නරක් වූ සුරාව ගැන කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, වගකීමක් දෙන්ට ඕනෑ යමක් තේරෙන කෙනෙකුටයි. මෝඩ අයට වගකීම් භාරදීමෙන් බොහෝ පාඩු සිදුවෙනවා. වාරුණීදූසක ජාතකය ත් එබඳු කථාවක්.

ඒ කාලෙ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනයේ. ඒ දවස්වල අනේපිඬු සිටුතුමා දන්නා හඳුනන කෙනෙකුට සුරා කඩයක් තිබුනා. මොහු එතැන හොඳට මෝරාපු රා විකුණනවා. දවසක් ලොකු රා හැලියක් පිළියෙල කළා. තමන්ගේ සේවකයාට කතා කළා.

“ළමයෝ මං නාගෙන එන්ට යනවා. දැන් රා බොන්ට මිනිස්සු ඒවි. ඔවුන්ගෙන් මුදල් අරගෙන රා විකුණාපන්. මං ඉක්මනින් එන්නම්…”

එතකොට මිනිස්සු ඇවිත් රා මිලට ගත්තා. රා බොන අතරේ වරින් වර ලුණු කැට කටේ දා ගන්නවා දැක්කා. එතකොටයි සේවකයා ඒක දැක්කේ ‘හප්පේ…! අද රා හැලියට ලුණු දමන්ට බැරි වෙලා වගෙයි’ කියලා නැළියක් පමණ ලුණු දාලා රා හැලිය හොඳට කළවම් කළා. ඊට පස්සේ රා බොන්ට ආපු මිනිස්සු කටට ගත්තු ගත්තු රා වීසි කළා.

“මොකක්ද නුඹ රා හැළියට කළේ…?” කියලා ඇහැව්වා.

“අනේ… මෙහෙ ඇවිත් රා බොන අය ලුණු කැට කටේ දා ගන්නවා. මං හිතුවේ රා වලට ලුණු මදිවෙලා වෙන්ට ඇති කියලා. ලුණු නැළියක් දාලා දිය කළා….”

“අනේ මෝඩයෝ…. අපූරු රා ටික වනසලා දැම්මා” කියලා ඔවුන් ඒ කොළුවාට බැන බැන නැගිට නැගිට ගියා. වෙළෙන්දා නාගෙන ආවා. කඬේ කවුරුවත් නෑ.

“මොකද ළමයෝ අද පාළු…? මිනිස්සු ආවේ නැද්ද…?”

එතකොට කොළුවා වෙච්චි දේ විස්තර කළා.

“අයියෝ! මෝඩයෝ…. තෝ එහෙනම් මගේ රා හැලිය විනාස කළා…” කියලා හොඳටම දොස් කිව්වා. මේ වෙළෙන්දා ඒ සිදුවීම අනේපිඬු සිටුතුමාට කිව්වා. සිටුතුමා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්ට ගිහින් වන්දනා කොට එකත්පස්ව සිටියා. මේ සිදුවීම සැළකළා.

“ගෘහපතිය…. ඔය කොළුවා මේ ආත්මයේ විතරක් නෙමෙයි. පෙර ආත්මෙකත් ඔය වැඬේම කළා.” එතකොට අනේපිඬු සිටුතුමා ඒ යටගිය කථාව කියාදෙන්ට කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

“ගෘහපතිය, ගොඩාක් ඉස්සර කාලෙක බරණැස් පුරයේ බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් වාසය කළා. ඒ කාලෙ බෝධිසත්වයෝ බරණැස් සිටුවරයා වෙලා හිටියේ. ඒ සිටුවරයාගේ ප්‍රදේශයේ සුරා කඩයක් දාගත්තු වෙළෙන්දෙක් සිටියා. ඔහු හොඳට මෝරපු රා මේ ගමේ තබාගෙන විකුණනවා. දවසක් තමන්ගේ කොණ්ඩඤ්ඤ නමැති ගෝලයාට කඩය බාරදීලා නාන්ට ගියා. කඩේ ආපු මිනිස්සු රා බොන අතරේ ලුණු කැට සපනවා දකින්ට ලැබුනා. එතකොට ගෝලයා සිතුවේ රා වලට ලුණු මදි කියලා. ඔහු නැළියක් පමණ ලුණු රා හැලියට දාලා හොඳට කළවම් කළා. කඩයට ඇවිත් රා ගත්තු මිනිස්සු කලින් වගේම බැන බැන ගියා. ඒ රා හැලිය ඔය විදිහට විනාස වෙලා ගියා. වෙළෙන්දා මේ කාරණය සිටුතුමාට ගිහින් කිව්වා. අනුවණයෙකුට වැඩක් බාරදුන්නාම ඔහොම තමයි. හොඳක් කරනවා කියලා හිතාගෙන නරකක්මයි කරන්නේ කියලා මේ ගාථාව පැවසුවා.

“කැපවීමෙන් වැඩකරනා මෝඩ කෙනා අතින්
සැපත සුවය සදනා දෙය වැනසෙනවා නිතින්
වැඩගන්නට ගියොත් මෙසේ අනුවණයා වෙතින්
ඔහුට ලැබෙයි කොණ්ඩඤ්ඤගෙ නැසුන සුරා ලෙසින්”

ගෘහපතිය, එදා කොණ්ඩඤ්ඤ නමින් අර වෙළෙන්දාගේ ගෝලයා වෙලා රා හැළිය වනසපු කෙනාමයි මෙදාත් ඔබේ මිත්‍රයාගේ රා හැළිය වැනසුවේ. එදා බරණැස සිටුවරයාව සිටියේ මමයි” කියා මේ වාරුණීදූසක ජාතකය වදාළා.

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

 

    මුල් පිටුවට