ඇල්ල, බණ්ඩාරවෙල, කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපු බෝධිපර්වත කඳු මුදුනේ ඉදිවූ ශ්‍රී ඉන්දක සමන් සත්බුදු මහාසෑ විහාරය 2024 අගෝස්තු මස 13 වන දා සිට දෙව් මිනිසුන්ගේ වන්දනා මාන පිණිස විවෘත කරන්නට යෙදුනි.

බුදුවරු ලොව පහළ වීම අතිශයින්ම කලාතුරකින් සිදුවන දෙයකි. අප භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද දීඝ නිකායේ මහාපදාන සූත්‍රයට අනුව ගෙවුණු කල්ප සියය ඇතුළත ලොවට පහළ වූයේ බුදුවරයන් වහන්සේලා සත්නමක් පමණි. ඒ,

  1. විපස්සී භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ (කල්ප 91කට පෙර)
  2. සිඛී භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ (කල්ප 31කට පෙර)
  3. වෙස්සභූ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ (කල්ප 31කට පෙර)
  4. කකුසඳ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ (මේ මහාභද්‍ර කල්පයේ)
  5. කෝණාගමන භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ (මේ මහාභද්‍ර කල්පයේ)
  6. කාශ්‍යප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ (මේ මහාභද්‍ර කල්පයේ)
  7. ගෞතම භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ (මේ මහාභද්‍ර කල්පයේ)

ඒ සත්බුදුරජාණන් වහන්සේලාගේ නාමයෙන්, ඒ සත්බුදුරජාණන් වහන්සේලාට උපහාර පිණිස, ඒ සත්බුදුරජාණන් වහන්සේලාට පූජාවන් පවත්වා අපමණ පින්ඵල නෙළාගනු පිණිස ය මෙම උතුම් සෑරජාණන් වහන්සේත් අත්‍යලංකාරයෙන් සුශෝභිත වූ විහාර මන්දිරයත් ඉදිකරන්නට යෙදුණේ.

මෙම සත්බුදු මහාසෑ විහාරය විවෘත කිරීම නිමිත්තෙන් අගෝස්තු 13 දා සිට 19 වන දා දක්වා පුරා සතියක් නානාවිධ පූජාවන් සිදුකෙරුණේ බොහෝ දෙනෙකුගේ ජීවිතයට අප්‍රමාණ පින් රැස් කර දෙමිනි. ඒ අතර, සත්බුදුරජාණන් වහන්සේලාගේ ජීවන චරිතය ඇසුරෙන් පැවැත්වුණු ධර්ම දේශනා, පහන් ආලෝක පූජා, ධජ පතාක පූජා, ගිලන්පස පූජා, සුවඳ දුම් පූජා, කිරිආහාර පූජා, කිලෝ 1000කට අධික ප්‍රමාණයකින් මල් වරුසා ගුවනින් ඇදහැලෙන ලෙස සිදුකෙරුණු පුෂ්ප පූජා ද විය. පින් කැමැත්තෝ මේ සියලු පින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

මේ මහාසෑරජාණන් වහන්සේ සහිත විහාර මන්දිරය ඉදිකිරීම සඳහා මූලික සංකල්පය හා සැලසුම් සකස් කොට, අවවාද අනුශාසනා ලබාදෙමින් මගපෙන්වූ අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ වෙනුවෙන් ඇප කැප වූ සියලු මහා සංඝ රත්නයටත් මේ ගෞතම බුදු සසුනේදී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!

එමෙන්ම, මේ සෑයේ සහ විහාර මන්දිරයේ ඉදිකිරීම් සඳහාත්, සතියක් පුරා පැවැත්වුණු පින්කම් මාලාව සඳහාත් කාලයෙන්, ධනයෙන්, ශ්‍රමයෙන් දායක වූ දෙස් විදෙස්හි වසන සියලු සැදැහැවත් පින්වතුන්ටත් මේ ගෞතම බුදුසසුනේදී ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිස මේ මහානීය පින හේතු වාසනා වේවා!

ඔබත් මේ මනරම් සත්බුදු මහාසෑ විහාරයට පැමිණ දැකබලා වන්දනාමාන කරගන්න. සතුටින් අනුමෝදන් වන්න. කල්ප ගණනකටත් දුර්ලභ වූ බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජාවන් පවත්වන්න. ඔබේ ජීවිතයට මතු සග මොක් සැප සදන පින් රැස් කරගන්න..!

ඡායාරූප එකතුව