බුද්ධ විෂය අචින්ත්‍යයයි

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේගේ ජීවිතය නම් ඉතාමත්ම අසිරිමත්. ආශ්චර්යවත් වූ අද්භූත වූ සිදුවීම් වලින් පිරී ඉතිරී ගිය එකක්. කල්ප ගණනාවකින්වත් ලොවට පහළ නොවන ඉතාම විස්මිත චරිතාපදානයක්. ඉතින් උන්වහන්සේගේ ජීවිත කතාවේ වැදගත් අවස්ථාවක් තමයි දැන් ඔබ දැනගන්න සූදානම් වෙන්නේ.

රජගහනුවර සිටුවරයෙක් මෙහෙම වැඩක් කළා. ගඟ හරහට දැලක් සවි කළා. එය වතුරට බැස්සුවා. කවුරුන් හෝ ගඟේ ගහගෙන ගියොත් දැලේ පැටලෙනවා. ඔහුව බේර ගන්නත් ලේසියි. වස්ත්‍රාභරණ ආදිය ගසාගෙන ගියොත් එයත් දැලේ පැටලෙනවා. එය බේරාගන්නත් ලේසියි. ඉතින් මේ සිටුවරයා ජල ක්‍රීඩා කරන්නත් එතනට යනවා.

දවසක් ගංගාවේ උඩු පැත්තේ ඉවුරේ තිබූ ලොකු රත්හඳුන් ගහක් මුල් සේදී ගඟට වැටුණා. ගල්වල හැපෙමින් එහි අතු කැඩිලා ගියා. ක්‍රමක්‍රමයෙන් මේ ගහ ගල් පරවල හැපෙමින් ගසාගෙන එද්දී රවුම් වෙලා ගියා. පාත්‍රයක් වගේ ඔපමට්ටම් වුණා. අර දැලේ ගිහින් පැටලුණා. සිටුතුමා මේ සඳුන් ලී කුට්ටිය ගොඩගත්තා. හරි අගේට රවුමට තියෙනවා. මේ කුමක්ද කියා පොඞ්ඩක් සිදුරු කළා. ඉතා සුවඳ හමන රත් හඳුන් කුට්ටියක්. රුක් ගැටයක්.

මේ සිටුවරයා ධර්මයට ආපු කෙනෙක් නොවෙයි. මිථ්‍යා දෘෂ්ටිකයි. මැදහත් අදහස්වලින් යුක්තයි. ඔහු මෙහෙම හිතුවා. ‘මගේ ගෙදර ඕන තරම් රත් හඳුන් තියෙනවා නෙව. එතකොට මං මොකක්ද මේකට කරන්නේ….?’ කියලා කල්පනා කළා.

‘හරි… මට මතක් වුණා වැඩක්. මේ ලෝකයේ අපි අරහත් වෙමු කියලා කියන අය හරියට ඉන්නවා නෙව. නමුත් මං ඔය එක අරහත් කෙනෙක් වත් දැකලා නෑ. දැන් කරන්න තියෙන්නේ මේකයි. මෙය ගෙදර ගෙනිහින් ලස්සනට කැටයම් කරලා හැට රියනක් උසට උණගස් බන්දවලා ඒ මුදුනේ උරයක දාලා එල්ලනවා. ‘ඉදින් ලෝකයෙහි රහතන් වහන්සේලා ඉන්නවා නම් අහසින් වැඩම කරලා මේ සඳුන් පාත්‍රය ගනිත්වා!’ කියලා අණබෙර පතුරනවා. කවුරු හරි රහත් කෙනෙක් මේක ගත්තොත් මගේ දූ පුතුන් සමඟ මං උන්වහන්සේව සරණ යනවා කියලා හිතාගෙන ඒ විදිහටම කළා.

එතකොට ෂට් ශාස්තෘවරු සිටුතුමා මුණගැහෙන්න ගියා.

“භවත් සිටාණෙනි, ඔය පාත්‍රය අපට ඉතාමත් සුදුසුයි. ඒ නිසා එය අපට දෙනු මැනැව” කියලා කිව්වා.

“බෑ… එහෙම දෙන්න බෑ… හැබැයි අහසෙන් ගිහින් ගන්න පුළුවනි.”

එතකොට නිගණ්ඨ නාථපුත්‍ර තමන්ගේ සේවකයෙකු පිටත් කළා. ඔහු ගිහින් සිටුවරයා මුණගැසුණා.

“භවත් සිටාණෙනි, ඇත්තෙන්ම ඔය පාත්‍රය සුදුසු අපගේ ආචාර්යයන් වහන්සේටයි. ඔවැනි සුළු කාරණයකට අහස් ගමනකට යොදවන්න එපා. එනිසා ඒ පාත්‍රය අපට දෙනු මැනැව.”

“ඉතින් අහස් ගමනට සමර්ථ නම් ආකාසයෙන් ගිහින් ගනු මැනැව.”

අන්තිමේදී නිගණ්ඨ නාථපුත්‍ර පාත්‍රය ගන්නට ආසා කොට ගෝලයින්ට මෙහෙම කිව්වා.

“මං අහසට නගින්නට සැරසෙනවා වගේ අතක් පයක් ඔසොවන්නම්. එතකොට ඔහේලා මෙහෙම කරන්න. ‘හප්පේ… ආචාර්යයන් වහන්ස, මේ ලී පාත්තරයක් වෙනුවෙන් අරහත්ගුණ මහාජනයාට ප්‍රදර්ශනය කරන්න එපා’ කියලා මාව අත් පා වලින් අල්ලලා නවත්වන්න.”

මේ විදිහට කතිකා කරගෙන ඔහු සිටුවරයා මුණ ගැහෙන්න ගියා.

“මහසිටුවරය, මේ පාත්‍රය සුදුසු මටයි. අන් අයට සුදුසු නෑ. නමුත් මෙවැනි සුළු කරුණක් අරභයා මගේ අහස් ගමන ගැන ආසා කරන්ට එපා. මට පාත්තරය දෙන්න.”

“ස්වාමීනී, අහසින් වැඩම කොටම ගනු මැනැව.”

එතකොට නිගණ්ඨ නාතපුත්ත මෙහෙම කිව්වා.

“කෝ එහෙනම් අයින් වෙනවා….” කියලා පිරිස ඈත් මෑත් කළා. අහසට නගින්ට සැරසෙනවා වගේ අතපය ඉස්සුවා. ගෝල පිරිස වටකරගත්තා.

“හප්පේ…. අපේ ආචාර්යයන් වහන්ස, මේ මක්කරන්ටද හදන්නේ….? මෙවැනි ලාමක ලී පාත්තරයක් වෙනුවෙන් මේ සැඟවුණු ගුණ මහජනයාට පෙන්වන එකේ තේරුම කුමක්ද?” කියලා අත් පා පහත් කරලා වැළැක්කුවා.

“ඒක නේන්නම් සිටුතුමනි, මේ ඇත්තො මට අහසට නගින්ට දෙන්නෙ නෑ නොවැ. දැන්වත් පාත්තරය දෙන්න.”

“ස්වාමිනී, අහසට නැගිලම ගනු මැනැව.”

මේ අයුරින් හය දවසක්ම අන්‍ය තීර්ථකයන් නොයෙක් උපක්‍රම යෙදුවා. ඒත් පාත්‍රය ලැබුණේ නෑ.

හත්වෙනි දවසේ අපගේ මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේත්, අපගේ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ සමඟ රජගහ නුවර පිණ්ඩපාතේ වඩින්නට සූදානම්ව එක් ගල්තලාවක වැඩහිඳ සිවුරු පොරවමින් සිටියා. එතකොට ඒ අසළ සිටි සෙල්ලක්කාර මිනිසුන් මෙහෙම කතාවෙමින් සිටියා.

“ඉස්සර ෂට් ශාස්තෘවරු හැමතැනම ඇවිදගෙන ගියේ අපි තමයි රහත් කිය කියා. රජගහනුවර සිටුතුමා තමයි වැඬේ කළේ. උණ රිටි ගැටගහලා මුදුනේ පාත්තරයක් තිබ්බා නෙව. ‘රහතන් වහන්සේලා ඉන්නවා නම් අහසින් වැඩම කොට එය ගනිත්වා’ කිව්වා නෙව.”

“මම අරහත් කියපු එක්කෙනෙක් වත් අහසට නැග්ගේ නෑනේ. මෙයින් වුණේ රහතන් වහන්සේලා ලෝකයේ නැති බව ප්‍රසිද්ධ වීම නෙව.”

ඔවුන්ගේ මේ කතාව ඇසූ මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේට මෙසේ වදාළා.

“ආයුෂ්මත් භාරද්වාජ, මේ ඇත්තන්ගේ කතාව ඇහුණා නේද? මේ උතුම් බුදු සසුනටත් ගරහමින් වගෙයි කතා කළේ. ඔබත් මහාඉර්ධිමත් මහානුභාව සම්පන්න කෙනෙක් නොවැ. යන්න. අහසින් ගිහින් පාත්‍රය ගන්න.”

“අනේ ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්ස, නුඹවහන්සේ නෙව ඉර්ධිමතුන්ගෙන් අග්‍ර. ඔබවහන්සේ ඒක ගන්න. නුඹවහන්සේ ගත්විට මමත් ගන්නම්.”

“ඇවැත්නි, එහෙනම් ගන්න” කියලා මුගලන් මහරහතන් වහන්සේ වදාළා.

එතකොට පිණ්ඩෝල භාරද්වාජයන් වහන්සේ සතර වෙනි ධ්‍යානයෙන් ඉර්ධිබලය උපද්දවලා ගව් තුනක් පමණ විශාල මහා පැතලි ගලක් පා ඇඟිලි මතින් පුළුන් රොදක් වගේ ආකාසයෙන් ඔසොවා ගෙන රජගහ නුවර වටා හත් වරක් කැරකුණා. එතකොට ඒක පෙනුනේ තුන් ගව් පමණ වූ නගරය වසාගෙන තියෙන පියනක් වගෙයි.

“මෙන්න ආකහෙන් ගල් තලාවක් එනවෝ….” කියමින් හඬතල දීගෙන නගරවාසීන් ලද ලද දෙයින් හිස වසාගෙන තැන් තැන්වල සැඟවුණා. හත්වෙනි රවුමෙදි ඒ ගල්තලාව අහසෙම තිබෙද්දි එය බිඳී එය මැද්දෙන් පිණ්ඩෝල භාරද්වාජයන් වහන්සේව ලස්සනට පෙනුණා.

“හනේ… අප්පේ… අපේ පිණ්ඩෝල භාරද්වාජයන් වහන්සේ නෙව. අනේ ස්වාමීනී, ඔය මහා ගල හයියෙන් අල්ලා ගන්ට. අපට අනතුරක් නම් වෙන්ට එපා.”

එතකොට පිණ්ඩෝල භාරද්වාජයන් වහන්සේ ඒ මහාගල පා නිය සිලෙන් ඈතට වීසි කළා. ගල්තලාව තිබුණු තැනම ආයෙමත් හිමීට තැන්පත් වුණා. උන්වහන්සේ සිටුවරයාගේ ගෙදරට ඉහළ අහසේ වැඩසිටියා. සිටුවරයා බිම දිගෑදිලා වන්දනා කළා.

“ස්වාමීනී, බිමට වඩිනා සේක්වා” කියලා කෑ ගහලා කිව්වා. බිමට වැඩම කළ තෙරුන් වහන්සේට අර සඳුන් පාත්‍රය පුරවා චතුමධුර පූජා කළා. තෙරුන් වහන්සේ පාත්‍රය ගෙන වේළුවනාරාමය දෙසට වැඩම කළා. උන්වහන්සේගේ ප්‍රාතිහාර්යය දකින්නට නොලැබුණු වනයේ වාසය කළ වෙනත් තැන්වල සිටි බොහෝ දෙනෙක් පසුපසින් ගමන් කළා.

‘අනේ ස්වාමීනී, අපටත් ප්‍රාතිහාර්යය දක්වන්නැ’යි කියමින් ඇවිටිලි කළා. උන්වහන්සේ අවස්ථානුකූලව ප්‍රාතිහාර්යය දක්වමින් විහාරයට වැඩම කළා.

මනුෂ්‍යයින්ගේ මේ ඝෝෂාව බුදුරජාණන් වහන්සේට ඇසුණා.

“ආනන්දය, කුමක්ද මේ ඝෝෂාව?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අපගේ පිණ්ඩෝල භාරද්වාජයන් වහන්සේ අහසින් ගිහින් සඳුන් පාත්‍රය ගත්තා නෙව. උන්වහන්සේ වටා එක්රොක් වූ පිරිස තමයි ඔය කෑ ගහන්නේ…”

එතකොට භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩෝල භාරද්වාජයන් වහන්සේව කැඳෙව්වා.

“හැබෑද? ඔබ විසින් මෙවැනි දෙයක් කළා කියන්නේ?”

“එහෙමයි භාග්‍යවතුන් වහන්ස.”

“භාරද්වාජයෙනි, ඇයි මෙවැනි දෙයක් කළේ? කෝ ගේන්න ඔය පාත්තරේ. මේක කෑලි කෑලි වලට කඩලා දාන්න. ඇස් කැක්කුමට ගාන අඳුන් තනා ගැනීමට නම් මේ කෑලි හොඳයි.”

ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයින්ට ප්‍රාතිහාර්යය පාන්න එපා කියලා ශික්ෂාපදයක් පැණෙව්වා. එතකොට අන්‍යතීර්ථකයන්ට පාත්‍රය බිඳවපු බවත්, ශික්ෂා පදයක් පණවපු බවත් ආරංචි වුණා. ඔවුන් මෙහෙම කතා වුණා.

“දැන් හරි… ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ ජීවිතය ගියත් ඔය පණවපු ශික්ෂාපද ඉක්මවා යන්නේ නෑ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේත් ඒ විදිහටම ඒවා රකිනවා. දැන් ඉතින් තියෙන්නේ අපේ වාරේ තමයි” කියලා වීදි ගානේ තමන් හුවාදක්වමින් කියව කියවා යන්න පටන් ගත්තා.

“දැන් බලන්න පින්වත්නි, අපි අපේ ගුණ රැකගෙන හිටියා. දර පාත්‍රයක් වෙනුවෙන් මහජනයාට ප්‍රදර්ශනය කොළේ නෑ. නමුත් ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ මේ ඉතා සුළු පාත්‍රයක් වෙනුවෙන් මහජනයාට ගුණ ප්‍රදර්ශනය කොළා නෙව. ශ්‍රමණ ගෞතමයන් වහන්සේත් තමන්ගේ ඤාණය පෙන්වන්ට පාත්‍රය කැබලි කෙරෙව්වා. ශික්ෂා පදයකුත් පැණෙව්වා. දැන් ඔය කාරණය නිසා අපි තමයි ඉර්ධි ප්‍රාතිහාර්යය දක්වන්ට තීරණය කළේ.”

බිම්බිසාර රජතුමාටත් මෙය ආරංචි වුණා. භාග්‍යවතුන් වහන්සේගෙන් විමසුවා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ශ්‍රාවකයන් වහන්සේලාට ප්‍රාතිහාර්යය පෑම නොකිරීම පිණිස සික පදයක් පැණවූ සේක්ද?”

“එසේය මහරජ.”

“ස්වාමීනී, දැන් මේ තීර්ථකයෝ ඔබවහන්සේ සමඟ ඉර්ධි ප්‍රාතිහාර්යය පාන්නට ඕන කියලා කියාගෙන යනවා. දැන් ස්වාමීනී, මොකද කරන්නේ?”

“මහරජ, එහෙම නම් කරන්නට තිබෙන්නේ ඉර්ධි ප්‍රාතිහාර්යය පාන එක නෙව.”

“ඉතින් ස්වාමීනී, සික පදයක් පණවලා නේද තියෙන්නේ?”

“මහරජ, මම තමන් වෙනුවෙන් ශික්ෂාපදයක් පණවා ගත්තේ නැහැ. මගේ ශ්‍රාවකයන්ට පමණයි එය පැණෙව්වේ.”

“ස්වාමීනී, ඒ කියන්නේ ඔබවහන්සේ හැර අන්‍යයන්ට සිකපදයක් පණවන ලද්දේ ද?”

“මහරජ, මං එය ඔබෙන්ම අසන්නම්. මහරජ, ඔබට වෙන්කරපු උයනක් තියෙනවා නේද?”

“තියෙනවා ස්වාමීනී.”

“ඉදින් මහරජ, ඒ උයනේ හටගන්නා අඹ ආදී පළතුරු මහජනයා කෑවොත් ඔබ කුමක්ද කරන්නේ?”

“ස්වාමීනී, දඬුවම් ලැබෙනවා නෙව.”

“ඒ පළතුරු ආදිය ඔබට අනුභව කරන්නට ලැබෙනවාද?”

“එහෙමයි ස්වාමීනී. මට දඬුවමක් නෑ. මං අනුභව කරන්නේ තමන් සන්තක දේ නෙව.”

“මහරජ, ඔබේ තුන් යොදුනක් පමණ වූ රාජ්‍යයේ ආඥාව පවතිනවා. තමන්ගේ උද්‍යානයේ අඹ ආදී පළතුරුත් තමන් අනුභව කළාට දඬුවමකුත් නෑ. අනුන්ට නම් තියෙනවා. මහරජ, ඒ වගේම තමයි. කෙළ ලක්ෂයක් සක්වල තථාගතයන්ගේ බුද්ධාඥාව පවතිනවා. තථාගතයන් හට ශික්ෂාපද ඉක්මවා යාම කියලා එකක් නෑ. ඒ නිසා මහරජ, මම ප්‍රාතිහාර්යය දක්වනවා.”

තීර්ථකයන්ට මේ කථාව ආරංචි වුණා.

“හරි වැඬේ වුණේ. අපි විනාශයි! ශ්‍රමණ ගෞතමයන් ශ්‍රාවකයන්ට විතරයි ශික්ෂාපදය පණවලා තියෙන්නේ. තමන්ට නෙවෙයි. දැන් ඉර්ධි ප්‍රාතිහාර්ය දක්වන්න කැමැත්ත පල කරලා. අපි මොකදෑ කරන්නේ…?”

රජතුමා භාග්‍යවතුන් වහන්සේගෙන් විමසුවා.

“ස්වාමීනී, ප්‍රාතිහාර්යය දක්වන්නේ කවද්ද?”

“මහරජ, මෙයින් සිව් මසක් ගිය තැන ඇසළ පුන් පොහෝ දවසේදී.”

“ස්වාමීනී, ඒ ප්‍රාතිහාර්යය දක්වන්නේ කොහේදීද?”

“මහරජ, සැවැත් නුවර ඇසුරු කොටයි.”

“ස්වාමීනී, එපමණ දුරකින් ප්‍රාතිහාර්යය පාන්නට අදහස් කළේ ඇයි?”

“මහරජ, සියලු බුදුවරයන් වහන්සේලා මහාප්‍රාතිහාර්යය දක්වන තැනක් තියෙනවා. මහාජනයාට හොඳහැටියට රැස්වෙන්නටත් පුළුවනි. දුර සිට බලන්නටත් පුළුවනි.”

එතකොට තීර්ථකයන් මෙහෙම කතා වුණා.

“තව මාස හතරකින් නෙව ශ්‍රමණ ගෞතමයන් සැවැත් නුවර ප්‍රාතිහාර්යය දක්වන්නේ. අපි මෙහෙම කරමු. ශ්‍රමණ ගෞතමයන්ව ලුහුබැඳගෙන යමු. එතකොට මහජනයා අපෙන් අසාවි මේ කුමක්ද කරන්නේ කියලා. එතකොට ශ්‍රමණ ගෞතමයන් පැනලා යාවි. අපට තියෙන්නේ පැනල යන්ට නොදී පස්සෙන් පන්නන එකයි.”

