සිඟිති රාහුලයන් දිව ආයේය. යශෝදරාවන් වෙත තුරුළු විය. ඈත අහස දෙස බලා සිටි යශෝදරාවන්ගේ දිගු පුළුල් නෙත් සඟලින් කඳුළු දහරා සෙමින් ගලා බසිනා අයුරු රාහුලයන් බලා සිටියේය.
“මෑණියනි, තවමත් ඇයි ඔය හඬන්නේ…? දැන් අප පියාණන් ආවා නොවේද?”
යශෝදරා කඳුළු පිසදා ගත්තාය. සිනහසෙන්නට වෑයම් කළාය. තම සිඟිති පුතු තුරුළු කොට ආදරයෙන් සිප ගත්තාය. රාහුලයන් දෙස නෙතු පිය නොසොල්වා බලා සිටියාය. රාහුලයන් සුරතල් බසින් යශෝදරා අමතන්නට විය.
“මෑණියනි…, ම පියාණන් වස්ත්‍ර හැඳ තිබෙන්නේ අමුතු විදිහටයි. ආභරණ පැළඳීමකුත් නැහැ. අපගේ මෙන් සිනිඳු සළුපිළිත් නැහැ. රන් මිරිවැඩිත් නැහැ. රන් පළඟකුත් නැහැ. මැටි බඳුනෙහි තමයි වළඳන්නේ. අනේ මෑණියනි…. පවසන්න මට…. ම පියාණන්ට මක් වුණාද?”
මෙය අසා සිටි ගෞතමිය ද ළඟට පැමිණ වාඩි වූවාය. ඕ තම මුණුබුරාගේ වදන් අසා පිළිවදන් දුන්නාය.
“ප්‍රිය රාහුලයෙනි, තොප පියාණන් දැන් රජෙක් නොවෙයි. දැන් හේ ශ්‍රමණයෙක්…! මාගේ පුත්‍රය… ශ්රමණයන් හඳින්නේ ඔවැනි වස්ත්‍ර තමා. ශ්රමණයන් වසන්නේ මහා වනයේ. රුක් සෙවණෙහි බවුන් වඩනවා. ම පුතු දැක තිබෙනවා නෙව අහසේ පියාසළන සියොතුන්. අන්න එවැනි නිදහස් සිතින් වසන පිරිසටයි ශ්රමණයන් කියන්නේ…”
යශෝදරා තම පුතු තුරුළු කරගත්තාය. දෑත් යුග පුතු වටා දමා ළං කරගත්තාය.
“රාහුලයෙනි, මිත්තනියන් පැවසූයේ ඇත්ත. දැන් තොප පියාණන් අයිති වන්නේ ශ්‍රමණයන්ගේ පිරිසටයි.”
භාග්‍යවතුන් වහන්සේගේ ආගමනයෙන් පසු මුළු කිඹුල්වත් නුවරම වෙනස් වී ගියේය. මුලදී ශාක්‍ය වංශිකයන් කිසියම් නොරිස්සුම් ගතියකින් සිටියද, අහසේ පෙළහර පානා භාග්‍යවතුන් වහන්සේ දුටු විට ඔවුන්ගේ සිරස නැමී ගියේය. සිත් පහන් වී ගියේය. එනිසාම ශාක්‍ය වංශයෙහි බුදුවරයෙකු පහළ වීම ගැන ඔවුහු අමන්දානන්දයට පත්ව සිටියහ.
සිඟිති පුතු දෙස බලා සිටි යශෝදරා කිසියම් ශෝකී සරින් ගීයක් මුමුණන්නට පටන් ගත්තාය.
සත් වසරක් පුරා ඈත දෙස බැලුවා පුතේ
බොඳ වී ගිය සිහිනයකින් මට පෙනුනා පුතේ
දුක් ලැතැවුල් පිස දමනා සුළඟක් සේ පුතේ
ඔබ පිය යළි ආවා මෙහි සමණ වෙසින් පුතේ
අහස් තලේ රෑ අහසේ තරු බබලයි පුතේ
පුන්සඳ එ් තරු වටකොට දිළෙයි මගේ පුතේ
කහවත් පෙරවූ සමණන් පිරිවර කොට පුතේ
බබලන අප මුනිඳාණන් වඩිනව මයෙ පුතේ
එවිට රාහුලයන් යළිත් සුරතල් බසින් අමතන්නට පටන් ගත්තේය.
