ත්පලා…. අනේ අක්කණ්ඩි…. කෝ මෙහාට පැමිණෙන්නකෝ… මා මෙතන අසුන් ගන්නම්. අද උදෑසන පටන් මගේ හිස කසනවා. උකුණන්ගෙන් තමයි මේ හිරිහැර. අනේ අක්කණ්ඩි… මට උදව් කරන්න. මේ උකුණන් බලනවාද?” උත්පලා කොක්හඬලා සිනාසුණාය. ඈ වසුන්දරා දෙස ආදරයෙන් බැලුවාය.

“හනේ… වසුන්දරා… නුඹ තවමත් කුඩා එකියක් වගෙයි. මා දුටුවා ඊයේ කෙළි සෙල්ලමෙන් නුඹ කල් යවනවා. ඇත්තට වසුන්දරා නුඹ දැන් බිරිඳක්! ඉස්සර වගේ සෙල්ලමෙන් කල් ගෙවන්න බෑ. අපි දෙන්නම වරදත්තගේ සම බිරින්දෑවරු නොවෙයිද?”

“ඔය… ඔය… ඉතින් මං අක්කණ්ඩිට කිව්වේ උකුණන් බලන්නනේ…? අපගේ වරදත්තයන් මේ මැද්දට කැඳවා ගන්නේ ඇයි?” කියමින් ඕ සුරතලයට කෙඳිරි ගෑවාය.

“නෑ වසුන්දරා… මා කීවේ දැන් නුඹ ගර්භනියක්. ඇයි නුඹ දන්තාගේ දැරියන් සමඟ කුඩා එකියක් වගේ සෙල්ලම් කළේ…? දැන් ටිකෙන් ටික එයින් මිදිය යුතුයි. හා…! කමක් නෑ. කෝ එහෙනම්… මෙහෙට එන්න. මෙහෙන් අසුන් ගන්න. කෝ… හිස මෑත් කරන්න… මා උකුණන් බලන්නම්…”

වරදත්ත සොර දෙටුවෙකි. නමුත් කඩවසම් තරුණයෙකි. ඔහුට සුළු කලකට පෙර ඉතා රූමත් බිරිඳක් හමු වූවාය. ඈ තමයි උත්පලා. ඇයට දරුවන් නැති නිසාවෙන් පුෂ්කර්ගංජයේ සිට වෙනත් කෙල්ලක රැගෙන ආවේය. ඈ වසුන්දරා. දෙදෙනාම මනස්කාන්ත රූප සෝභාවකින් යුක්තයි. උත්පලා වසුන්දරාට කිසි වෙනස්කමක් නොකළාය. ඉතා ආදරයෙන් සැළකුවාය. එනිසාම ස්වාමියාගේ සම බිරින්දෑවරුන් ලෙස සිටින මේ දෙදෙනා සතුටින් කල් ගෙවූහ.

උත්පලා වසුන්දරාගේ හිසෙහි සිටි උකුණන් සොයන්නට පටන් ගත්තාය. දෑස් විවර කොට ඈත අහස දෙස බලා සිටි වසුන්දරා සෙමෙන් සෙමෙන් ගීයක් මුමුණන්ට පටන් ගත්තාය.

“ම්… ම්… ම්… රත්තයියෝ හෝ රත්තයියෝ
කන්ගන්මාලා හෝ කනවාලී
නාඛුන් ඇන්නැයි ඇයිදෝ නුඹ ආවේ….
සේල රජන් දුන් කෝස්සල පට දුන්
කුම්කුම රඟදුන් කෝමලි කෝ….”

“ඈ… වසුන්දරා…? මේ…. මේ…. නුඹේ හිසේ ලොකු පැලුම් තුවාලයක් මොකද? නුඹට මක් වුණාද?”

වසුන්දරා සුසුම් හෙළුවාය. තවමත් සොළාස් වියෙහි සිටින ඇය දුක් මුසු ස්වරයෙන් මුමුණන්ට පටන් ගත්තාය.