අපගේ ශාස්තෘන් වහන්සේ රජගහ නුවර පිඬු සිඟා වැඩියා. අන්‍ය තීර්ථකයන් උන්වහන්සේගේ පස්සෙන් එන්ට පටන්ගත්තා. දන් වළඳන තැනටත් එනවා. පසුවදාත් එතනදි උදේ ආහාර ගන්නවා. එතකොට මිනිස්සු අහනවා ඇයි මේ කියලා. කලින් කතා කරගත්තු විදිහට උත්තර දෙනවා. ‘හප්පේ… එහෙමද? එහෙනම් අපිත් ප්‍රාතිහාර්යය බලන්ට ඕන’ කියලා මහජනයාත් පස්සෙන් වැටුණා.
අපගේ භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙලින් සැවැත් නුවරට වැඩියා. තීර්ථකයොත් ඒ සමඟම පස්සෙන් ගිහින් තමන්ගේ පිරිස ලවා කහවණු ලක්ෂයක් වියදම් කොට මණ්ඩපයක් කෙරෙව්වා. කිහිරි කොටවලින් ඒ මණ්ඩපය කරවලා නිල් මහනෙල් වලින් සැරසුවා. මෙතන තමයි අපි ප්‍රාතිහාර්යය දක්වන්නේ කියලා වාඩිවුණා.

මෙය සැළවූ කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට ආවා.

“ස්වාමීනී, අන්‍යතීර්ථකයන් නම් මණ්ඩපය කරවාගෙනයි තියෙන්නේ. මං තමයි නුඹවහන්සේගේ මණ්ඩපය කරවන්නේ.”

“අවශ්‍ය නැහැ මහරජ. මගේ මණ්ඩපය කරවන කෙනෙක් ඉන්නවානේ.”

“ස්වාමීනී, මං හැර වෙන කවුද මණ්ඩපය කරවන්නට පුළුවන් කෙනා?”

“ඇයි මහරජ, අපේ ශක්‍ර දිව්‍යරාජයා.”

“එහෙමනම් ස්වාමීනී, ප්‍රාතිහාර්යය දක්වන්නේ කොහේද?”

“මහරජ, ගණ්ඩබ්බ රුක් සෙවණේදී…”

මෙය සැළවූ අන්‍ය තීර්ථකයන් තමන්ගේ පිරිස ලවා යොදුනක ප්‍රමාණයේ සෑම අඹගසක්ම මුලින්ම උදුරුවලා ඉවත් කළා. කොටින්ම එදා හටගත් අඹ පැළය පවා ඉවත් කළා.

අපගේ භාග්‍යවතුන් වහන්සේ ඇසළ පුන් පොහෝ දවසේ ඇතුලු නුවරට වැඩියා. රජතුමාගේ උයන් පල්ලෙක් හිටියා. ඔහුගේ නම ගණ්ඩ. ඔහු දැක්කා කොළවලින් වැසුණු දිමි ගොට්ටක් තුළ ඉතා විශාල අඹ ගෙඩියක් තියෙනවා. හොඳට ඉදිලා සුවඳ හමනවා. ඒ අඹ සුවඳට කපුටන් පවා ආවා. ඔවුන්ව පලවා හැර මොහු මේ අඹ ගෙඩිය රජුට පිරිනැමීම පිණිස ගෙනයමින් සිටියා. ඒ අතරමග වඩින බුදුරජාණන් වහන්සේව දැක්කා.

“රජතුමා මේ අඹය අනුභව කොට මට කහවණු අටක්, දහසයක් දේවි. ඒක මගේ ජීවිතය සම්පූර්ණයෙන් පවත්වන්න ප්‍රමාණවත් නෑ නෙව. නමුත් මම මේ අඹය ශාස්තෘන් වහන්සේට පූජා කරගත්තොත් නොවැරදීම දීර්ඝ කාලයක් මට හිතසුව පිණිස පවතිනවා මයි.”

ඉතින් ඔහු ඒ අඹ ඵලය ශාස්තෘන් වහන්සේට පූජා කිරීමට සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේ දෙස බැලුවා. එතකොට අනඳ තෙරුන් සතර වරම් දෙවිවරුන් විසින් පූජා කළ පාත්‍රය භාග්‍යවතුන් වහන්සේගේ අතේ තිබ්බා. ඔහු අඹ ඵලය පාත්‍රයට පූජා කළා. බුදුරජාණන් වහන්සේ එතනම වාඩිවෙන්න කැමති වුණා. අනඳ මහතෙරුන් සඟල සිවුර අතුරා ආසනය පැණෙව්වා. ඒ අඹ ඵලය ගෙන මිරිකා අඹ පානයක් පිළියෙල කළා. භාග්‍යවතුන් වහන්සේ ඒ අඹ පානය වළඳා ගණ්ඩ නම් උයන්පල්ලා අමතා වදාළා.

“මෙතැන පස් මෑත් කොට සාරලා මේ අඹ ඇටය රෝපණය කරන්න.”

ඔහු එහෙම කළා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ මත උන්වහන්සේගේ ශ්‍රී හස්තය දෝවනය කළා. ගන්ධ කුටියට වැඩියා. ඒ ජලයෙන් අඹ පැලය නගුලිසක් පමණ උඩට නැගී පනස් රියනක් පමණ උසට අඹ රුකක් පැන නැංගා. සිව් දිශාවට අතු හතරක් විහිදුණා. උඩු අතට එක අත්තක් විහිදුණා. මේ මහා අඹ අතු පහම පනස් රියක් පමණ විහිද පැතිර ගියා. ඒ මොහොතේම මල් ගෙඩිවලින් පිරුණා. එක අත්තක ඉතා හොඳින් ඉදුණු අඹ පොකුරක් තිබුණා. භාග්‍යවතුන් වහන්සේ පසුපසින් වඩින භික්ෂූන් වහන්සේලා ඒ අඹ වැළඳුවා. ඒ අඹ වළඳමින් පිටත් වුණු භික්ෂූන් දුටු රජතුමා මෙවැනි අඹ ගසක් හටගත් බව දැනගෙන ඒ අඹගස රැක ගැනීම පිණිස රැකවල් යෙදුවා. ගණ්ඩ නම් වූ උයන්පල්ලා විසින් රෝපණය කළ නිසා ඒ සුවිශාල අඹරුක ගණ්ඩබ්බ රුක්ඛ නමින් ප්‍රසිද්ධ වුණා.

කෙළි සෙල්ලමෙන් වාසය කරන මිනිස්සුත් ඉදුණු අඹ කෑවා.

‘මේ දුෂ්ට තීර්ථකයෝ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ගණ්ඩබ්බ රුක් සෙවණේ පෙළහර පානවා කියලා යොදුනක් පමණ දුර තිබුණු සියලුම අඹ ගස් කපලා විනාශ කළා නෙව’ කියලා ඔවුන් දුටු දුටු තැන අඹ ඇටවලින් පහර දුන්නා.

සක් දෙවිඳු වාතවළාහක දෙවියන්ට අණ කළා, තීර්ථකයන්ගේ මණ්ඩපය හුළඟින්ම අරන් ගිහින් කුණු වළකට දාන්න කිව්වා. වාතවළාහක දෙවියන් එහෙම කළා.

සූරිය දිව්‍යපුත්‍රයාට හිරුරැස් දැඩි කරන්න කියලා අණ කළා. ඔහු එහෙම කළා. වාතවළාහක දෙවියන්ට දැඩි සුළඟක් එවන්න කියලා අණ කළා. එතකොට සුළි වගේ කැරකෙමින් බිමට වැදෙන සුළං දූවිලි අවුස්සමින් ගියා. අව්රෂ්මියෙන් දහඩිය වැගිරෙමින් සිටි අන්‍ය තීර්ථකයන් දුහුවිලි වලින් වැසී ගියා. තඹ පැහැ ගැන්වුණා. එතකොට වැස්ස වළාහක දෙවියන්ටත් අණ ලැබුණා. ලොකු ලොකු වතුර බින්දු වස්සවන්න කියලා. ඒ තීර්ථකයන්ගේ ශරීර මත තැනින් තැන වතුර බින්දු වැටුණා. කබරගොයින්ගේ ශරීර වගේ පේන්න පටන් ගත්තා. නිගණ්ඨයින්ට වස ලැජ්ජාව. ඔවුන් ඉඩ ලැබුණු ලැබුණු තැනින් පැනලා ගියා.

එහෙම පැනලා යද්දී පූරණ කස්සපගේ දායක ගොවියෙක්, ‘දැන් මාගේ ආර්යයන් වහන්සේලා ප්‍රාතිහාර්යය දක්වන වෙලාව නෙව. ගිහින් බලන්න ඕන’ කියලා ගොන්නු ලිහලා කැඳ මුට්ටියත්, ලණුවත් අරගෙන එද්දී පැනලා යන පූරණ කස්සපව දැක්කා.

“ස්වාමීනී, අද ආර්යයන් වහන්සේගේ ප්‍රාතිහාර්යය දකින්නමයි මං මේ යන්නේ. තමුන්නාන්සේ ඔය කොහෙද වඩින්නේ….?”

“නුඹට මොන ප්‍රාතිහාර්යයද? ඔය මුට්ටියත්, ලණුවත් මෙහෙ දියන්” කියලා පූරණකස්සප එය රැගෙන නදියට ගියා. තමාගේ බෙල්ලේ අර මුට්ටිය ගැට ගැසූ ලණුව බැන්දා. ලැජ්ජාවෙන්ම කිසිවක් කරගත නොහැකිව ගඟ මැදට ගිහින් ගිලුණා. දිය බුබුළු නංවමින් මරණයට පත්වුණා. අවීචි මහා නරකයේ උපන්නා.

සක් දෙවිඳු මැණික් සක්මනක් මැව්වා. එහි එක් කෙළවරක් බටහිර සක්වලේ ක්ෂිතිජය තෙක් දික්වුණා. අනෙක් කෙළවර නැගෙනහිර සක්වලේ ක්ෂිතිජය තෙක් දික්වුණා. ශාස්තෘන් වහන්සේ යොදුන් තිස් හයක් දුරට රැස් වූ මහාජනකාය පිරිසට වැඩෙන සෙවණැල්ලෙන් දැන් ප්‍රාතිහාර්යය දැක්වීමට සුදුසු වේලාව යැයි සළකා ගන්ධකුටියෙන් නික්මුණා. එතකොට අනාගාමී ඵලයට පත් ඝරණී නම් ඉර්ධිමත් උපාසිකාව මෙහෙම පැවසුවා.

“ස්වාමීනී, මා වැනි දියණියක් සිටිද්දී නුඹවහන්සේ වෙහෙසට පත්වීමෙන් ඵලක් නැත. මම ප්‍රාතිහාර්යය දක්වන්නම්.”

“ඝරණී, මොන විදිහේ ප්‍රාතිහාර්යයක්ද ඔබ දක්වන්නේ?”

“ස්වාමීනී, එකම සක්වල ගැබෙහි මහා පෘථිවිය ජලය කොට දියකාවියක් වගේ කිමිදිලා නැගෙනහිර සක්වලින් මතුවෙන්නම්. ඒ වගේම බටහිර, උතුරු, දකුණු සක්වලෙනුත් මතුවෙන්නම්. මැදිනුත් මතුවෙන්නම්. මහජනයා මාව දැකලා මෑ කවුද කියලා ඇසුවොත් මැය ඝරණී නම් වේ. මේ එක ස්ත්‍රියකගේ ආනුභාවයයි. බුද්ධානුභාවය කොයි විදිහට ඇද්ද කියලා භාග්‍යවතුන් වහන්සේ නොදැකම තීර්ථකයන් පලා යාවි.”

“ඝරණී, මෙවැනි ප්‍රාතිහාර්යය දක්වන්නට ඔබ සමර්ථ බව මා දන්නවා. නමුත් මේ සඳහා ඔබේ සම්බන්ධය නොවිය යුතුයි.”

එතකොට ඈ ‘එහෙමනම් අද මටත් වඩා විශේෂයෙන් ප්‍රාතිහාර්යය දක්වන කෙනෙක් ඇති. ඒකයි ශාස්තෘන් වහන්සේ මගේ ප්‍රාතිහාර්යය අනුමත නොකළේ’ කියා පසෙකින් සිටගත්තා.
භාග්‍යවතුන් වහන්සේත් මේ තුළින් මේ ඇත්තන්ගේ ගුණය ප්‍රකට වන බව දැන තිස්හය යොදුනක් පුරා පැතිරී ගිය මේ පිරිස් මැද්දේ සිංහනාද කරන්නේ කවුරුන්දැයි කියා අන්අයගෙනුත් විමසා විචාළා.

ඔවුනුත් නොයෙක් අයුරින් සිංහනාද කළා. චුල්ල අනාථපිණ්ඩික සිටුවරයා ද ‘මා වැනි අනාගාමී උපාසක පුත්‍රයෙක් සිටිද්දී ශාස්තෘන් වහන්සේ වෙහෙසිය යුතු නැතැ’යි කියා ප්‍රාතිහාර්යය පාන්නට ඉදිරිපත් වුණා.

“ස්වාමීනී, මං දොළොස් යොදුනක් විශාල බ්‍රහ්මරාජ ආත්මයක් මවාගෙන මේ පිරිස මැද්දේ මහාමේඝ ගර්ජනාවක් පරිද්දෙන් අත්පොළසන් ගසමින් යන්නම්. එතකොට මහාජනයා අසාවි කුමක්ද මේ ශබ්දය කියලා. ගෘහපතියෙකුගේ ආනුභාවය මෙපමණ නම් බුද්ධානුභාවය කොයි විදිහට ඇද්ද කියලා තීර්ථකයන් භාග්‍යවතුන් වහන්සේ නොදැකම පලා යාවි. ඔහුගේ ආනුභාවය අනුමත කළ භාග්‍යවතුන් වහන්සේ එයටත් අවසර දුන්නේ නෑ.

එතකොට සිව්පිළිසිඹියාපත් සත් හැවිරිදි චිරා නම් වූ රහත් සාමණේරීන් වහන්සේ ප්‍රාතිහාර්යය පාන්නට ඉදිරිපත් වුණා.

“ස්වාමීනී, මහාමේරු පර්වතයත්, සක්වල පර්වතයත් මහා හිමාලයත් මං අරන් ඇවිත් මෙතන පිළිවෙලට තබනවා. ඊට පස්සේ හංසරාජිනියක් වගේ ඒ පර්වතයෙන් පර්වතයට නොගෑවී යනවා. මහාජනයා අසාවි මෑ කවුද කියලා. සත්හැවිරිදි වූ චිරා සාමණේරිය මෙවැනි ප්‍රාතිහාර්යය දක්වනවා නම් බුද්ධානුභාවය කොහොම ඇද්ද කියලා බුදුරජාණන් වහන්සේ නොදැකම අන්‍යතීර්ථකයන් පලා යාවි.

භාග්‍යවතුන් වහන්සේ ඇයගේ ප්‍රාතිහාර්යය හැකියාව පිළිගත්තා. නමුත් ප්‍රාතිහාර්යය පාන්නට අනුමත කළේ නෑ.

එතකොට සිව්පිළිසිඹියාපත් සත්හැවිරිදි චුන්ද සාමණේර රහතන් වහන්සේ ප්‍රාතිහාර්යය පාන්නට ඉදිරිපත් වුණා.

“ස්වාමීනී, ජම්බුද්වීපයට ධජයක් බඳු මහා ජම්බු වෘක්ෂය කඳින්ම අල්ලගෙන එන්නම්. එහි තිබෙන ජම්බු පොකුරු හැමෝටම කෑමට දෙනවා. පරසතු රුකෙන් මල් ගෙනැවිත් ශාස්තෘන් වහන්සේට පූජා පවත්වන්නම්.”

බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රාතිහාර්යය හැකියාව පිළිගත්තා. නමුත් ප්‍රාතිහාර්යය පාන්නට අනුමත කළේ නෑ.

එතකොට උප්පලවණ්ණා මහරහත් තෙරණින් වහන්සේ ඉදිරිපත් වුණා.

“ස්වාමීනී, දොළොස් යොදුනක් පුරාවට මහා පිරිස දක්වලා තිස්හය යොදුනක් පුරාවට පිරිස් පිරිවරාගත් සක්විති රජෙක් වෙලා ඇවිත් නුඹවහන්සේව වන්දනා කරන්නම්.”

බුදුරජාණන් වහන්සේ තෙරණින් වහන්සේගේ ප්‍රාතිහාර්යය හැකියාව පිළිගත්තා. නමුත් ප්‍රාතිහාර්යය පාන්නට අනුමත කළේ නෑ.

එතකොට මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඉදිරිපත් වුණා.

“ස්වාමීනී, මං සිනේරු පර්වත රාජයා රැගෙන ඇවිත් මෑ ඇට හපනවා වගේ හප හපා දාන්න පුළුවනි. ඒ වගේම මේ මහාපොළොව ඇඟිලි අතරින් කළාලයක් වගේ දිග ඇරලා අරගෙන යන්නම්. ඒ වගේම මේ මහාපොළොව කුඹල් සකක් වගේ කරකවලා පෘථිවි ඕජස් පැණිය මහජනයාට අනුභව කරවන්නම්. ඒ වගේම වම් අතින් මහපොළොව ගෙන දකුණු අතින් මේ සියලු සත්වයන් වෙනත් දිවයිනක රඳවන්නම්. ඒ වගේම සිනේරු පර්වතය කුඩ මිටක් වගේ ගෙන මහපොළොව ඔසොවා ඒ මත තබා කුඩයක් අතින් ගත් භික්ෂුවක් වගේ තනි අතින් ගෙන අහසේ ඇවිද යන්නම්.”

බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රාතිහාර්යය හැකියාව පිළිගත්තා. නමුත් ප්‍රාතිහාර්යය පාන්නට අනුමත කළේ නෑ.

ශාස්තෘන් වහන්සේ මෙය වදාළා.

“තථාගතයන්ට අසමධුරයක් තියෙනවා. ඕනෑම වගකීමක් උසුලන්න පුළුවන්. තථාගතයන් තරම් වගකීම් ඉසිලිය හැකි වෙනත් කෙනෙක් නෑ. මෙය එතරම් අසිරියක් නොවේ. තිරිසන් යෝනියේ උපන් කාලයේ පවා ඕනෑම බරක් ඉසිලීමට සමත් වුණා” කියා පවසා වදාළා.

මහාමොග්ගල්ලානයන් වහන්සේ විසින් විමසනු ලදුව අතීත පුවත ලෙස ‘කණ්හවෘෂභ ජාතකය’ත්, ‘නන්දිවිසාල ජාතකය’ත් වදාළා. ඊටපස්සේ භාග්‍යවතුන් වහන්සේ මැණික් සක්මනට වැඩම කළා. ඉදිරියෙන් දොළොස් යොදුනක් පුරා ජනයා හිටියා. ඒ වගේම පසුපසිනුත්, උතුරිනුත්, දකුණිනුත් ජනයා හිටියා. ඒ පිරිස් මැද භාග්‍යවතුන් වහන්සේ යමක මහාප්‍රාතිහාර්යය දක්වා වදාළා.

එය දැනගත යුත්තේ මෙහෙමයි. තථාගතයන් වහන්සේගේ යමක ප්‍රාතිහාර්යය ඤාණය යනු කුමක්ද? මෙහිලා තථාගතයන් වහන්සේ යමක ප්‍රාතිහාර්යය දක්වන සේක. මෙය ශ්‍රාවකයන් හට සාධාරණ නැත. සිරුරෙහි උඩු කයින් ගිනි දැල් විහිදෙයි. ඒ මොහොතේම යටිකයෙන් ජලධාරා විහිදෙයි. ඒ මොහොතේම සිරුරේ යටිකයෙන් ගිනි දැලුත් විහිදෙයි. උඩු කයෙන් ජලධාරා විහිදෙයි. ඒ වගේම ඉදිරිපසිනුත් විහිදෙයි. පිටුපසිනුත් විහිදෙයි. ඒ වගේම පිටුපසිනුත් විහිදෙයි. ඉදිරිපසිනුත් විහිදෙයි. වම් ඇසින් ද, දකුණු ඇසින් ද, වම් කනෙන්ද, දකුණු කනෙන්ද, වම් නාස් පුඩුවෙන්ද, දකුණු නාස් පුඩුවෙන් ද, වම් උරහිසින් ද, දකුණු උරහිසින් ද, වම් අතින්ද, දකුණු අතින් ද, වම් පයෙන්ද, දකුණු පයෙන්ද, ඇඟිලි වලින්ද, ඇඟිලි අතරින් ද, එක් එක් රෝමයෙන් ද ගිනි කඳ විහිදෙයි. එක් එක් රෝමයෙන් ජලධාරාත් විහිදෙයි. නිල්, කහ, රතු, සුදු, මදටිය පැහැ ප්‍රභාෂ්වර යන ෂඞ්වර්ණ රෂ්මිය විහිදෙයි.

භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරන සේක. උන්වහන්සේ විසින් මවන ලද බුද්ධ රූපය ද උන්වහන්සේ දක්වන හැම ඉරියව්වක්ම දක්වයි. සිටගනිද්දී සිටගනිති. වාඩිවෙද්දී වාඩිවෙති. සැතපෙද්දී සැතපෙති. මේ වනාහී තථාගතයන් වහන්සේගේ යමක ප්‍රාතිහාර්යය ඤාණයයි.

මෙම ප්‍රාතිහාර්යය ඒ සක්මනෙහි සක්මන් කරමින් දැක්වූ සේක. තේජෝ කසිණ සමාපත්ති බලයෙනුයි උන්වහන්සේගේ උඩුකයෙන් ගිනිදැල් විහිදුණේ. ආපෝ කසිණ සමාපත්ති බලයෙනුයි යටිකයෙහි ගිනිදැල් විහිදුණේ. ඒ වගේම දිය දහරා නිකුත් වන තැනින් ගිනි දැල් නිකුත් වෙන්නේ නැහැ. මේ ගිනිදැලුත් දියදහරාවනුත් මිශ්‍ර වුණේ නෑ. මේ ගිනිදැලුත් දියදහරාත් බ්‍රහ්මලෝකය දක්වා සක්වල මුවවිට තෙක් පැතිර ගියා. කළ වලින් වතුර ඉසිද්දී විහිදෙනවා වගේ ෂඞ් වර්ණ රෂ්මියෙන් හැමතැනම විහිද ගියා. යන්ත්‍ර නාලයකින් නික්මෙන් රන් රස දහරාවක් මෙන් එක් සක්වල ගැබකින් නැගී බ්‍රහ්මලෝකයේ හැපී ආපසු හැරී සක්වල මුවවිට තෙක්ම රැස් විහිදුණා. එක් සක්වල ගැබක් වහළ මුදුනක් වගේ ඒකාලෝකව බෝධිඝරයක්ව තිබුණා.

එදා භාග්‍යවතුන් වහන්සේ සක්මන් කොට ප්‍රාතිහාර්යය දක්වමින් මහජනයාට ධර්ම කථාව වදාළා. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව සිටින මොහොතේ මහජනයා සාධුකාර පවත්වයි. ඒ සාධුකාර පවත්වන කාලයෙහි ඒ මහාජනයා අතර එක් එක් මනුෂ්‍යයා තුළ පවත්නා සොළොස් වැදෑරුම් චිත්ත ස්වභාවයන් ද විමසා බලන සේක. මෙසේ බුදුරජාණන් වහන්සේගේ සිත ඉතා වේගවත්ව ක්‍රියාත්මක වෙයි. යම් යම් ධර්ම කරුණු කෙරෙහිත්, යම් යම් ප්‍රාතිහාර්යය කෙරෙහිත්, ඔවුන්ගේ සිත්හි ප්‍රසන්නතාවය ඇතිවන්නේ යම් අයුරකින්ද ඒ ඒ අයුරින් ධර්ම කථාව කරන සේක. පෙළහර පානා සේක.

මෙසේ දහම් දෙසමින් පෙළහර පාද්දී මහජනයාට ධර්මාවබෝධය ඇතිවුණා. එහිදී භාග්‍යවතුන් වහන්සේගේ අදහස් වලට අනුව පැන විමසීමේ සමර්ථ කිසිවෙකු නොදැක වෙනත් බුදුරුවක් මවා වදාළා. ඒ නිර්මිත බුදුරුව විසින් ප්‍රශ්න අසනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ විසඳන සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් අසන ප්‍රශ්න නිර්මිත බුදුරුව විසඳයි. භාග්‍යවතුන් වහන්සේ විසින් සක්මන් කරන කල්හී නිර්මිත බුදුරුව අන්‍ය ඉරියව් පවත්වයි. නිර්මිත බුදුරුව සක්මන් කරන කල්හී භාග්‍යවතුන් වහන්සේ අන්‍ය ඉරියව් පවත්වන සේක. මේ අයුරින් පෙළහර පාමින් වදාළ ධර්මය අසා විසිකෝටියක් ප්‍රාණීන් හට ධර්මාවබෝධය ඇතිවුණා.

පෙළහර පාමින් සිටි භාග්‍යවතුන් වහන්සේ අතීතයෙහි බුදුවරු මෙම පෙළහර දක්වා කොතැනක වස් එළඹ සිටියාහුදැයි ආවර්ජනා කොට වදාළා. තව්තිසා භවනේ වස් වැස මාතෘ දිව්‍යපුත්‍රයා හට අභිධර්මය දේශනා කරන බව දැක දකුණු පාදය ඔසොවා යුගන්ධර පර්වතය මත තබා අනිත් පාදය ඔසොවා සිනේරු පර්වතය මත තැබූ සේක. මේ අයුරින් යොදුන් හැට අට ලක්ෂයක් දුර තුන් පියවරකින් වැඩි සේක.

සක්දෙව් රජු භාග්‍යවතුන් වහන්සේ දැක සතුටට පත් වුණා. අපගේ ශාස්තෘන් වහන්සේ පාණ්ඩුකම්බල ශෛලාසනයේ මේ වස් කාලය වැඩසිටින සේක. බොහෝ දෙවියන් හට ඒකාන්තයෙන් උපකාර වනු ඇත. භාග්‍යවතුන් වහන්සේ වස් වැසූ කල්හී අන් දෙවිවරුන්ට මේ ආසනයට අත තැබීමට වත් බැරිවෙනවා. මේ ආසනය හැට යොදුනක් දිගයි. පනස් යොදුනක් පළල්. පනස් යොදුනක් ඝනකමෙන් යුක්තයි. ශාස්තෘන් වහන්සේ වාඩිවූ විට ශෛලාසනය හිස් වෙලා වගෙයි පෙනෙන්නේ. සක් දෙවිඳුගේ අදහස දැනගත් භාග්‍යවතුන් වහන්සේ ශෛලාසනය මත සඟල සිවුර අතුරා වදාළා. එතකොට සක් දෙවිඳු මෙහෙම හිතුවා.

“සඟල සිවුර මෙහි එලූ සේක. උන්වහන්සේ කුඩා තැනක වැඩහිඳින්නට පුළුවනි” කියලා.

භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ අදහස දැන කුඩා පුටුවක් මත එලූ මහා පාංශුකූල වස්ත්‍රයක් මෙන් පඬුපුල් අස්න මත වසා සිටින සේ සිවුර අතුරා එහි වැඩසිටි සේක.

මිනිස් ලොව මහජනයා එකෙණෙහි භාග්‍යවතුන් වහන්සේ නොදැක සඳ අවරට ගිය කලක් මෙන්, හිරු අවරට ගිය කලක් මෙන් අඳුරු ස්වභාවයක් ඇතිවුණා.

“ගතෝනු චිත්තකූටං වා කේලාසංවා යුගන්ධරා
නනෝ දක්ඛේමු සම්බුද්ධං ලෝකජෙට්ඨං නරාසභං’ති

ලොවට උතුම් වූ, නරාසභ වූ සම්බුදුරජාණන් වහන්සේ කොහි වැඩිසේක්ද? චිත්තකූට පර්වතයට වැඩිසේක්ද? කෛලාස පර්වතයට වැඩිසේක්ද? යුගන්ධර පර්වතයට වැඩි සේක්ද? උන්වහන්සේව දකින්නට නැත” කියා හඬා වැළපුණා.

සමහරු මෙහෙම කිව්වා. “ශාස්තෘන් වහන්සේ හුදෙකලා විවේකයටයි ආසා. මෙබඳු ප්‍රාතිහාර්යයක් මෙබඳු මහා පිරිසකට කරලා උන්වහන්සේට ලැජ්ජා හිතුණා වත්ද? වෙන රටකට හෝ ජනපදයකට හෝ වඩින්නට ඇති. ඒකයි දැන් උන්වහන්සේව දකින්නට නැත්තේ” කියලා හඬා වැළපෙමින් මේ ගාථාව කිව්වා.

පවිවේක රතෝ ධීරෝ – නිමං ලෝකං පුනේහිති
න නෝ දක්ඛේමු සම්බුද්ධං – ලෝකජෙට්ඨං නරාසභං.

ලෝක ජ්‍යෙෂ්ඨ වූ නරෝත්තම වූ සම්බුදුරජාණන් වහන්සේව අපට පේන්නේ නැහැ. විවේක සුවයෙහි ඇලුණු උන්වහන්සේ මේ ලෝකයට ආයෙ වඩින්නේ කවද්ද?

මහාජනයා මහාමොග්ගල්ලානයන් වහන්සේ ගෙන් විමසුවා. උන්වහන්සේ මේ කාරණය දැනසිටිද්දිත් අන්‍ය ස්වාමීන් වහන්සේලාගේ ගුණ ප්‍රකට කරවීම පිණිස අනුරුද්ධයන් වහන්සේගෙන් අහන්න කියලා කිව්වා. අනුරුද්ධයන් වහන්සේගෙන් ඇහුවා, භාග්‍යවතුන් වහන්සේ කොහේද වැඩියේ කියලා.

“පින්වත්නි, තව්තිසා දෙව්ලොව පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි වස්වසන්ටයි වැඩියේ. මාතෘ දිව්‍යපුත්‍රයාට අභිධර්මය දේශනා කරන්ටයි වැඩියේ.”

“එතකොට ස්වාමීනී, උන්වහන්සේ ආපහු වඩින්නේ කවද්ද?”

“තුන් මාසයක් පුරා අභිධර්මය දෙසා මහා පවාරණ දවසේ තමයි ආයෙ වඩින්නේ.”