“මේ… මේ… මෑණියනි… අනේ… මෑණියනි… ඉතින් අප පියාණන් යළි මෙහි කැඳවාගෙන එමුකෝ…” ගෞතමී බිසව රාහුලයන්ට මෙසේ පැවසුවාය.
“පුත රාහුලයෙනි, තොපට මතකද…. එදා එ් තොප පියාණන්…. එ් අපගේ ශාක්‍ය මුනිඳාණන් අහසට නැඟී ගත් අයුරු…! තොපට මතකද එදා උන්වහන්සේ අහසෙහි සක්මන් කළා… උන්වහන්සේගේ සිරුරෙන් රන්වන් රැස් විහිදුණා. ගිනි දැල්ලෙ පාටයි. නිල්වන් සිහින් දිය දහරා සිරුරෙන් නික්ම ගියා…. කිම… තෙපි නොදුටුවහුද?”
සිඟිති රාහුලයන්ගේ දෙනෙත ප්‍රීතියෙන් කුල්මත් විය. පියකරු සිනහවක් මුවෙහි දිස්විය. විස්මිත නෙත් විදහා ගෞතමිය දෙස බලා සිටියාය.
“මිත්තනියනි,….. ඇත්ත…! එය නම් හරිම අපූරුයි. මාත් ආසයි අහසට පැන නඟින්ට… මාත් ආසයි පෙළහර පාන්නට… ම පියාණන් එය මට උගන්වාවි නොවේද?”
ගෞතමී බිසොවත්, යශෝදරාවනුත් සිනහ සෙන්නට පටන් ගත්හ.
“එසේ නම් මගේ රාහුලයනුත් පෙළහර පාන්නටයි යන්නේ….” කියමින් යශෝදරා රාහුලයන් තුරුළු කොට සිපගත්තාය.
“යශෝදරා…. අපගේ සිදුහත් කුමරා උපන් දා සතර මහා නිධානයන් පහළ වුණා. නේමිත්තකයන් පවසා සිටියේ චක්‍රවර්තී රජෙකුට එ්වා පහළ වන බවයි…. යශෝදරා…. මට මතකයි…. මුලින්ම අනාවැකි පැවසූයේ අපේ අසිත ඍෂිවරයාණන්… ඔහු මාළිගාවට පැමිණ සිඟිත්තා වඩා ගත්තා. එ් වෙන තුරුත් මෙතරම් බරපතල දෙයක් අප දැන සිටියේ නෑ. හැබැයි මහාමායාවන් ලුම්බිණියෙහිදී දරු බිහි කළේ සිටගෙන නිසාත්, දරුවා පියවර තැබූ නිසාත් අප සිටියේ කිසිවක් අදහාගත නොහැකිවයි…. ඉතින් යශෝදරා…. ඔහු සුදොවුන් නිරිඳුන්ට සිඟිත්තාගේ සිරුරෙහි පිහිටා ඇති මහා පුරිස් සළකුණු එකිනෙක පෙන්වා දුන්නා” කියමින් ගෞතමී බිසව සතුටු කඳුළු වැගිරුවාය. යළිත් දොඩමළු වූවාය.
“එසේය… යශෝදරා… මට තවමත් මතකයි. එදා අසිත කියා සිටියා ‘මේ… මේ බලන්න… මේ සිඟිත්තාගේ නේත්‍ර යුග්මය ඉතා විශාලයි…. පුළුල්… මේ බලන්න…. සිරුරෙහි ලොම් දක්ෂිණාවෘත්තව කැරකී තිබෙන අයුරු…. මේ බලන්න… දත් පිහිටා ඇති අයුරු…’
ඉතින් යශෝදරා… ඔය අයුරින් අසිත ඍෂීන් සිඟිති පුතු ගැන කරුණු දක්වද්දී අප විස්මයට පත්වුණා. අදහාගත නොහැකි වුණා. මා ගත කිළිපොලා ගියා. මේ සිටින්නේ මේ කල්පයෙහි සම්බුද්ධත්වයට පත්වන මහා පින්වත් දරුවෙක්ය කියා කියද්දී අප සියල්ලන් නිරුත්තරව මුහුණට මුහුණ බලාගත්තා.”
