සම්බුදු සිත අසිරිමත් ය…

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලෝකයේ සමහර අයට ලස්සන රූපයක් ලැබෙනවා. ඒ රූපය නිසාම ඔවුන් ගොඩාක් ආඩම්බර වෙනවා. ඒ රූපයෙන් මත් වෙනවා. ඒ නිසාම තමන්ට ලැබෙන යහපත නැතුව යනවා. තමන්ගේ රූපය නිසාම මෙලොව යහපතත්, පරලොව යහපතත් නැතිකර ගත්තු අය කොයිතරම් හිටියද?

සමහර විට අතීතයේ කරපු පිනක් නිසා වෙන්නැති එතරම් ලස්සන රූප ලැබුණෙත්. නමුත් ඒකෙන් ආඩම්බර වුණු පමණින් සෙතක් සැළසෙන්නේ නෑ. බුද්ධ කාලෙත් ඉතාම ලස්සන රූප සෝභාවෙන් යුතු අය හිටියා. ඇගේ නම මාගන්දියා. මාගන්දිය බ්‍රාහ්මණයාගේ සහ බ්‍රාහ්මණතුමියගේ දියණියක් වශයෙනුයි ඈ හිටියේ. ඔවුන් ජීවත් වුණේ කුරු රට කියන ප්‍රදේශයේ.

දිනක් මහාකාරුණික භාග්‍යවතුන් වහන්සේ හිමිදිරි උදෑසන ලෝකය දිහා බැලුවා. බුදු ඇසින් ලොව බලා වදාළේ ධර්මය අවබෝධ කරගැනීමට පින් ඇති කෙනාව සොයා ගැනීමටයි. එතකොට මාගන්දිය පියා සහ මෑණියන් යන දෙදෙනා බුදුරජාණන් වහන්සේගේ මහාකරුණා නේත්‍රයට මුණගැසුණා. ඒ දෙදෙනාටම අනාගාමී ඵලයට පත්වීමේ වාසනාව ඇති බව වැටහුණා. ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේ උදෑසනින්ම පාසිවුරු ගෙන එම ප්‍රදේශයට වැඩම කළා.

ඇත්තෙන්ම මාගන්දිය බ්‍රාහ්මණයා වුණත් තම දියණියගේ රූප සෝභාව ගැන හරිම ආඩම්බරයකින් හිටියේ. ඒ පළාතේ ඉතා ධනවත් බ්‍රාහ්මණවරු, ඉතා ධනවත් සිටුවරු මාගන්දිය බ්‍රාහ්මණයාව මුණගැහෙන්න ආවා. වටිනා තෑගි භෝග එව්වා. පුද පඬුරු එව්වා. ‘අනේ ඔබතුමාගේ දියණිය අපට ආවාහ කරලා දෙන්න’ කියලා ඉල්ලා හිටියා. නමුත් මාගන්දිය බ්‍රාහ්මණයා ඒ කිසි දෙයක් ගණනකටවත් ගත්තේ නෑ. ‘මාගේ දියණියගේ රූප සෝභාවට ගැලපෙන කෙනෙක් තවම මුණගැසුණේ නැහැ නෙව’ කියලා ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා.

එදා භාග්‍යවතුන් වහන්සේ ඒ කුරු රට කම්මාස්සදම්ම නම් නියම්ගමෙහි එක්තරා වන ලැහැබකට වැඩියා. රුක් සෙවණක වැඩහිටියා. ඒ වෙලාවෙහි මාගන්දිය බ්‍රාහ්මණයාත් කිසියම් කරුණක් පිණිස ඒ ප්‍රදේශයට පැමිණියා. රන්වන් රැස් විහිදෙන ඉතා අභිරූපී මනස්කාන්ත දේහ විලාස ඇති යොවුන් සිරියෙන් බබලන ශ්‍රමණයන් වහන්සේ දුටු සැණින් මාගන්දිය බ්‍රාහ්මණයා ඒ රූපයට වසඟ වුණා.

‘ෂා….! පුදුමාකාර ලස්සනක් නෙව. මෙහෙම ලස්සන රූප සෝභාව ඇති කෙනෙක්ව තමයි මම මෙතෙක් කල් සොය සොයා හිටියේ… මගේ දියණියට ගැලපෙන සැබෑම පුරුෂයා ලඟටම ඇවිදින්….’

මාගන්දිය බ්‍රාහ්මණයාට හරීම සතුටුයි. ඔහු භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට ගිහින් මෙහෙම කිව්වා.

“පින්වත් ශ්‍රමණය, මෙතෙක් කාලෙකට ඔබ වැනි මනස්කාන්ත රූ සිරි දරන පුරුෂයෙක් මා දැකලා නැහැ. මගේ දුවගේ රූපයේ ඇති කාන්තිමත් බවට ගැලපෙන්නේ ඔබගේ රූපය පමණයි. මේ තාක් කල් විවිධාකාර ඇරයුම් ලැබුණා. ඒ කිසි යෝජනාවකට මා කැමති වුණේ නෑ. ඇත්තෙන්ම මම හරි සතුටුයි ඔබට මාගේ දියණිය පාදපරිචාරිකාව කොට සරණපාවලා දෙන්න. පින්වත් ශ්‍රමණය, ස්වල්ප මොහොතක් ඔහොම ඉන්න. මම ඇයව රැගෙන ඇවිත් පෙන්නනම්කෝ….”

මාගන්දිය බ්‍රාහ්මණයා වහා තම නිවසට ගියා. බිරිඳ ඇමතුවා.

“භවතී…! අද තමයි මාගේ දියණියට ගැලපෙන සුදුසුකම් තියෙන පුරුෂයෙකු දැකගත්තේ. ඒ නිසා භවතී, අපේ දියණියව ලස්සනට සරසමු. ඔහුට පෙන්නමු.”

ඉතින් බැමිණිය තම දියණියව සුවඳ පැනින් නාවලා අලංකාර වස්ත්‍රාභරණයෙන් සරසවලා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි ප්‍රදේශයට කැඳවාගෙන ගියා. මේ වැඩිහිටි දෙන්නා කඩිමුඩියේ තම දියණිය සරසවාගෙන අමුතු සතුටකින් යන ගමන ගැන ගම්මුන්ට ආරංචි වුණා. ගමේ හැමෝමත් මේ සිදුවීම බලන්න ඔවුන් සමඟ එක්වුණා. එතනට යද්දී බුදුරජාණන් වහන්සේ එතන වැඩසිටියේ නෑ.

“හරි වැඩක් නෙව…! මේන් මෙතන වැඩසිටියේ…. ඔව්…. මෙතනදි තමයි මං කතාබස් කොළෙත්… කොහේවත් යන්න එපා කියලත් මම කිව්වා. දියණිය කැඳවාගෙන එනවා කියලත් කිව්වා….”

බ්‍රාහ්මණතුමිය ද තම සැමියා සොයාගත් සුන්දර පුරුෂයාට කුමක් වුණා දැයි සොයමින් වටපිට විමසා බලද්දී එකවරම බුදුරජාණන් වහන්සේ වැඩසිටි තැන තණ ඇතිරියක් දකින්නට ලැබුණා.

“හරි…. මේ මෙතනද ඔහු සිටියේ….? මේ තියෙන්නේ තණ ඇතිරියක්…”

“ඔව්… ඔව්… ඕන්න ඔතන තමයි ඒ සුන්දර පුරුෂයා වාඩිවෙලා හිටියේ….”

බ්‍රාහ්මණතුමිය එතනට ගොස් හොඳින් වටපිට විමසා බැලුවා. ඉතා පැහැදිලි පා සටහනක් දකින්නට ලැබුණා. ඇය බිමට පාත් වුණා. ඒ පා සටහන ළඟ වාඩිවුණා. ඒ පා සටහන හොඳට විමසා බැලුවා.

“භවත, අපගේ අදහස ඉෂ්ට වෙන්නේ නෑ…!”

“ඇයි භවතී, එසේ කියන්නේ….?”

“මේ තැනැත්තා කාමභෝගී කෙනෙක් නොවෙයි. මොහු කාමයන් ඉක්ම ගිය කෙනෙක්…. මේ පා සටහනට අනුව නම් මේ තැනැත්තා වීතරාගී කෙනෙක් විය යුතුයි…!”

“භවතී… නුඹ දිය බඳුනෙත් කිඹුලන්ව සොයනවා නෙව. පා සටහනක් දුටු පමණින් එහෙම කියන්නේ කොහොමද?”

“හරි… ඔබ එහෙම කිව්වත් මේ පා සටහනේ හිමිකරුවා දියණියට සුදුසු කෙනෙක් කියලා මං කියන්නේ….”

මෙසේ පැවසූ බ්‍රාහ්මණතුමිය මේ ගාථාව කිව්වා.

“රත්තස්සහි උක්කුටිකං පදං භවේ
දුට්ඨස්ස හෝති සහසානුපීලිතං
මූළ්හස්ස හෝති අවකඞ්ඪිතං පදං
විවට්ටච්ඡදස්ස ඉදමීදිසං පදන්ති

සරාගී කෙනෙකුගේ පාදය වකුටු ගතියෙන් යුක්තයි. ද්වේෂ සහගත කෙනෙකුගේ පාද සැහැසිවයි තබන්නේ. මෝහ සහගත කෙනෙකුගේ පා සටහන පැහැදිලි නෑ. මේ පාද සටහන කිසි කැඩී බිඳීමක් නැතිව ඉතා පැහැදිලිව පිහිටලා තියෙනවා නෙව.”

“භවතී, මෙවන් මොහොතකවත් නිකරුණේ දොඩන්න එපා… නිහඬව ඉන්න.”

ඒ වෙලාවේ ඔවුන් භාග්‍යවතුන් වහන්සේ ඉන් එහා තැනක වැඩඉන්නවා දැක්කා.

“මෙන්න බලන්න…. ඔය ඉන්නේ…. ඔය ඉන්නේ මං කියපු පුරුෂයා තමයි….”

ඉතින් මේ දෙදෙනා මහා සතුටින් තම දියණිය රැගෙන භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මෙහෙම කිව්වා.

“පින්වත් ශ්‍රමණය, අපගේ උතුම් රූ සිරි දරණ දියණිය ඔබට සරණ පාවා දෙන්න අපි කැමතියි.”

එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

“පින්වත් බ්‍රාහ්මණය, මං යමක් පවසන්නම්. ඔබ එය අහන්නට සතුටුද?”

“භවත් ශ්‍රමණය, පවසන්න. අපි අහන්න සතුටුයි.”

එතකොට භාග්‍යවතුන් වහන්සේ ගිහි ජීවිතය අත්හළ අයුරු, සම්බුද්ධත්වය පිණිස වෙහෙසුණු අයුරු පවසා වදාළා. එදා සකළ රාජශ්‍රීය අත්හැර කන්ථක අසුපිට නැගී ඡන්නයන්ගේ සහායයෙන් අබිනික්මන් කරද්දී ඒ නගරද්වාරයේ මාරයා සිටිය අයුරු පැහැදිලි කළා.

“එම්බා සිද්ධාර්ථ! ඔය ගමන යන්න එපා…! තව දින හතක් ඉවසන්න. ඔබට චක්‍රවර්තී රත්නය පහළ වෙනවා” කියලා ඔහු කිව්වා.

‘මාරය, එය මම දනිමි. නමුත් එයින් මට වැඩක් නැහැ’ කියලා නික්ම ගියේ සර්වඥතා ඤාණය ලබාගැනීම පිණිසමයි. එතකොට මාරයා කල්පනා කළේ මෙහෙමයි.

‘හොඳයිකො. එහෙමනම් මං අද පටන් පස්සෙන් හඹාගෙන එනවා. කාම සහගත එක සිතුවිල්ලක් හරි සිතුවොත් කළ යුතු දේ මං නෙව දන්නේ…’ කියලා ඔහු සත් වසරක් පුරාම පස්සෙන් හඹාගෙන ආවා. සය අවුරුද්දක් දුෂ්කරක්‍රියා කරලා හුදෙකලාවේ සිටින පුරුෂයෙකු හැටියටයි බෝධි මූලයට පැමිණියේ. ලෝකයෙහි අවබෝධ කළ යුතු සියල්ල අවබෝධ කොට සර්වඥතා ඤාණය ලබා විමුක්ති සැපයෙන් කල් ගෙව්වා. අජපාල නිග්‍රෝධ මූලයේදී දින හතක් විමුක්ති සුවයෙන් කල් ගෙව්වා.