‘ශාස්තෘන් වහන්සේ නොදැක අපි යන්නෙ නෑ’ කියලා එහිම කඳවුරු බැඳගත්තා. ඔවුන්ට වහලෙ වුණේ අහසමයි. එතරම් මහා සෙනඟකට ශරීර පීඩාවක් ඇතිවුණේ නෑ. සෑම තැනම හොඳ පිරිසිදු භූමිතලයක් තිබුණේ.

භාග්‍යවතුන් වහන්සේ පළමුවෙන්ම මහා මොග්ගල්ලාන තෙරුන් ඇමතුවා.

“මොග්ගල්ලානය, ඔබ මේ පිරිසට ධර්මය දේශනා කරන්න. චුල්ල අනාථපිණ්ඩිකයන් ආහාරපාන දේවි.”

ඉතින් ඒ තුන්මාසය තුළ චුල්ල අනාථපිණ්ඩික සිටුතුමා අර මහාපිරිසට කැඳ බත් ආදියත්, බුලත් ආදියත්, සුවඳ තෙල්, මල් ආදී පළඳින දෑත් දුන්නා. මහා මොග්ගල්ලානයන් වහන්සේ දහම් දෙසුවා. පෙළහර පෑම දකින්නට පැමිණුන උදවිය අසන ප්‍රශ්න විසඳුවා. භාග්‍යවතුන් වහන්සේ මාතෘ දිව්‍යපුත්‍රයාට දහම් දෙසීම පිණිස වස් එළඹ සිටි අවස්ථාවේ දස දහසක් සක්වල දෙවිවරු පිරිවරාගත්තා.

තාවතිංසේ යදා බුද්ධෝ – සිලායං පණ්ඩුකම්බලේ
පාරිච්ඡත්තක මූලම්හි – විහාසි පුරිසුත්තමෝ

යම් කලෙක තව්තිසාවෙහි පාණ්ඩුකම්බල ශෛලාසනය මත පරසතු රුක් සෙවණෙහි පුරුෂෝත්තම වූ බුදුරජාණන් වහන්සේ වැඩසිටි සේක් ද,

දසසු ලෝකධාතූසු – සන්නිපතිත්වාන දේවතා
පයිරුපාසන්ති සම්බුද්ධං – වසන්තං නාගමුද්ධනි

දස දහසක් ලෝකධාතු වලින් පැමිණි දෙවිවරු මහමෙර මුදුනෙහි වසමින් සම්බුදුරජාණන් වහන්සේව සතුටින් ඇසුරු කරති.

න කෝචි දේවෝ වණ්ණේන – සම්බුද්ධස්ස විරෝචති
සබ්බේ දේවේ අතික්කම්ම – සම්බුද්ධෝව විරෝචති

සම්බුදුරජාණන් වහන්සේ තරම් කිසි දෙවි කෙනෙක් පැහැයෙන් බැබලුණේ නෑ. සියලු දෙවිවරුන් අභිබවා සම්බුදුරජාණන් වහන්සේමයි බැබලුණේ.

ඔය විදිහට සියලු දෙවිවරුන්ගේ ශරීරාලෝකය මැඩලමින් වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ අසලට තුසිත විමානයෙන් පැමිණි මාතෘ දිව්‍යපුත්‍රයා දකුණු පසින් වාඩිවුණා. ඉන්දක දිව්‍ය පුත්‍රයාත් පැමිණ දකුණු පසින්ම වාඩිවුණා. අංකුර දිව්‍ය පුත්‍රයා වාඩිවුණේ වම්පසිනුයි. මහේශාක්‍ය දෙවිවරුන් රැස්වෙද්දී අංකුර දිව්‍ය පුත්‍රයාට දොළොස් යොදුනක් පස්සට ගිහිනුයි වාඩිවෙන්න ඉඩ ලැබුණේ. ඉන්දක දිව්‍ය පුත්‍රයා එතනම වාඩිවුණා. ශාස්තෘන් වහන්සේ ඒ දෙදෙනා දෙස බැලුවා. ගෞතම බුදුසසුනේ දක්ෂිණෙය්‍ය පුද්ගලයන් හට දුන් දානයෙහි මහත්ඵල බව ඉස්මතු කරවන අදහසින් මෙය වදාළා.

“අංකුරය, ඔබ විසින් මේ දිගු සසරෙහි දස දහස් වසරක් පුරා දොළොස් යොදුනක් දන් වැට හදා මහා දන් දුන්නු කෙනෙක් නෙව. දැන් මේ රැස්වීමට පැමිණ දොළොස් යොදුනකිනුත් ඈතට ගිහිල්ලයි වාඩිවෙන්ට ඉඩක් ලැබුණේ. මෙහෙම වුණේ මක් නිසාද?”

ඕලෝකෙත්වාන සම්බුද්ධෝ – අංකුරං චාපි ඉන්දකං
දක්ඛිණෙය්‍යං සම්භාවෙන්තෝ – ඉදං වචනමබ්‍රවී

සම්බුදුරජාණන් වහන්සේ අංකුර සහ ඉන්දක දෙව්පුතුන් දැක දක්ඛිණෙය්‍ය පුද්ගලයන්ගේ ගුණ මතුකිරීම පිණිස මෙම වචන වදාළ සේක.

මහාදානං තයා දින්නං – අංකුරං දීඝමන්තරේ
අතිදූරේ නිසින්නෝසි – ආගච්ච මම සන්තිකේ

අංකුරය, ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ඔබ විසින් මහා දන් දුන්නා නෙව. ඈත දුර හිඳින්නේ ඇයි? මා අසළට පැමිණෙන්න.

භාග්‍යවතුන් වහන්සේගේ මේ හඬ මහපොළොවට පැමිණුණි. සියලු පිරිස ද ඒ හඬ ඇසුවේය.

චෝදිතෝ භාවිතත්තේන – අංකුරෝ ඒතමබ්‍රවී
කිං මය්හං තේන දානේන – දක්ඛිණෙය්‍යේන සුඤ්ඤතං

වැඩුණු සිත් ඇති භාග්‍යවතුන් වහන්සේ විසින් විමසන ලදුව අංකුර දෙවියා මෙය පැවසුවේය. මා දුන් ඒ දානයෙන් මට කුමක් ලැබුණේද? දක්ෂිණෙය්‍ය උත්තමයන්ගෙන් හිස් වෙලයි තිබුණේ.

අයං සෝ ඉන්දකෝ යක්ඛෝ – දජ්ජා දානං පරිත්තකං
අතිරෝචති අම්හේහි – චන්දෝ තාරගණේ යථා

මේ ඉන්දක දෙවියා ඉතා සුළු දානයක් දුන්නේ. නමුත් තරු පිරිවර මැද සඳක් වගේ අපව ඉක්මවා බබලනවා.

එතකොට බුදුරජාණන් වහන්සේ ඉන්දක දෙව්පුතු ඇමතුවා,

“ඉන්දකය, ඔබ මගේ දකුණු පසින් වාඩිවුණා. ඔබ බැහැරට නොගිහින් වාඩිවී සිටින්නේ කවර පිනකින්ද?”

“ස්වාමීනී, මං සාරවත් කුඹුරක ඉතා ස්වල්ප වූ බීජයක් වපුරපු ගොවියෙක් වගේ. දන්දීමට සුදුසු පුද්ගලයන් නමැති සම්පත මට ලැබුණා.”

මෙසේ පැවසූ ඔහු දක්ෂිණාර්හයන්ගේ ගුණ කියමින් මෙය පැවසුවා.

“උජ්ඣංගලේ යථා ඛෙත්තේ – බීජං බහුම්පි රෝපිතං
න ඵලං විපුලං හෝති – නපි තෝසේති කස්සකං

නිස්සාර වූ කුඹුරක බොහෝ සෙයින් බීජ වැපිරුවත් එයින් මහත් වූ අස්වැන්නක් නොලැබේ. ගොවියා ද සතුටට පත් නොවේ.

තථේව දානං බහුකං – දුස්සීලේසු පතිට්ඨිතං
න ඵලං විපුලං හෝති – නපි තෝසේති දායකං

ඒ විදිහමයි, දුස්සීල වූ පිරිසකට බොහෝ සෙයින් දන් දුන්නත් එයින් මහත් පුණ්‍යඵලයක් නොලැබේ. දායකයාට ද සතුටක් නැත.

යථාපි භද්දකේ ඛෙත්තේ – බීජං අප්පම්පි රෝපිතං
සම්මාධාරං පවෙච්ඡන්තේ – ඵලං තෝසේති කස්සකං

ඉතා සරුසාර කුඹුරක බීජ ස්වල්පයක් රෝපණය කළ නමුත් ඉතා හොඳින් අස්වැන්න ලැබෙන හෙයින් ගොවියාට සතුටක් ඇතිවෙයි.

තථේව සීලවන්තේසු – ගුණවන්තේසු තාදිසු
අප්පකම්පි කතං කාරං – පුඤ්ඤං හෝති මහප්ඵලන්ති

ඒ අයුරින්ම සිල්වත් වූ ගුණවත් වූ අටලෝ දහමින් කම්පා නොවෙන උතුමන් හට අල්ප වූ සත්කාරයක් කරන ලද්දේ නමුත් එයින් මහත්පුණ්‍ය ඵලයක් හටගනී.”

මේ ඉන්දක දිව්‍ය පුත්‍රයා පෙර ආත්මයේ කළ පින කුමක්ද? අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු ගමට පිණ්ඩපාතයේ වැඩියා. මොහු ඉතා සතුටින් බත් හැන්දක් පූජා කළා. නමුත් අංකුරයන් විසින් අවුරුදු දස දහසක් යොදුන් දොළොස් දහසක් දුරට කරන ලද දානයට වඩා මොහුගේ ස්වල්ප දානය මහත්ඵල වුණා.

මෙසේ පැවසූ විට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

“අංකුරය, නුවණින් විමසලාමයි දන් දෙන්නට වටින්නේ. යහපත් කුඹුරෙහි වපුරන ලද බීජය මහත්ඵල උපදවන්නේ එවිටයි. ඔබ ඒ අයුරින් කළේ නැහැ නෙව. ඒ නිසයි ඔබේ දානය මහත්ඵල ඉපැද්දුවේ නැත්තේ.”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවන් වදාළා.

තිණදෝසානි ඛෙත්තානි – රාගදෝසා අයං පජා
තස්මාහි වීතරාගේසු – දින්නං හෝති මහප්ඵලං

කුඹුරුවල තෘණ දෝෂ තියෙනවා වගේ මේ ප්‍රජාවත් රාගය නමැති දොසින් යුක්තයි. එනිසා වීතරාගී උතුමන්ට දෙන දානයයි මහත්ඵල වන්නේ.

තිණදෝසානි ඛෙත්තානි – දෝසදෝසා අයං පජා
තස්මාහි වීතදෝසේසු – දින්නං හෝති මහප්ඵලං

කුඹුරුවල තෘණ දෝෂ තියෙනවා වගේ මේ ප්‍රජාවත් ද්වේෂ නමැති දොසින් යුක්තයි. එනිසා වීතදෝසී උතුමන්ට දෙන දානයයි මහත්ඵල වන්නේ.

තිණදෝසානි ඛෙත්තානි – මෝහදෝසා අයං පජා
තස්මාහි වීතමෝහේසු – දින්නං හෝති මහප්ඵලං

කුඹුරුවල තෘණ දෝෂ තියෙනවා වගේ මේ ප්‍රජාවත් මෝහය නමැති දොසින් යුක්තයි. එනිසා වීතමෝහී උතුමන්ට දෙන දානයයි මහත්ඵල වන්නේ.

තිණදෝසානි ඛෙත්තානි – ඉච්ඡාදෝසා අයං පජා
තස්මාහි විගතිච්ඡේසු – දින්නං හෝති මහප්ඵලං

කුඹුරුවල තෘණ දෝෂ තියෙනවා වගේ මේ ප්‍රජාවත් ආශාව නමැති දොසින් යුක්තයි. එනිසා ආසාව දුරුකළ උතුමන්ට දෙන දානයයි මහත්ඵල වන්නේ.”

මේ දෙසුම අවසානයෙහි අංකුරත්, ඉන්දකත් සෝවාන් ඵලයෙහි පිහිටියා. මහාජනයාටත් ලොකු යහපතක් සිදුවුණා.

ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දෙව් පිරිස මැද වැඩහිඳ මාතෘ දිව්‍යපුත්‍රයා අරභයා කුසල් දහම්, අකුසල් දහම්, අව්‍යාකෘත දහම් ආදී වශයෙන් අභිධර්මය වදාළා. මෙසේ තුන් මාසයම නිරතුරුම අභිධර්මය වදාළා. දන් වළඳන වේලාව පැමිණි කල්හි මා ආපසු වඩින තෙක් මෙපමණ කොටසක් ධර්මය දෙසත්වා කියා නිර්මිත බුදු කෙනෙකුන් මවා හිමාලයට වඩිනවා. නාගලතා දැහැටිවලින් දත් මැද, අනවතප්ත විලෙන් මුව සෝදා උතුරුකුරු දිවයිනට පිඬු සිඟා වඩිනවා. මහා සල් මළුවේ වැඩහිඳ දන් වළඳනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ එතැනට වඩිනවා. භාග්‍යවතුන් වහන්සේට වතාවත් කරනවා. දන් වළඳා අවසානයේ, ‘සාරිපුත්ත, මා විසින් අද මෙතෙක් ධර්මය පැවසුවා. ඔබ තමාගේ අන්තේවාසික භික්ෂූන්ට මෙය පුහුණු කරන්න’ කියා තෙරුන් වහන්සේට ඒ ධර්මය වදාළා.

යමක ප්‍රාතිහාර්යය දැක පැහැදුණු පන්සියයක් කුලපුත්‍රයන් සාරිපුත්තයන් වහන්සේ ළඟ පැවිදි වී සිටියා. ඒ පිරිස ගැනයි මේ වදාළේ. යළි භාග්‍යවතුන් වහන්සේ දෙව්ලොවට වැඩමකොට නිර්මිත බුදුරුව විසින් වදාරණ ලද තැන පටන් ධර්මය දේශනා කරනවා. සාරිපුත්තයන් වහන්සේ අර නවක භික්ෂූන් පන්සිය නමට ධර්මය දේශනා කළා. ශාස්තෘන් වහන්සේ දෙව්ලොව වැඩසිටිද්දීම අර භික්ෂූන් වහන්සේලා පන්සිය නම සප්තප්‍රකරණයම ඉගෙන ගත්තා.

මේ භික්ෂූන් වහන්සේලාගේ අතීත ප්‍රවෘතිය මෙයයි. කාශ්‍යප බුද්ධ කාලයෙහි කිරිවවුලන් වෙලා ඉපිද හිටියා. එක් පර්වත බෑවුමක ඔවුන් එල්ලී හිටියේ. තෙරුන් වහන්සේලා දෙනමක් සක්මන් කරමින් අභිධර්මය සජ්ඣායනා කරන ශබ්දය අසා ඒ හඬට සිත පහදවා ගත්තා. මේවා ස්කන්ධ, මේවා ධාතු වශයෙන් කිසිවක් නොදැන හඬට පමණක්ම සිත පැහැදිලා ඒ වවුල් බවින් චුතව දෙව්ලොව උපන්නා. ගෞතම බුදුරජුන්ගේ කාලය වන තෙක්ම ඔවුන් දෙව්ලොව වාසය කළා. යමා මහ පෙළහර දැක සිත පැහැදුණා. සාරිපුත්තයන් වහන්සේ ළඟ පැවිදි වුණා. හැමට පළමු සප්තප්‍රකරණයම දැනගත් අය වුණා.

ශාස්තෘන් වහන්සේත් මේ ආකාරයෙන් තුන්මසක් පුරා අභිධර්මය වදාළා. දේශනාව අවසානයේ අසූ කෝටි දහසක් දෙවිවරුන්ට ධර්මාවබෝධය ඇතිවුණා. මාතෘ දිව්‍යපුත්‍රයා සෝවාන් ඵලයට පත්වුණා.

මුගලන් තෙරුන් වහන්සේ වෙත පැමිණි පිරිස මෙහෙම කිව්වා.

“ස්වාමීනී, ශාස්තෘන් වහන්සේ මිනිස් ලොවට වඩින දවස අපට දැනුම් දෙන සේක්වා! භාග්‍යවතුන් වහන්සේ නොදැක අපි යන්නෙ නෑ.”

“හොඳයි ඇවැත්නි” කියලා පොළොවෙහි කිමිදුණා. මහාමේරුව පාමුලට පැමිණුනා. මං මහාමේරුවට නගින අයුරු මිනිසුන් දකිත්වා කියා අධිෂ්ඨාන කොට මැණිකක් අමුණන ලද නූලක් මෙන් හැමෝටම පේන්න සිනේරු පර්වතයට නැග්ගා. මිනිස්සුත් උන්වහන්සේව දකින විට ‘අන්න එක යොදුනක් දැක්කා… යොදුන් දෙකක් නැග්ගා…’ කියමින් බල බලා සතුටු වුණා.

හාමොග්ගල්ලානයන් වහන්සේත් ශාස්තෘන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් සිරසින් ඔසොවන්නාක් මෙන් නැගිට වන්දනා කොට මෙසේ පැවසුවා.

“ස්වාමීනී, මහාජනයා භාග්‍යවතුන් වහන්සේ දැකලාම යනු කැමැත්තෙනුයි ඉන්නේ. ආයෙමත් මිනිස් ලොවට වඩින්නේ කවද්ද?”

“මොග්ගල්ලානය, ඔබගේ දෙටු සොහොයුරු සාරිපුත්තයන් කොහෙද ඉන්නේ?”

“ස්වාමීනී, මෙවර වස් වැසුවේ සංකස්ස නගරයේයි.”

“මොග්ගල්ලාන, මං අදින් සත්වෙනි දින මහා පවාරණය පිණිස සංකස්ස නගරද්වාරයටයි බහින්නේ. මා දකිනු කැමති අය එහි පැමිණෙත්වා!

සැවැත් නුවර සිට සංකස්ස නගරද්වාරයට තිස් යොදුනක් දුරයි. එතෙක් මාර්ගයෙහි කිසිවෙකුට මාර්ගෝ පකරණවල අවශ්‍යතාවයක් නැහැ. උපෝසථ සිල් ගෙන ධර්මශ්‍රවණයට යන ලෙසින් පැමිණෙන්න කියා දැනුම් දෙන්න.”

“එසේය, ස්වාමීනී” කියා පිළිතුරු දුන් මහා මොග්ගල්ලානයන් වහන්සේ මහාජනයාට මෙය සැළකළා.

ශාස්තෘන් වහන්සේ වස් නිමා කොට සක් දෙවිඳු ඇමතුවා.

“දෙව්රජ, මිනිස් පියසට යන්නටයි මා සූදානම් වන්නේ.”

සක්දෙව්රජ රනින් කළ පඩිපෙළකුත්, මැණිකෙන් කළ පඩිපෙළකුත් රිදියෙන් කළ පඩිපෙළකුත් මැව්වා. ඒ පඩිපෙල් තුනේ පහළම පඩිය සංකස්ස නගරද්වාරයෙහි පිහිටියා. උඩම පඩිය සිනේරු පර්වත මුදුනේ පිහිටියා. දකුණුපස තිබූ රනින් නිම වූ පඩිපෙල දෙවිවරුන්ටයි වෙන් වුණේ. වම්පස තිබූ රිදියෙන් කළ පඩිපෙල මහාබ්‍රහ්ම රාජයාණන්ටයි වෙන් වුණේ. මැද තිබුණු මැණික් පඩිපෙල භාග්‍යවතුන් වහන්සේ උදෙසායි.

භාග්‍යවතුන් වහන්සේ සිනේරු පර්වත මුදුනෙහි වැඩසිට දෙව්ලොවින් මනුලොව වඩිනා වේලෙහිත් යමා මහ පෙළහර දක්වා උඩ බලා වදාළා. සියළු බඹලොව එකම අංගණයක් වුණා. යට බලා වදාළා. අවීචි නිරය දක්වා එකම අංගණයක්ව පෙනුණා. දිසා අනුදිසා බලා වදාළා. නොයෙක් සක්වල ලක්ෂ ගණන් එකම අංගණයක් වගේ පෙනුණා. දෙවිවරු මිනිසුන්ව දැක්කා. මිනිස්සු දෙවිවරුන්ව දැක්කා. එකිනෙකා මුණගැහුණා වගේ දැක්කා.

