන් විනාශ කරනවා. ඒ වැද්දාට අපිව අල්ලාගන්ට බැරිවෙන්ට මං උපායක් දන්නවා. අද ඉඳලා අපි ඔක්කොම එකට එකතු වෙලා කටයුතු කරන්ට ඕනෑ. වැද්දා ඇවිත් අපි මත්තේ දැල දමාවි. එතකොට අපි එක එක්කෙනා දැල් සිදුරට අපේ හිස තබලා දැල ඔසොවාගෙන ඉගිලෙන්ට ඕනෑ. ඊටපස්සේ අපි කැමති තාක් දුර ගිහින් කටු ලැහැබකට පාත්වෙන්ට ඕනෑ. ඊටපස්සේ අපිට යටින් යටින් ඉගිලී යන්ට බැරියැ”

“හා… හා… බොහොම අගෙයි” කියලා හැම වටුකුරුල්ලා ම සතුටු වුනා.

පසුවදා වටුකුරුල්ලන් රැස් වූ වෙලාවේ ඔවුන්ට ඉහළින් වැද්දා දැල විසි කළා. බෝසත් වටු කුරුල්ලාගේ උපදෙස් නිසා එදා ඔවුන් කෑ ගැසුවේ නෑ. කලබල වුනේ නෑ. හිස සිදුරු මත තබාගෙන දැල ඔසොවාගෙන ඉගිල ගියා. කටු ලැහැබකට පාත්වුනා. යටින් යටින් රිංගා පලා ගියා. කටු ලැහැබේ පැටලුනු දැල බේරාගන්ට වැද්දාට සෑහෙන වේලාවක් ගත කරන්ට සිද්ධ වුනා. දිගින් දිගට ම වටුකුරුල්ලන් ඒ විදිහට කටයුතු කරන්ට පටන් ගත් නිසා දවස් ගාණක් වැද්දාට හිස් අතින් ම ගෙදර යන්ට සිද්ධ වුනා.

තම සැමියා හිස් අතින් ගෙදර එන නිසා වැදි බිරිඳ මහත් සේ කෝපවුනා. “යසයි…. දැන් දවස් ගාණක් තිස්සේ රෑ බෝවෙලා දැලත් ඇන්න හිස් අතින් එනවා. පහුවෙනිදාට මහලොකුවට දැලත් අරන් යනවා. තමුසෙට මක් වෙලා ද…? එක වටුකුරුල්ලෙක් නෑ…. වෙනත් රස්සාවක් ගැන හිතුවොත් තමුසෙට නරක ද?”

“මේ…. යෝදියේ…. මට වෙන රස්සාවල් බැරි බව උඹහැ දන්නවනේ. දැන් හරි වැඩක් වෙලා නොවැ. කැලේ කුරුල්ලන්ටත් ගිය කලක්. එවුන් සමගි වෙලා. මං දැල දාපු ගමන් වෙනදා වගේ කෑගැසීමක් නෑ. හැමෝම දැලත් උස්සන් ඉගිල්ලෙනවා. මට තාම හිතා ගන්ට බෑ මොකක්ද මේ වුනේ කියලා. ඊටපස්සේ උන් කටුලැහැබකට පාත්වෙනවා. අස්සෙන් අස්සෙන් රිංගා ඉගිලෙනවා. හැබැයි මං එකක් දන්නවා. ඕකුන්ගෙ සමගිය වැඩිකල් තියෙන්නේ නෑ. එදාට බලාපන්…. මං කුරුල්ලන් පුරෝපු මල්ල උස්සාගෙන එද්දි උඹ හිනැහි හිනැහි බලා සිටීවි” කියලා වැද්දා සිය බිරිඳට මේ ගාථාව කිව්වා.