“එතකොට මෑණියනි…. චක්‍රවර්තී රජු වන බවට අසිත ඍෂීන් අනාවැකි නොපැවසුයේද?”
“නැත යශෝදරා! ඔහු එවැන්නක් පැවසූයේ නැහැ… එය පැවසුයේ වෙන තැනකදී… අප කුමරුන්ට නම් තබන්නට බ්‍රාහ්මණයන් කැඳවූවා නේ… ඔවුන් පවසා සිටියේ ගෘහවාසයේ රැඳුණොත් සක්විති රජ වෙනවා කියලයි. අබිනික්මන් කළොත් සම්බුද්ධත්වටය පත්වෙනවා කියලයි…. හැබැයි එදාත් කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා නම් එකහෙලා කියා සිටියේ සම්බුදුබවට පත්වෙන බවයි.”
යශෝදරාගේ තුරුළින් මිදී ගිය රාහුලයන් සඳළු තලයෙහි සෙමෙන් සක්මන් කරමින් බිමට නෙත් යොමා ගනිමින් මෙය පැවසූයේය.
“මෑණියනි…. මේන්න බලන්න…. එදා ම පියාණන් මේන්න මේ අයුරිනුයි සක්මන් කරමින් වැඩියේ…. වටපිට බැලුවේ නැහැ…”
එවිට යශෝදරා මෙසේ පැවසුවාය.
“මගේ පෙම්බර පුත්‍රය… එසේය…. දැන් තොප පියාණන් මහා මුනිවරයාණ කෙනෙකි. තොප දැන් කළ යුත්තේ චක්‍රවර්තී රජ කෙනෙකු වීමයි. එවිට මේ කිඹුල්වත් පුරවාසීන්ට මෙන්ම ලෝවැස්සන්ටම සුඛිත මුදිතව සිටිය හැකිය. පියාණන්ට පහළ වූ සතර මහා නිධානය අයිති වන්නේ ම පුතුට නොවේද?”
“එසේය… අදරැති මුණුබුර, තොප සක්විති රජ වීම අගනේය… පියාණන්ගෙන් එ් සතර මහා නිධානය ඉල්ලා ගත යුතුය. එය තොපගේ දායාදයයි.”
නිග්‍රෝධාරාමයේ වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ ප්රමුඛ භික්ෂු සංඝයා කිඹුල්වත්පුර පිඬු සිඟා වඩිමින් දහම් චාරිකායෙහි හැසිරුණු සේක. එදා සුදොවුන් රජුගේ මාළිගය ඉදිරියෙන් භාග්‍යවතුන් වහන්සේ වඩිනු දුටු යශෝදරා රාහුලයන් කැඳවා පෙන්වා සිටියාය.
“මා පෙම්බර පුත… අන්න…. අපගේ පින්වත් සමණිඳු වඩිනවා…. ගොහින් තොප දායාදය වන සතර මහා නිධානය ඉල්ලා ගන්න….”
සිඟිති රාහුලයන් වහා උඩු මහලින් බැස ගත්තේය. මාවතෙහි දිව ගියේය. භාග්‍යවතුන් වහන්සේගේ සුළැඟිල්ල අල්ලා ගත්තේය. භාග්‍යවතුන් වහන්සේ දෙස බලමින් සිඟිති මුව උල් කර ගනිමින් සුරතල් බස් දොඩන්නට පටන් ගති.
“ශ්රමණයන් වහන්ස…. ඔබේ මේ සෙවණැල්ල මා හට ඉතා සැපයි…..”
භාග්‍යවතුන් වහන්සේ රාහුලයන් ඇමතූ සේක.
“කිම ප්‍රිය රාහුලයෙනි…. මෙහි ආයේ මක් නිසාද?”
“ශ්රමණයන් වහන්ස… ඔබ මට දායාදය දෙනවා නේද?”