භාග්‍යවතුන් වහන්සේ ෂඞ් වර්ණ බුද්ධ රශ්මිය විහිදෙව්වා. එදවස බුද්ධශ්‍රීය දුටු තිස් යොදුනක් පුරා පිරී සිටි ජනයාගෙන් බුදුබව ප්‍රාර්ථනා නොකළ කෙනෙක් නෑ. රන්වන් පඩිපෙළෙන් දෙවිවරු බැස්සා. රිදී පඩිපෙලෙන් බ්‍රහ්මරාජවරු බැස්සා. මැණික් පඩිපෙළින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩමවා වදාළා. පඤ්චසිඛ ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා බේලුවපණ්ඩු වීණාව ගෙන දකුණු පසින් සිට ශාස්තෘන් වහන්සේට ගාන්ධර්වයන්ගේ මධුර වූ දිව්‍ය වීණා ශබ්දයන්ගෙන් පූජා පවත්වමින් බැස්සා. මාතලී රථාචාර්යය තෙමේ වම් පසින් සිට දිව්‍ය සුගන්ධ පුෂ්පමාලාවන් ගෙන නමස්කාර කරමින් පූජා කොට බැස්සා. මහා බ්‍රහ්මයා ඡත්‍රය දැරුවා. සුයාම දිව්‍යපුත්‍රයා සුදු චාමර දැරුවා. භාග්‍යවතුන් වහන්සේ මේ පිරිවර මැද්දෙන් බිමට වඩිමින් සංකස්ස නගරද්වාරයෙන් මහා පෘථිවිය ස්පර්ශ කළා.

සාරිපුත්තයන් වහන්සේත්, ශාස්තෘන් වහන්සේට වන්දනා කොට බුදුසිරිය නරඹමින් මෙම ගාථාව වදාළා.

“න මේ දිට්ඨෝ ඉතෝ පුබ්බේ – න සුතෝ උදකස්සචි
ඒවං වග්ගුවදෝ සත්ථා – තුසිතා ගනිමාගදෝ

තුසිත දෙව්ලොව සිට මිනිස් පියසට වැඩම කළ මෙබඳු මිහිරි වදන් තෙපළන ශාස්තෘන් වහන්සේ වැනි කෙනෙක් මින් පෙර නම් මා දැක නැත. මෙබඳු උතුමෙකු ගැන කිසිවෙකු ගෙන් අසා ද නැත” යනාදියෙන් සතුට ප්‍රකාශ කළා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අද දෙව් මිනිස් හැමෝම භාග්‍යවතුන් වහන්සේව දැක දැක සතුටු වෙනවා.”

“සාරිපුත්ත, මෙබඳු ගුණයෙන් සමන්විත වූ බුදුවරුන් දෙවිමිනිසුන් හට ඉතා ප්‍රිය තමයි.”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ ඉතා මිහිරි ස්වරයෙන් මේ ගාථාව වදාළා.

යේ ඣානපසුතා ධීරා – නෙක්ඛම්මූපසමේ රතා
දේවා’පි තේසං පිහයන්ති – සම්බුද්ධානං සතීමතං

දැහැන් සුවයෙහි රැඳී සිටිනා – උතුම් නුවණින් දිලී සිටිනා
උතුම් නිවනෙහි ඇලී සිටිනා – බුදුවරුන් සිහිනුවණ තිබෙනා
දෙවිවරුත් සිහි කරති තුටිනා

මේ ධර්ම දේශනාව අවසානයේ තිස් කෝටියක් පමණ වූ ප්‍රාණීන් මාර්ගඵල අවබෝධ කළා. සාරිපුත්තයන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පන්සිය නම අරහත්වයට පත්වුණා.
යමක ප්‍රාතිහාර්යය දක්වා දෙව්ලොව වස් වැස සංකස්ස නගරද්වාරයට වැඩම කිරීම සියලු බුදුවරයන් වහන්සේලා අත්නොහැර කරන දෙයක්. එහි දකුණු පාදය පිහිටි තැන අචල චේතිය ස්ථානය නමින් හඳුන්වනවා. ශාස්තෘන් වහන්සේ එහි වැඩහිඳ පුහුදුන් අයගෙන් ප්‍රශ්න අසති. පුහුදුන් අය තමන්ගේ දැනුම පරිදි පිළිතුරු දෙති. සෝවාන් ඵලයට පත්වූ අයට වැටහෙන ප්‍රශ්න පුහුදුන් අයට විසඳන්නට බැහැ. ඒ වගේ එක් එක් මාර්ගඵලයන්ගේ ඉහළ මට්ටම්වලට අනුව වටහාගැනීම ද වෙනස් වෙනවා. මහා මොග්ගල්ලානයන් වහන්සේට විෂය වන කරුණු අනෙකුත් ශ්‍රාවකයන් වහන්සේලාට විෂය වෙන්නේ නෑ. සාරිපුත්තයන් වහන්සේට විෂය වෙන කරුණු අන් ශ්‍රාවකයන්ට විෂය වෙන්නේ නෑ. බුද්ධ විෂයට අයත් කරුණු අන් ශ්‍රාවකයන්ට විෂය වෙන්නේ නෑ.

තථාගතයන් වහන්සේ නැගෙනහිර ප්‍රදේශ ආදී හැම දිශාවක්ම බලා වදාළා. හැම තැනම එකම අංගණයක් මෙන් වුණා. අට දිශාවේ දෙවි මිනිසුන් ද, උඩ දිශාවේ බඹලොව වැසියන් ද, යට දිශාවේ භූමාටු දෙවිවරු ද, යක්ෂ, නාග, ගුරුළු ආදීන් ද වන්දනා කරමින්, “ස්වාමීනී, මේ මේ ප්‍රශ්න වලට විසඳුමක් ගන්නට බැරිවුණා. මේ ගැනත් විමසා බලන සේක්වා” යි පවසන්නට පටන් ගත්තා. එතකොට සාරිපුත්තයන් වහන්සේට මෙහෙම හිතුණා. “ශාස්තෘන් වහන්සේට මෙය වෙහෙසක් නිසා හැමෝටම අවබෝධ වන අයුරෙන් මේ මාර්ගඵල දියුණු කිරීම ගැනත්, රහතන් වහන්සේ ගැනත් විස්තර වෙන ආකාරයේ පැණයක් අහන්නට ඕන” කියලා මේ ගාථාවෙන් විමසුවා.

“යේ ච සංඛාතධම්මාසේ – යේ ච සේඛා පුථූ ඉධ
තේසං මේ නිපකෝ ඉරියං – පුට්ඨෝ පබ්‍රෑහි මාරිස

නිදුකාණන් වහන්ස, අවබෝධ කළ යුතු දේ මුළුමුනින්ම අවබෝධ කළ යම් රහතන් වහන්සේලා සිටිත් ද, ඒ වගේම මෙහි බොහෝ ධර්ම මාර්ගයේ හික්මෙන ශ්‍රාවක පිරිස සිටිත් ද, මෙම අසේඛ – සේඛ උතුමන්ගේ වෙනස්කම් ගැන වදාළ මැනැව.”

එවිට බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රඥාව ප්‍රකට කරවනු පිණිස,

“සාරිපුත්තය, මෙය හේතුඵල දහමින් සකස් වූ දෙයක් බව දකින්න” කියා එම කරුණු විග්‍රහ කරන ආකාරය ආරම්භ කළා. එවිට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉතා අලංකාර අයුරින් ධර්ම දේශනාවක් පැවැත්තුවා. සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වැඩසිට මේ අයුරින් සිංහනාද කළා.

“ස්වාමීනී, කල්පයක් පුරාවට වැස්ස වහිද්දි මෙපමණ වැහි බිංදු ප්‍රමාණයක් මුහුදට වැටුණා. මෙපමණ වැහිබිඳු ප්‍රමාණයක් බිමට වැටුණා. මෙපමණ වැහිබිඳු ප්‍රමාණයක් කඳු මුදුනට වැටුණා කියලා ගණන් කර දක්වන්නට මට පුළුවනි.”

“සාරිපුත්ත ඔබට ඒ අයුරින් ගණන් කරන්නට පුළුවන් සමර්ථකමක් ඇති බව මා දන්නවා” කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා. සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රඥාවට උපමාවක් නම් නෑ.

“ගංගාය වාලුකා ඛීයේ – උදකං ඛීයේ මහං නවේ
මහියා මත්ථිකා ඛීයේ – න ඛීයේ මම බුද්ධියා

ගඟෙහි වැලි අවසන් වුණත්, සයුරෙහි දිය අවසන් වුණත්, පොළොවෙහි මැටි අවසන් වුණත්, මාගේ බුද්ධියෙහි ක්ෂය වීමක් නැත.”

ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේගේ විස්මිත වූ ප්‍රඥාව ගැන මේ අවස්ථාවේදී ගොඩාක් කතා බහ වුණා. බුදුරජාණන් වහන්සේ හැරුණු කොට ප්‍රඥාවෙන් ලෝකයෙහි ඉතාමත් දියුණු මට්ටමේ හිටියේ සාරිපුත්තයන් වහන්සේ තමයි. ඉතා අසීරු ප්‍රශ්න පවා උන්වහන්සේ විස්තර විභාග කරමින් විසඳන්නට දක්ෂයි.

පින්වතුනේ, පින්වත් දරුවනේ, මෙතෙක් අප ඉගෙන ගත් මේ විස්තර හරී පුදුම සහගතයි. අසිරිමත් සිදුවීම් රාශියක් පෙළගස්වා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම නිසා සිදුවන ආශ්චර්ය අද්භූත කරුණු ගැන අපට විග්‍රහ කරන්නට අමාරුයි. ඒවා අයිති බුද්ධ විෂයටයි. සාරිපුත්තයන් වහන්සේටවත් බුද්ධ විෂයට අයිති දේ විස්තර කරන්නට බැහැ නෙව. ආශ්චර්ය අද්භූත ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේව සරණ යන්නට ලැබීම කොයිතරම් වාසනාවක්ද?

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