“කුරුල්ලො දැල අරන් ඉගිලුනේ
සමගිව සතුටින් සිටිය නිසයි
අසමගිව උන් වාද කළ විට
එදාට මගෙ වාරයයි ඉතින්”

“මහරජවරුනි, වටුකුරුල්ලන්ට සමගියෙන් කටයුතු කරන්ට පුළුවන් වුනේ ටික දවසයි. එක් වටුකුරුල්ලෙක් ගොදුරු සොයන්ට පහළට බසිද්දි බැරිවීමකින් තව වටුකුරුල්ලෙකු ගේ හිස මත වැහැව්වා. ඒ ගැන ඒ වටු කුරුල්ලා ගොඩාක් කේන්ති ගත්තා. “තෝ… මොකොද මගේ හිසට පහර දුන්නේ?” “අනේ… මට වැරදීමකින් එහෙම වුනේ. ඒකට ඔය හැටි කේන්ති ගන්ට දෙයක් තියෙනවාද?” “කේන්ති…. තෝ දන්නවද මං කව්ද කියලා…. හා බලමුකෝ අපි නැතිව දැල උස්සන්නේ කව්ද කියලා” මේ විදිහට කලකෝලාහලය වැඩිලා ගියා. එකිනෙකා මහහඬින් වාද කරගත්තා. බැණගත්තා.

එතකොට බෝසත් වටුකුරුල්ලා මෙහෙම හිතුවා. “මේ වැඩේ හරියන්නේ නෑ. මෙයාලා මේ රණ්ඩුව දිගටම අරගෙන යන හැඩයි. දැන් ම ම දැල උස්සන්නෙ නෑ කියලා කියවනවා. මෙහෙම ගියොත් අපි හැමෝම මහත් විනාශයකට පත්වෙනවා. වැද්දාට අපිව අල්ලගන්ට අවස්ථාවක් ලැබෙනවා ම යි. දැන් අපි මෙතන ඉන්න එක හරි භයානකයි” කියලා තමන්ගේ පිරිසත් අරගෙන වෙනත් වනාන්තරයකට ඉගිල ගියා.

කලින් වගේ ම වැද්දා ඇවිත් වටුකුරුල්ලන්ට උඩින් දැල වීසි කළා. ඒ දැල අස්සෙත් වටුකුරුල්ලෝ රණ්ඩු කළා. ‘හා… හා… මෙහෙන් දැල උස්සන්ට එපා. මගේ හිස මත නුඹේ ලොම් වැටෙනවා. තව ටිකක් අයින් වෙලා උස්සාපන්…. තව කුරුල්ලෙක් මෙහෙම කිව්වා. ‘මේ… මේ පැත්තෙන් උස්සන්ට එන්ට එපා. මගේ පියාපත්වල වදිනවා… ආන්න එහෙම ටිකක් එහාට ගොහින් උස්සාපන්… උඹෙන් මට හරි කරදරයි… මං උස්සන්නේ නෑ… නුඹ ඕනෑ නම් උස්සාගනින්…. නෑ… මං මොකටෙයි දැලක් උස්සන්නේ. ඇයි මං විතරද මේක උස්සන්ට ඕනෑ. ඇයි නුඹ… නිකම්ම බේරෙන්ටද?’ මේ විදිහට රණ්ඩු කරමින් ඉන්න අතරේ වැද්දාගේ දැලට හැමෝම කොටුවෙන්ට පටන් ගත්තා. එදා කාටවත් බේරෙන්ට ලැබුනේ නෑ. හැමෝම අහුවුනා. වැද්දා වටු කුරුල්ලන්ගෙන් මල්ල පුරවාගෙන වැදි බිරිඳ හිනස්සවමින් ගෙදර ආවා.

බලන්ට මහරජවරුනි, තමන්ගේ පිරිස් අතරේ කලකෝලාහල ඇතිවීම සුදුසු ම නෑ. ඒකෙන් තමන්ගේ පිරිස ම යි විනාශයට පත්වෙන්නේ. එදා කෝලාහලය දිගින් දිගට ම ගෙනිහින් අමාරුවේ වැටුනේ නුවණ නැති වටුකුරුල්ලෙක් නිසා. ඒ වටුකුරුල්ලා වෙලා සිටියේ දේවදත්ත. නුවණැති වටුකුරුල්ලා වෙලා සිටියේ මං නොවැ” කියලා භාග්‍යවතුන් වහන්සේ මේ සම්මෝදමාන ජාතකය වදාළා.

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

 

 තවත් මෙවැනි ලස්සන ජාතක කතා කියවන්න කැමති නම් පිවිසෙන්න >>>