ශ‍්‍රී ලංකා මාතාවගේ මිණි කිරුළ බඳු වූ සමනොළ ගිරිහිස සුපිහිටි අප භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් වාම ශ‍්‍රී පාද පද්මය සිහිපත් කරවමින් ඉන්දියාවේ හිමාල ප‍්‍රදේශයෙන් හමු වූ නීල වර්ණ මාණික්‍යමය පාෂාණයක් මත පිහිටුවාලූ ජීවමාන ලෙසින් දිස්වන සිරිපා අනුරුව සහ වසර දෙදහස් ගණනක් ඉපැරණි සෑ රජාණන් වහන්සේ නමකගේ කැණීම්වලදී හමුවූ සිරිපා සලකුණු සහිත මංජුසාවක තැන්පත් ව තිබූ උතුම් ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වඩාහිඳුවන ලද, කඩුවෙල, මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපු පින් බිමේ සිරි ගෞතම සිරිපා මහා විහාරය ගෞතම බුදුසසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය මැයි පළමුවැනි දින පවත්වන්නට යෙදුණු අතර එහිදී සිරි ගෞතම සිරිපා මහා විහාරය නිල වශයෙන් විවෘත කෙරුණේ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතිනි.

එමෙන්ම සිරිපා විහාරයේ එක් පසෙකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ, අංගුලිමාල මහරහතන් වහන්සේ, අානන්ද මහරහතන් වහන්සේ සහ මිහිඳු මහරහතන් වහන්සේ යන මහරහතන් වහන්සේලා උදෙසා තැනවූ මනරම් අරහන්තක මණ්ඩපයත් සිරිපා මහා විහාරයට අධිගෘහිතව වැඩ වෙසන සෝවාන් මගඵලලාභී ආර්ය ශ‍්‍රාවක ශ‍්‍රී සුමන සමන් දිව්‍ය රාජයාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරනු පිණිස තැනවූ දේව මන්දිරයත් විවෘත කිරීම මෙහිදී සිදු කෙරුණා.

ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා මහෝපාධ්‍යාය සහ අමරපුර මහා නිකායේ ශ‍්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වයේ මහා නායක ධුරන්ධර අතිපූජනීය දොඩම්පහළ චන්දසිරි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප‍්‍රමුඛ පින්වත් මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සිදුකෙරුණු මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා විජේදාස රාජපක්ෂ සහ පාඨලී චම්පික රණවක යන පාර්ලිමේන්තු ඇමතිවරු ද සිරිපා විහාර මන්දිරය තනවනු පිණිස බොහෝ උපකාර කළ ශ‍්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ද ශ‍්‍රී ලංකා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා, ශ‍්‍රද්ධා මාධ්‍ය ජාලයේ ගරු සභාපති අධිනීතිඥ සුදත් ජයසුන්දර මහතා ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසක් ද සහභාගී වූවා.