එතකොට මාරයා මෙහෙමයි හිතුවේ. ‘මං මෙපමණ කාලයක් තිස්සේ සෙවණැල්ලක් වගේ මොහුව ලුහුබැඳ ගියා. පොඩි අවස්ථාවක් වත් අල්ලගන්න ඕන කියලා. නමුත් කිසිම දෝෂයක් අල්ලගන්නට බැරි වුණා නෙව. මොහු මගේ ග්‍රහණයෙන් මිදිලා ගියා නෙව’ කියලා මහා දොම්නසක් හටගත්තා. මහා පාරේ වාඩිවුණා. එතකොට ඔහුගේ දියණියන් තිදෙනා වන තණ්හාත්, අරතීත්, රගාත් යන දියණිවරු මෙහෙම කතා වුණා.

“අපගේ පියාණන් පේන්ට නැහැ නෙව. මේ වෙලාවේ කොහේ ගිහින් ද?”

එතකොට ඔවුන් දැක්කා ඔහු කණස්සල්ලෙන් වාඩිවෙලා සිටින අයුරු.

“පියාණෙනි, ඇයි මේ දුකින් දොම්නසින්?”

එතකොට ඔහු තම දියණිවරුන්ට සියල්ල පැවසුවා.

“පියාණෙනි, ඔය ගැන කල්පනා කරන්ට එපා. අපි ගිහින් ඔහුව අපගේ වසඟයට අරගෙන ගෙනැවිත් පෙන්නන්නම්.”

“නෑ දියණිවරුනි, ඔහුව කිසිම කෙනෙකුගේ වසඟයට ගන්න බෑ.”

“පියාණෙනි, අපි ස්ත්‍රීන් නෙව. රාගය නමැති තොණ්ඩුවෙන් ගැටගහගෙන ඔහුව අපි රැගෙන එන්නම්. ඒ ගැන මොකුත් හිතන්න අවශ්‍ය නෑ.”

ඉතින් මේ මාර දූවරු භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. නොයෙක් ඉඟිබිඟි පාමින් මෙහෙම කිව්වා.

“ශ්‍රමණයන් වහන්ස, අපි ඔබවහන්ගේ පාදපරිචාරිකාවන් වෙන්න කැමතියි.”

එතකොට භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ වචන කිසි ගණනකට ගත්තේ නැහැ. ඔවුන් දිහා බැලුවේ වත් නැහැ. ඒ ගමන ඔවුන් ආයෙත් කතා වුණා.

“පුරුෂයන්ගේ අදහස් හරි වෙනස්. සමහරු කැමති කුමාරිකාවන්ටයි. තවත් සමහරු කැමති ප්‍රථම වයසේ ස්ත්‍රීන්ටයි. තවත් සමහරුන් කැමති මධ්‍යම වයසේ ස්ත්‍රීන්ටයි. තවත් සමහරු කැමති වයසක ස්ත්‍රීන්ටයි. ඉතින් අපි ඒ සෑම අවස්ථාවක්ම නිරූපණය වෙන අයුරින් නොයෙක් වෙස් ගනිමු. දරුවන් වැදූ අය හැටියටත්, දරුවන් නොවැදූ අය හැටියටත්, මැහැලියන් හැටියටත් වෙස් ගනිමු” කියලා කතා වුණා.

දැන් මොවුන් එක එක්කෙනා භාග්‍යවතුන් වහන්සේව පොළොඹවා ගන්නා අදහසින් නා නා විප්‍රකාර දක්වනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් ගිහින් හය වතාවක්ම ශ්‍රමණයන් වහන්ස, අපි නුඹවහන්සේගේ පාදපරිචාරිකාවන් වෙන්න කැමතියි කියලා ඇවිටිලි කරන්න ගත්තා. බුදුරජාණන් වහන්සේට ඒ කිසිවක් අදාළ වුණේ නෑ. උන්වහන්සේගේ සිතට යාන්තමින්වත් ඒ කිසිවක් අරමුණු වුණෙත් නෑ.