“අක්කණ්ඩි…. මට කුඩා අවදියේ ඉඳන් මව් සෙනෙහස ලැබුණෙ නෑ. දවසක් මයෙ අම්මා මා වඩාගෙන හිඳිද්දී අපේ අපුච්චා අම්මාට හොඳටෝම බැණ වැදුණා. අම්මත් රණ්ඩුවෙ පැටළුණා. අපුච්චා අම්මට ගහන්න පැන්නා. මං වඩා සිටි නිසා මාව ඇදලා අරන් ඇඳට වීසි කළා. ඇඳ විට්ටමේ මගේ ඔළුව වැදුණා. මට සිහි නැතිවුණා….. අපේ අපුච්චා සතෙක් වගේ. … මයෙ අම්මව මරන්න ඇඟට පැන්නලු. අම්මා ගෙදරින් පැනලා ගියා. ඊට පස්සේ කිසී වගක් අපි දන්නෙ නෑ අක්කණ්ඩි. අත්තම්මා තමයි මට මේවා කීවේ.”

උත්පලා නිහඬව මෙය අසා සිටියාය. කිසිවක් නොදෙඩූ ඈ ටික වේලාවකින් දොඩමළු වූවාය.

“වසුන්දරා… අනේ නැගනියේ… ම… මයෙ හිසේ ඇම්මක් හැදුණා. මොකක්දෝ අසනීප ගතියක්. මං ගිහින් ස්වල්ප වෙලාවක් හාන්සි වෙන්නම්.”

උත්පලා ඇඳෙහි වැතිර ගත්තාය. නෙත් යුග පියා ගත්තාය. මෙතෙක් කලක් පුරා මතකයෙන් බැහැර කරන්නට උත්සාහ කළ ඒ වේදනාකාරී අතීතය යළිත් තමා අභියස දිස්වන්නට විය.

“ඒයි….! වේසාවී… දැන ගනින්…. අඩා…. පට්ටබැල්ලී…. කලින් සැමියාට හොරෙන් තී ගැබ්ගත්තා. දැන් ඒ ගැන වගක් නෑ. දැන් තී පච දොඩනවා. තිගේ අඟර දඟර මං දන්නවා. මට දැන් මේ කෙලීවත් සැකයි….. මේකි මට ජාතක වුණා වෙන්න බෑ…. පට්ට බැල්ලී… මං තී මෙතනම බාවනවා…. මෙතරම් මිනිස්සු මරපු මගේ අතින් තී මරණ එක සුළු දෙයක්….”

“ජයසේන…. නුඹට හෙණ ගහන්ට ඕන. මං වේසාවියක් නොවෙයි. කරදරයේ වැටිච්ච ගැහැණියක් විතරයි. ඒයි ජයසේන…. මේ කෙලී නුඹේ නොවේ නම් වෙන කාගෙද?”

“ආහා….! එතකොට තී ශ‍්‍රාවස්ථියේ ඉඳන් රාජගෘහයට තනියෙන් ආවේ ඒ?”

දෑස වසා සිටි උත්පලාගේ හදවත ගැහෙන්නට විය. ජයසේනගේ සුවිසල් රතු දෑස්. ඔහුගේ කාලවර්ණ මුහුණ. මත්පැන් පානයෙන් හමනා දුගඳ. දාඩිය හා මුසුවී සිරුරෙන් හමනා දුගඳ. දත්කූරු සපමින් බැණ වදින අයුරු. ජයසේන ඇඟිලි විදහාගෙන තමා වෙත පනින අයුරු. වහා පස්සට පැන පලා ගිය අයුරු ඇයට සිතුවම් පටක් සේ සිහිපත් වන්නට විය.