භාග්‍යවතුන් වහන්සේ නිහඬ වූ සේක. යශෝදරා සඳළුතලයෙහි සිට මාවතෙහි වඩින පිය පුතු දෙස ආදරයෙන් බලා සිටියාය. රාහුලයන් ප්‍රීතියෙන් යන අයුරු දුටු ඇගේ සිතට මහත් ආඩම්බරයක් හටගති. රාහුලයන් භාග්‍යවතුන් වහන්සේගේ අල්ලා ගත් සුළැඟිල්ල අත්හැරියේ නිග්‍රෝධාරාමයට ගිය පසුවය. අරමට පිවිසි රාහුලයන් වටපිට බැලුවේය. ‘හා…! මෙහි හැමෝම එක වගෙයි. හැමෝම ඉන්නේ අමුතු වස්ත්‍ර දරාගෙන….. හිසකෙස් කපලා…. හැමෝටම මැටි බඳුන් තියෙනවා…. හැමෝම සතුටෙන් ඉන්නවා…. බිම වාඩි වී දෑස් වසාගෙන පාඩුවේ ඉන්නවා.’
රහතන් වහන්සේලා රාහුලයන්ට මහත් කරුණාවෙන් සැළකූහ. පොදුවේ සියලු භික්ෂූන් වහන්සේලා රාහුලයන්ට ඇලුම් කළහ.
“හා! පින්වත් රාහුල කුමරුවෙනි…. හරීම අගෙයි! එසේ නම් තොපත් මෙහි පැමිණියා….?”
“එසේය…. මාත් ආවා….”
“පින්වත් කුමරුනි…. දැන් මේ සිටින්නේ තොප පියාණන් නොවේ….! තොපගේත් අපගේත් භාග්‍යවතුන් වහන්සේය…. එනිසා උන්වහන්සේව ඇමතිය යුත්තේ ‘ශ්රමණයන් වහන්ස’ කියා නොවේ…. ‘භාග්‍යවතුන් වහන්ස’ කියාය.”
එවිට එක්තරා භික්ෂුවක් රාහුල කුමරු ඇමතීය.
“පින්වත් රාහුල කුමරුනි…. අන්න භාග්‍යවතුන් වහන්සේ තොප අමතනවා….”
රාහුලයන් වහා දිව ගියේය. භාග්‍යවතුන් වහන්සේ ඉතා සන්සුන් ලෙස භාවනා ඉරියව්වෙන් වැඩසිටි සේක. උන්වහන්සේ අසලින්ම වැඩසිටියේ සාරිපුත්ත මහරහතන් වහන්සේය. භාග්‍යවතුන් වහන්සේ රාහුලයන් ඇමතූ සේක.
“පින්වත් රාහුලයෙනි… කිම…. තෙපි ආපසු නොයන්නහුද?”
“එසේය භාග්‍යවතුන් වහන්ස…. මම් යළි නොයන්නෙමි…”
“එ් කිමැයි රාහුලයෙනි….? එසේ නම් තෙපි ශ්‍රමණයෙක් වන්නහුද?”
“එසේය භාග්‍යවතුන් වහන්ස….. මම් ද ශ්‍රමණයෙක් වන්නෙමි…”
“පින්වත් රාහුලයෙනි… තෙපි තවම ළදරු ය… සිලිටි ය… සියුමැලි ය… ශ්‍රමණයෙක් වීම ඉතා අසීරුය. හිසැ කෙහෙ ඉවත් කළ මනා ය. රළු කහවත් පෙරැවුව මනා ය. මැටි පාත්‍රයක් ගෙන ඇවිද පිඬු සොයාගත මනා ය. රුක් මුල් හි රැය පහන් කළ මනා ය.”
“භාග්‍යවතුන් වහන්ස…. කම් නැත… මම එයට කැමැත්තෙමි.”
එවිට භාග්‍යවතුන් වහන්සේ මඳ සිනහ පහළ කළ සේක. ළදරු රාහුලයන්ගේ මොළකැටි තෙපුල් ඇසූ සාරිපුත්තයන් වහන්සේ ප්‍රමුදිත වූහ.
“භාග්‍යවතුන් වහන්ස…. මේ සත් හැවිරිදි ළදරු තෙමේ එ්කාන්තයෙන්ම මුහුකුරා ගිය වදන් තෙපළයි. එ්කාන්තයෙන්ම මෙතෙමේ සොඳුරු ශ්‍රමණයෙක් වනු ඇත.”
“එසේ වී නම් සාරිපුත්තයෙනි…. ඔය දරු ශ්‍රමණභාවයට පමුණුවව්!”
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