අන්තිමේදී භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

“එම්බා ස්ත්‍රීනි, ඉවත්ව යන්න. මෙතරම් වෑයම් කරන්නේ කුමක් දැකලා ද? වීතරාගී කෙනෙකු ඉදිරියේ මෙවැනි විප්‍රකාර කිරීම වටින්නේ නෑ. තථාගතයන් වහන්සේට රාගාදිය ප්‍රහාණය වෙලා තියෙන්නේ. එනිසා කුමන දෙයකින් ද වසඟයට ගන්න හදන්නේ?”

මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ මධුර ස්වරයෙන් මෙම ගාථාවන් වදාළා.

යස්ස ජිතං නාවජීයති – ජිතමස්ස නෝ යාති කෝචි ලෝකේ
තම්බුද්ධමනන්තගෝචරං – අපදං කේන පදේන නෙස්සථ

බුදුකෙනෙක් ලොව දිනාගත් විට – පැරදුමක් කළ නොහැක කිසි විට
මුනිඳු ලත් ජය තිරය හැම විට – හඹා ඇවිදින් පලක් නැති කොට
මහා නුවණින් දිලෙන මුනිඳුට – කෙලෙස් නැති ගමනකින් යුතු විට
රවට්ටන්නේ මුනිඳු කෙලෙසට ?

යස්ස ජාලිනී විසත්තිකා – තණ්හා නත්ථි කුහිඤ්චි නේතවේ
තම්බුද්ධමනන්තගෝචරං – අපදං කේන පදේන නෙස්සථ

ලොවේ තණ්හා දැලේ පැටලෙන – කිසි දෙයක් නැත්තේය මුනිඳුට
මහා නුවණින් දිලෙන මුනිඳුට – කෙලෙස් නැති ගමනකින් යුතු විට
රවට්ටන්නේ මුනිඳු කෙලෙසට ?

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඔය ගාථාවන් වදාළ වේලෙහි මාර දූවරුන් තැති ගත්තා. බියට පත්වුණා. කම්පා වුණා. ලැජ්ජාවට පත්වුණා. එතනම නොපෙනී ගියා. බුදුරජාණන් වහන්සේ ඔය සිදුවීම මහාකරුණාවෙන් යුතුව මාගන්දිය බ්‍රාහ්මණයාට විස්තර කළා.

“පින්වත් බ්‍රාහ්මණය, ඉතින් ඒ මාර දූවරුන්ගේ ස්වභාවය අපගේ මිනිස් සිරුරුවලට වඩා වෙනස්. කෙස්, ලොම් ආදියෙනුත්, පිත සෙම ආදියෙනුත් පිරුණු පිළිකුල් සහගත කුණප කොටස්වලින් දිස්වුණේ නෑ. අමුතු දිස්නයකින් යුතු, රන්වන් ශරීරවලින් ආත්මභාව වලිනුයි ඔවුන් එදා පැමිණුනේ. සාමාන්‍යයෙන් ලෝකයේ රාග සහිත කෙනෙකුට මෙවැනි අත්දැකීමක් ලැබුණොත් සිහිවිකල් වෙන්න වුණත් පුළුවනි. ලේ වමනෙ යන්න වුණත් පුළුවනි. නමුත් ඔවුන් කෙරෙහි හැඟීම් මාත්‍රයක්වත් මගේ සිතේ හටගත්තේ නෑ. ඉතින් එහෙම එකේ ඔබගේ දියණියට තියෙන්නේ දෙතිස් කුණපයන්ගෙන් පිරුණු සිරුරක්. බාහිරින් සිතුවම් කළ අසූචි කළයක් වගෙයි මේ ශරීරය. දොරටුවේ පාපිස්නාවක් සෙයින් ශරීරයක් තිබුණත් මම නම් පාදයකින් වත්, යාන්තමින් වත් මෙම අසුචි සිරුරක් ස්පර්ශ කරන්න කැමති නෑ.”

මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ මෙම ගාථා රත්නය වදාළා.

දිස්වාන තණ්හං අරතිං රගඤ්ච
නාහෝසි ඡන්දෝ අපි මේථුනස්මිං
කිමේවිදං මුත්තකරීසපුණ්ණං
පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡේ

තණ්හා අරතී රගා නම් වූ – මාරයාගේ දියණිවරු දැක
ඇති වුණේ නෑ කිසි කැමැත්තක් – ඔවුන් හා වාසයක් කිසිවිට
පිරී ගිය මල මූ වලින් මේ – කුණු කයක් දුටු විටදි මෙලෙසින්
පාදයෙන් වත් පහස ලැබුමට – කැමැත්තක් ඇති නොවේ කිසිවිට

පින්වතුනේ, පින්වත් දරුවනේ, දැන් බලන්න ඒ මාගන්දියා මව් පිය දෙපළ කොයිතරම් ඤාණවන්තද? තමන්ගේ දියණියගේ රූ සපුව ගැන මහා ආඩම්බරයකින් හිටිය මේ දෙදෙනා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවන් වදාළ විට කිපුණේ නෑ. ‘අපේ දියණියට බැන්නා’ කියලා, අපහාස කළා කියලා ගැටුණේ නෑ. පැවසූ කරුණ සත්‍යය බව තේරුම් ගත්තා. අන්න ඒකට තමයි බුද්ධිමත්කම කියලා කියන්නේ. වෙන කෙනෙක් නම් ගැටෙනවා. අපහාස කරනවා. ගෑණු ළමයත් අරගෙන බැන බැන යනවා. මෙතන වුණේ ඊට හාත්පසින් වෙනස් දෙයක්. ගෑණු ළමයාට කේන්ති ගියා. ඈට නුවණ තිබුණේ නෑ. රූපෙ විතරයි තිබුණේ. ඈ හරිම මෝඩයි. ගොඩාක්ම මෝඩයි. ඈ කිපුණා. වෛර බැඳගත්තා. දෙමව්පියන්ගේ අත ගසා දැම්මා. ‘මට අපහාස කළා…. මට බැන්නා…’ කියාගෙන හඬාගෙන ගෙදර දිව්වා. පළිගන්න ක්‍රමය කල්පනා කළා. තම රූපයෙන් උදේනි රජ්ජුරුවන්ව වසඟ කරගත්තා. අගමෙහෙසිය වුණා. එදා ඉඳලා බුදුරජාණන් වහන්සේට කළ හැකි සෑම හතුරුකමක්ම කළා. නින්දා අපහාස කෙරෙව්වා. නොයෙක් කයිකතන්දර හදමින් ගැරහෙව්වා. හිතන්න බැරි තරම් පව් රැස්කරගත්තා. සාමාවතිය ප්‍රධාන පන්සියයක් උපාසිකාවන්ව ගිනිතියලා මැරෙව්වෙත් මෙයාම තමයි.

දැන් බලන්න… දෙමව්පියන්ට වෙච්චි දේ. පුදුම යහපතක් උදා වුණා. ඔවුන් එදාම භාග්‍යවතුන් වහන්සේව සරණ ගියා. ධර්මයට සවන් දුන්නා. බුදුරජාණන් වහන්සේ පවසන්නේ ඇත්තක් බව වැටහුණා. නුවණින් විමසුවා. ධර්මය වැටහුණා. අනාගාමී ඵලයට පත්වුණා. ඇත්තෙන්ම මාගන්දියා ගෑණු ළමයා මෙහෙම වෙන බව බුදුරජාණන් වහන්සේ දන්නවා. සසරේ ස්වභාවය හොඳින්ම දන්නා උන්වහන්සේ ඒ දෙමව්පියන් වෙනුවෙන් මොනතරම් කැපවීමක් කළාද? වෙන කෙනෙක් නම් නින්දා අපහාස ලබන්නට බියෙන් ඔවැනි දෙයකට අතගහන්නේ නැහැ නොවැ. භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාව නම් අදහාගන්න බැරි තරම් විස්මිතයි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