“එතකොට දෙයියනේ…. මට මේ මොකක්ද වුණේ…? ඒ මරුමුස් කාලකණ්නියාගෙන් බේරිලා පැනලා ආවා. අවුරුදු ගාණක් හුදෙකලාවේ ගත කළා. ඇත්තෙන්ම මං වරදත්තගේ බිරිඳ වුණේ කැමැත්තෙන් නොවෙයි. මොනා කරන්නද…? එතකොට මේ වසුන්දරා එදා අර ඇඳේ වැටුණු මගේ දුවද…? …. එතකොට වසුන්දරාගේ අම්මද මං…? එතකොට අම්මයි දුවයි එකම ස්වාමියාගේ බිරින්දෑවරුද…? මොකක්ද මේ මට වුණේ….? මං කාටද මේවා කියන්නේ….?”

උත්පලා බොහෝ වේලාවක් ඉකි ගසමින් හැඬුවාය. ඈට නොදැනීම නින්ද ගියාය. ඈ අවදිවූ විට සියල්ල අමතක විය. නැවතත් සිත හදාගෙන ඇය ජීවිතයට මුහුණ දෙන්නට සිතා ගත්තාය. එමෙන්ම වසුන්දරාට මේ වගක් නොපවසන්නට ඕ වගබලා ගත්තාය.

දිනක් වසුන්දරා උත්පලාට අපූරු යෝජනාවක් ගෙනාවාය.

“අක්කණ්ඩි… මං හිතාන ඉන්නේ අපේ අත්තම්මලෑ ගෙදර යන්න. නුඹත් එනවා නේද?”

මෙය ඇසූ සැණින් උත්පලා තැති ගත්තාය.

“න්… නෑ…. නෑ…. ව….. වසුන්දරා…. නුඹ යන්ට. මට සනීප මදි.”

වසුන්දරා කොක් හඬලා සිනාසුණාය.

“ආ… ඒ මොකෝ….? අක්කණ්ඩි එක පාරටම අසනීප වුණේ…. මට වගේ දරුවෙක් ලැබෙන්නද?”

“න්…. නෑ… වසුන්දරා… මට අමුතුම හිසරදයක් මේ තියෙන්නේ… ඇඟට පණ නෑ.”

වසුන්දරා යළි යළිත් උත්පලාට පෙරැත්ත කළාය. ගමනට එක් වන ලෙස බලකර සිටියාය. අන්තිමේදී උත්පලා එයට එකඟ වූවාය.

එදින වරදත්තයන් ද ගමනට එක් විය. හේ සොර දෙටුවෙකි. ඔහු විසින් නොයෙක් වර සොරාගන්නා ලද අබරණ වලින් මේ බිරින්දෑවරු සැරසී ගත්හ. සරසන ලද ගොන් කරත්තයකින් ගමනට පිටත් වූහ. ඔවුන් සදාගත් මසන් අච්චාරුවක රස විඳ විඳ සතුටින් ගමන් ඇරඹූහ. වසුන්දරා ගීයක් ගයන්නට පටන් ගත්තාය.

“රාන්…. රන් රන් තිලක නගා මේ නළලේ
රාන්…. රන් රන් කොමළ සිනා වත කමලේ

රාන්…. රන් රන් සෙනෙහ පපා ඔබ තුරුලේ
රාන්… රන් රන් බිළිඳු බබා මගෙ තුරුලේ

මාන්…. මන් මන් තුටින නගා රුව රැඳුනේ
සාන්…. සන් සන් තොසින වඩා මුදු වදනේ

පාන්…. පන් පන් හිඳින ලියා ගී දැහැනේ
කාන්… කන් කන් වැදෙන සොබා සුව දැනුනේ”

“ෂා…! වසුන්දරා කවද්ද මෙතරම් ලස්සන ගීයක් රැසැයුයේ? ඕන්න…. එහෙනම් මං ගානේ…. මේන්න මේ පැණි වළල්ල… හොඳේ…” කියමින් වරදත්ත වසුන්දරාට පැණි වළල්ලක් දිගු කළේය.

උත්පලා සිටියේ අඩ සිහියකින් මෙනි. පාරේ ඉදිරිපස දුටු ඈ එක්වරම තැති ගත්තාය. ‘ආහ්… එතකොට මෙයාලා මේ…. මේ….. යන්නේ පාවා නගරයට යන මාවතේනේ…. පුෂ්කරගංජයටද? මා කලින් සිටියේ එහෙනේ…. එතකොට…. මේ ඉන්නේ…. ඇත්තටම…. ඒ මගේ දෝණිද…? වෙන්න බෑ…! අර මරුමුස් මිනිහා වසුන්දරාගේ පියාද? එතකොට…. ආයෙමත් මේ කාලකණ්ණියා මට මුණගැසේවිද…?’ ඕ මහත් චකිතයකින් බලාගත්වනම බලා සිටියාය.

“මොකෝ උත්පලා….? අද අමුතුවෙලා…. කිසි සතුටක් නෑ… සිනහවක් නෑ…. කතා බහක් නෑ….. නිකං භය වෙලා වගේ…. කමක් නෑ… මේ පැණි වළල්ල ඔබට…”

මඳ සිනහා පෑ උත්පලා වරදත්ත දුන් පැණි වළල්ල ගෙන සෙමෙන් සෙමෙන් සපන්නට පටන් ගත්තාය.

‘ඇත්තටම මොකක්ද මේ වෙන්න යන්නේ….? මං මේ හීනයක් දකිනවාද…? ඔව්… හරි… මේ යන්නේ අර මිනිහගේ ගෙදර තමයි.’

ගෙජ්ජි සොළවමින් පැමිණි ගොන් කරත්තය එක්තරා නිවසක් ඉදිරිපිට නවත්වන ලදී. ඒ නිවස දුටු පමණින් උත්පලාගේ මුළු සිරුරම අප‍්‍රාණික වී ගියේය. වසුන්දරා වහා ගෙට දිවගොස් අත්තම්මා සිප වැළඳගත්තාය. අත්තම්මා පෙරටුකොට ඉදිරියට පැමිණියාය. ”අත්තම්මා…. මේ ඉන්නේ උත්පලා…. අපේ වරදත්තගේ අනිත් බිරිඳ.”

අත්තම්මා සැණෙකින් උත්පලාව හඳුනාගත්තාය. දෑස ලොකු කරගත් මැහැලිය හිස අත් බැඳ ස්වල්ප වෙලාවක් ඇය දෙස බලා සිටියාය. ඇය කිසිවක් පවසාගත නොහැකිව ගොළු වූවාක් මෙන් සිටියාය. සැණෙකින් ඈ දොඩමලු වූවාය.

“ඔව්! දුවේ…. උත්පලා…. ගෙට වරෙන්…. මට බොහෝම සතුටුයි” කී අත්තම්මා සාරි පොටෙන් කඳුළු පිස දමන්නට පටන් ගත්තාය. උත්පලා ද ගැහෙන හදින් යුතුව බිමට නැඹුරු වූ නෙතින් තමා සිටි පැරණි නිවසට පිවිසියාය. අත්තම්මා වසුන්දරා එහෙට මෙහෙට වන තෙක් සිට රහසේ උත්පලා ඇමතුවාය.

“උත්පලා…. හිත හදාගනින්… නොවිය යුතු දෙයක් මේ වෙලා තියෙන්නේ… ඔය වසුන්දරා නුඹේ දුව! …. මේක ඈට දැනගන්ට තිබිය යුතු නෑ. දුවේ…. මේ සිද්ධ වෙන්නේ උඩ ඉන්න දෙවියන්නේ කැමැත්ත වෙන්නැති.”

“අනේ…. අම්මා…” කියමින් උත්පලා මැහැළිය වැළඳගෙන ඉකි ගසන්නට පටන් ගත්තාය. මැහැළිය බොහෝ සෙයින් ඇය අස්වැසුවාය. වසුන්දරා එක්වරම එළියේ සිට අත්තම්මා අමතා කෑ ගැසුවාය.

“අත්තම්මා…. අත්තම්මා…. මේන්න….. තව අමුත්තන් ඇවිදින්…. අත්තම්මා…. කොහෙද ඉන්නේ…..? මේ වරදත්තගේ අම්මයි, අපුච්චයි ඇවිදින්….”

වරදත්ත පෙරට ගොස් දෙමාපියන් කැඳවාගෙන ගෙට ගියේය. කවුරුත් සතුටු සාමීචි කතා දොඩන්නට පටන් ගත්තා. එහෙත් උත්පලාගේ වෙනස සඟවාලිය නොහැකි විය. ඇය කිසියම් චකිතයකින් සහ වේදනාවකින් සිටින බව පෙනිණ. මේ වන විට ඇයගේ සැමියාව සිටි ජයසේන ඈතක ගොස් සිටීම උත්පලාට තිබූ එකම අස්වැසිල්ල විය.

කල්වේලා බලා අත්තම්මා වරදත්තගේ පියා හට මෙකරුණ සැළ කළාය. මෙය ඇසූ ඔහු කිසියම් කලබලයකට පත් වූ බවක් පෙනිණ. ඔහුගේ මුහුණ පුළුටු වී ගියේය. අතින් හිසට ගසා ගත්තේය.

“ෂකේ…. හරි වැඩක්නේ වෙලා තියෙන්නේ…. එතකොට අම්මයි, දුවයි නෙව සමාන බිරියන් වෙලා තියෙන්නේ….. මේ මගුල කඩන්නත් බෑ. දැන් වසුන්දරා ඉන්නේ ගැබ් ගෙන. මොකද අපි කරන්නේ….?”

උත්පලා කඳුළු සැළුවාය. බියපත් නෙතින් බලා සිටියාය. වරදත්තගේ පියා උත්පලාගේ අසරණභාවය දැක අනුකම්පා සහගතව කතා කරන්නට පටන් ගති.

“උත්පලා…. ඕක ජීවිතයේ හැටි. සමහර ප‍්‍රශ්න එනවා… ඒවා අපට මඟහරින්න බෑ. අපි කොයිතරම් අකමැති වුණත් ඒකට මුහුණදෙන්න වෙනවා. මේක හරී අවාසනාවක්.”

“ඒක ඇත්ත! මේක දෙවියන්නේ කැමැත්ත කියලයි මං උත්පලාට කිව්වේ…”

“දැන් බලන්න උත්පලා…. අපේ කොළුවා…. වරදත්ත ගැන. ඔය කොළුවා මයෙ දරුවෙක් නොවෙයි. මං හදාගත්තු එකෙක්. දවසක් මං රාජගෘහයට එමින් සිටිද්දී ජම්බුග‍්‍රාමයේ කඩමණ්ඩියට එහා පැත්තේ ඇති විශ‍්‍රාම ශාලාවේ හිටියේ. නැවත පිටත් වෙන්න ලෑස්ති වුණා. කිරිසප්පයෙක් අඬනවා…. ගිහින් බැලින්නම් කොළු පැටියෙක්…! අම්මා දාලා ගිහින්…”

උත්පලාගේ ඇස් එකවර විශාල විය. මුව විදහා ගත්තාය. දකුණු අතින් මුව වසා ගත්තාය.

“ආහ්….! එහෙම කොහොමද අම්මා දාලා යන්නේ….? වෙන්න බෑ… එ් අම්මා…. ඔව්! ඒ අම්මා… දොට්ට පිලට ගියපු වෙලාවක වෙන්න ඇති මේක වුණේ….”

“මොන දොට්ට පිළටද? වේසියක්ද කොහෙද? මං දරුවත් ඇන්න ගෙදර ආවා. ඒකා තමයි මේ වරදත්ත.”
උත්පලාට සිහි විකල් වූවාක් මෙන් දැනිණ.

“ඕහ්… ම…. මට…. ආයෙමත් අමාරුයි වගේ….” කියමින් බිම ඈඳි ගත්තාය. මැහැළිය වහා උත්පලා වත්තන් කරගෙන ගොස් ඇඳෙහි හාන්සි කෙරෙව්වාය. උත්පලා වසා සිටි දෑසින් කඳුළු දහරා වැගිරී යන්නට විය. ඈ බොහෝ සුසුම් හෙළුවාය.

‘චී…. මොකක්ද මේ ජීවිතේ….? අයියෝ…. එතකොට මගේම සහායිකා බිරිඳ… මගේම දියණිය….! එතකොට මගේ සැමියා…. මගේම පුතා…! අයියෝ…! මේ ලෝකේ කිසීම අම්මා කෙනෙකුට නම් මෙහෙම වෙන්න එපා….! ඔව්…! මෙහෙම වෙන්න එපා….!

මට මේ විපත කළේ අර නාකි හැතිරී. ඕකි මා සැකකළා. සැවැත් නුවරදී මං වාසුලත් එක්ක පවුල් කෑවේ ඉතාම සතුටින්. මං වේසියක් නෙවෙයි. වාසුල වෙළඳාමේ ගියා. මගේ අවාසනාවට දරුවා ලැබෙන ලකුණු පහළ වුණේ ඊට පස්සේ… කොහේද… අර වාසුලගේ අම්මා…. නාකි අම්මණ්ඩි…. මට පන්න පන්න හිරිහැර කළා…. පද හැදුවා… හැමදේම එපා කෙරෙව්වා… මං වාසුල ඉන්න තැන හෙව්වා. ඔහු රාජගෘහ පැත්තට ගියා කියලයි ආරංචි වුණේ.

ඇත්තෙන්ම ඔය හැතිරි නිසයි මං ගෙදරින් පිටත් වෙලා වාසුල හොයාගෙන ගියේ. එදා විශ‍්‍රාම ශාලාවෙදි කිරි සප්පයාට කිරි පොවලා මං දොට්ට පිලට ගියා… අයියෝ! මං එද්දී දරුවා නෑ…. මගේ දරු සිඟිත්තා සොය සොයා කොයිතරම් වැළපුණාද?

ඉහි… ඉහි… අයියෝ…. අනේ දෙයියනේ…. ඇයි මට මෙහෙම වුණේ…..? මේක හීනෙකින්වත් සිතූ දෙයක්ද? මගේම පුතාත් සමඟ මට පවුල්කන්න වෙච්චි එක මොන සාපයක්ද? චී…. මට මේ ජීවිතය එපා… එපා… මයි.’

එක්වරම උත්පලා සිත දැඩිකරගත්තාය. දැඩි අධිෂ්ඨානයක් ගත්තාය. කඳුළු පිස දමා නැගී සිටියාය. එදා ඈ සන්සුන් ලෙස ගත කළාය. ඒ ගමනින් පසු ඇය පසුවූයේ අසනීප ගතියෙනි. වැඩි කතාබහක් නැතුව සිටි උත්පලා දිනක් කිසිවෙකුටත් නොකියා නිවසින් පිටත් වී ගියාය. ඒ රජගහ නුවර භික්ෂුණී ආරාමයටයි. ඇය භික්ෂුණියක් බවට පත්වුණාය. ජීවිතය වෙලාගත් දුක් කඳුළු පිරි අතීතය අමතක කර දමන්නට ඈ මහත් වෙහෙසක් ගත්තාය. සීල, සමාධි, ප‍්‍රඥා පුරාගන්නට ඈ සමත්වූවාය. කෙලෙසුන්ගෙන් නිදහස් වූවාය. අනේක දුක් දොම්නස් පිරි සසර චාරිකාවෙන් එතෙර වූ ඈ අමා නිවන පසක් කළාය.

(ථේරී ගාථාවල සඳහන් උත්පලවණ්ණා තෙරණියගේ ගාථා ඇසුරෙනි.)

රචනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.