ඔබ මේ ගැන සිතුවෙහි ද? යම් හෙයකින් ඔබ බුදුරජාණන් වහන්සේ නමක් ගැන නොදන්නෙහි නම්, උතුම් බුදුවදනක් අසාත් නැතිනම්, සඟරුවනක් දැකීම තබා සිවුරක්වත් දැක නැත්නම්, මහාසෑයක්, බෝධීන් වහන්සේ නමක් දැක නැත්නම්, කුසල් – අකුසල්, පින් – පව් කියා දෙයක් අසා නොමැති නම්, කොටින් ම කිසි බණපදයක් නොඅසා ඇත්නම් මේ වන විට ඔබ කෙබඳු කෙනෙක් ද? කියා මොහොතක් සිතන්න. එසේ වූයේ නම් මේ සිතෙහි ඇති රාග, ද්වේෂ, මෝහාදී කෙලෙස් සමග පමණක් එක් වූ තිසරණ රහිත ජීවිතය තිරිසන් සමාන ය. වැද්දන් සමාන ය. තවත් කාමුක වූ සුද්දන් පිරිසක් සමාන ය. ලංකාවෙහි විද්‍යමානව පවතින වෙහෙර – විහාර – ස්ථූප වන්දනා, පුද පූජා ආදියෙන් හෙබි සොඳුරු සංස්කෘතිකාංග නොමැති නම් මේ වන විට මෙය තවත් ම්ලේච්ඡ දිවයිනක් පමණි. තවත් යටත්විජිතයක් පමණි. අනේක දුක් කම්කටොලු විඳිමින් පැරණි මුතුන් මිත්තන් මේ දිවයින බේරාගත්තේ කුමක් හෙයින් ද? මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට බුදු සසුන වැඩමවාගෙන නොඑන්නට සිංහල ජාතිය මේ වන විටත් ලොවෙන් අතුගෑවී හමාරය. සිංහලයෝ මිහිඳු මහරහතන් වහන්සේට සදා ණයගැත්තෝ ය.

මෙලක්බිමෙහි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ නොවන්නට ලොවෙහි නිර්මල බුදුවදන් කවුරු නම් දනිත් ද? ඒ ත්‍රිපිටක බුද්ධ වචනය ලක්දිවට දායාද කළෝ මිහිඳු මහරහතන් වහන්සේ ම ය. ලක්වැසියන්ට සුගති රැකවරණයත් මගඵල අමා නිවනත් දායාද කළ මිහිඳු මහරහතන් වහන්සේගේ කෘතගුණ සලකා කෙසේ නම් අවසන් කරන්ට ද?

එහෙත් මෑතකදී ‘බුදුහු ලක්දිව උපන්හ’ යි කියමින් අහස පොළොව නුහුලන මිථ්‍යාවක් උපදවාගත් ශ්‍රමණ වේශධාරී පිරිසක් මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණකඳ ද හෙළාදකින්නට තරම් සැහැසි වී සිටිති. ඒ මිසදිටුවන් හට මිහිඳු මහරහතන් වහන්සේව පෙනෙන්නට බැරිය. අප මිහිඳු මහරහතන් වහන්සේ දෙවනපෑතිස් නිරිඳුන් හට වදාළෝ “සමණා මයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා” “මහරජ, අපි ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වම්හ.” යනුවෙනි. නූතන ව්‍යාජ රහතුන්ට ශ්‍රාවක යන වචනය අප්‍රිය ය. ‘මම රහත් වෙමි, අනාගාමී වෙමි, සකදාගාමී වෙමි, සෝවාන් වෙමි’ ආදී වචන කියමින් තමන්ගේ අවබෝධයක් හුවාපාන්නට කැසකවති. “භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක” යන්න පැවසීමට ඔවුහු විරුද්ධ වෙති. අඳෝමය…! සිංහලයන්ට ගිය කල දසාවක හැටි..!

අපට අනුබුදු කෙනෙකු බඳු අපගේ පරම පූජනීය කළ්‍යාණමිත්‍ර වූ මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් ජීවිතයෙන් ස්වල්පමාත්‍රයක් හෝ ඉගෙන ගන්නට ලැබීම මහත් වාසනාවකි. මහ සයුරේ දියබිඳක් දිවගා මහසයුර ලුණු රසයෙන් යුක්ත බව නුවණැත්තෝ දැනගනිති. එසෙයින් ම අප මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණයෙන් බිඳක් සිතෙහි තවරා උන්වහන්සේ මහ ගුණ සයුරක් බවට නුවණැත්තෝ සිත් පහදා ගනිත්වා! මිහිඳු මහරහතන් වහන්සේ බඳු අසහාය ධර්මදූතයන් වහන්සේ නමක් පිළිබඳ අපට වචනයෙන් වර්ණනා කළ නොහැකිය. කෙටියෙන් පැවසුවහොත් කිවහැක්කේ මහානාම තෙරුන් මහාවංශයෙහිදී උන්වහන්සේ හැඳින්වූ වචනය වන “සත්ථුකප්පෝ” ‘ශාස්තෘන් වහන්සේ සමාන වන සේක’ වශයෙනි. ඊටත් වඩා වර්ණනා කුමට ද?

අපගේ පරම පූජනීය වූ කළ්‍යාණමිත්‍ර වූ මිහිඳු මහරහතන් වහන්සේගේ අසිරිමත් ගුණයට උපහාර පිණිස ඉදිකරන ලද මනරම් මිහිඳු මණ්ඩපය ඒ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ සිරිපා කමල් අබියස වනපස මලක් වේවා!

ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය >>