නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස

එ් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

“පින්වත් මහණෙනි, සත්පුරුෂයාට ‘මේ භවතා සත්පුරුෂයෙක් ය’ කියල සත්පුරුෂයෙකුව හඳුනාගන්නට පුළුවන්ද?”

“එසේය, ස්වාමීනී.”

“ඉතා යහපති, පින්වත් මහණෙනි, සත්පුරුෂයා ‘මේ භවතා සත්පුරුෂයෙක් ය’ කියල සත්පුරුෂයෙකුව හඳුනාගන්නවා යන යමක් ඇද්ද එය සිදුවිය හැකි දෙයක්.”

“පින්වත් මහණෙනි, සත්පුරුෂයාට ‘මේ භවතා අසත්පුරුෂයෙක් ය’ කියල අසත්පුරුෂයෙකුව හඳුනාගන්නට පුළුවන්ද?”

“එසේය, ස්වාමීනී.”

“ඉතා යහපති, පින්වත් මහණෙනි, සත්පුරුෂයා ‘මේ භවතා අසත්පුරුෂයෙක් ය’ කියල අසත්පුරුෂයෙකුව හඳුනාගන්නවා යන යමක් ඇද්ද එය සිදුවිය හැකි දෙයක්.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ ගතිගුණවලින් යුක්තයි. සත්පුරුෂ සේවනයෙන් යුක්තයි. එ් වගේම සත්පුරුෂ සිතුවිලියි සිතන්නේ. සත්පුරුෂ සාකච්ඡාවන් තමයි කරන්නේ. සත්පුරුෂ වචනයි කතා කරන්නේ. සත්පුරුෂ කටයුතුයි කරන්නේ. එ් වගේම සත්පුරුෂ දැක්මෙන් යුක්තයි. සත්පුරුෂ දන් දෙනවා.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ ගතිගුණවලින් යුක්තවන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා සත්පුරුෂයා තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගනියි. පව් කිරීමෙහි ලැජ්ජා වෙයි. පව් කිරීමෙහි බිය සහිතයි. බොහෝ දැනුමෙන් යුක්තයි. උපන් අකුසල් ප‍්‍රහාණය කිරීමට පටන් ගත් වීරියෙන් යුක්තයි. සිහිය පිහිටුවාගෙන ඉන්නවා. ප‍්‍රඥාවන්තයි. පින්වත් මහණෙනි, සත්පුරුෂයා ඔය ආකාරයෙනුයි සත්පුරුෂ ගතිගුණවලින් යුක්තවන්නේ.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ ආශ‍්‍රයෙන් යුතු වන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා යම් මේ ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයින් ශ‍්‍රද්ධාවෙන් යුක්ත නම්, පවට ලැජ්ජා ඇත්නම්, පවට බිය ඇත්නම්, බොහෝ දැනුමෙන් යුක්ත නම්, පටන් ගත් වීරියෙන් යුක්ත නම්, මනාව පිහිටුවා ගත් සිහියෙන් යුක්ත නම්, ප‍්‍රඥාවන්ත නම් එ් උදවිය තමයි සත්පුරුෂයාගේ යහළුවන් වන්නේ. උදව්කාරයන් වන්නේ. පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ ආශ‍්‍රයෙන් යුක්ත වන්නේ ඔය විදිහටයි.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ සිතුවිලි සිතන්නේ කොහොමද? පින්වත් මහණෙනි, සත්පුරුෂයා තමාට විපත පිණිස පවතින දේවල් සිතන්නේ නෑ. අනුන්ට විපත පිණිස පවතින දේවල් සිතන්නෙත් නෑ. දෙපක්ෂයටම විපත පිණිස පවතින දේවල් සිතන්නෙත් නෑ. පින්වත් මහණෙනි, ඔය විදිහටයි සත්පුරුෂයා සත්පුරුෂ සිතුවිලි සිතන්නේ.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ සාකච්ඡා කරන්නේ කොහොමද? පින්වත් මහණෙනි, සත්පුරුෂයා තමාට විපත පිණිස පවතින දේවල් සාකච්ඡා කරන්නේ නෑ. අනුන්ට විපත පිණිස පවතින දේවල් ගැනත් සාකච්ඡා කරන්නේ නෑ. දෙපක්ෂයටම විපත පිණිස පවතින දේවල් ගැනත් සාකච්ඡා කරන්නේ නෑ. පින්වත් මහණෙනි, ඔය විදිහටයි සත්පුරුෂයා සත්පුරුෂ සාකච්ඡා කරන්නේ.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ වචනවලින් යුක්ත වන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා සත්පුරුෂයා බොරු කීමෙන් වැළකී සිටිනවා. කේලාම් කීමෙන් වැළකී සිටිනවා. ඵරුෂ වචන කීමෙන් වැළකී සිටිනවා. හිස් වචන කීමෙන් වැළකී සිටිනවා. පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ බස් පවසන්නේ ඔය ආකාරයටයි.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ කටයුතුවලින් යුතු වන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා සත්පුරුෂයා සතුන් මැරීමෙන් වැළකී සිටිනවා. නුදුන් දේ ගැනීමෙන් වැළකී සිටිනවා. කාම මිත්‍යාචාරයෙන් වැළකී සිටිනවා. පින්වත් මහණෙනි, ඔය විදිහටයි සත්පුරුෂයා සත්පුරුෂ කටයුතුවල යෙදෙන්නේ.

පින්වත් මහණෙනි, සත්පුරුෂයාගේ සත්පුරුෂ දැක්ම පවතින්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා සත්පුරුෂයා මෙබඳු ආකාරයේ දැක්මකින් යුතු වෙයි. එ් කියන්නේ, ‘දුන් දෙයෙහි විපාක තියෙනවා. පුද පූජාවෙහි විපාක තියෙනවා. සේවයෙහි විපාක තියෙනවා. හොඳ නරක කර්මයන්ගේ ඵල විපාක තියෙනවා. මෙලොව කියා දෙයක් තියෙනවා. පරලොව කියා දෙයක් තියෙනවා. මවක් ඉන්නවා. පියෙක් ඉන්නවා. ඕපපාතික සත්වයන් ඉන්නවා. ලෝකයෙහි යහපත් මගෙහි පිළිපන් ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයින් මෙලොවත් පරලොවත් ස්වකීය ප‍්‍රඥාවෙන් සාක්ෂාත් කොට දේශනා කිරීමක් තියෙනවා’ කියලා. පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ දැක්මෙන් යුතු වන්නේ ඔය විදිහටයි.

පින්වත් මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ දන් දෙන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා සත්පුරුෂයා ඉතා හොඳින් සකස් කොට දන් දෙයි. සිය අතින් දන් දෙයි. ආදර ගෞරව සහිතව දන් දෙයි. පිරිසිදු දෙයින් දන් දෙයි. ‘තමා දෙන දානයෙහි විපාක නැවත තමාට ලැබේ ය’ යන අදහසින් දන් දෙයි. පින්වත් මහණෙනි, ඔය විදිහටයි සත්පුරුෂයා සත්පුරුෂ දන් දෙන්නේ.

පින්වත් මහණෙනි, ඔය සත්පුරුෂයා මේ විදිහට සත්පුරුෂ ගතිගුණවලින් යුක්තවෙලා, මේ විදිහට සත්පුරුෂයන් ඇසුරු කරලා, මේ විදිහට සත්පුරුෂ සිතුවිලි සිතලා, මේ විදිහට සත්පුරුෂ සාකච්ඡාවන් කරලා, මේ විදිහට සත්පුරුෂ වචන කියලා, මේ විදිහට සත්පුරුෂ වැඩ කරලා, මේ විදිහට සත්පුරුෂ දැක්මෙන් යුක්ත වෙලා, මේ විදිහට සත්පුරුෂ දන් දීලා කය බිඳී මරණින් මතු යම් තැනක සත්පුරුෂයන්ගේ උපතක් ඇද්ද, අන්න එතනයි උපදින්නේ. පින්වත් මහණෙනි, සත්පුරුෂයන් උපදින්නේ කොහේද? ආනුභාව සම්පන්න දිව්‍යත්වයක් හෝ ලැබෙනවා. ආනුභාව සම්පන්න මනුෂ්‍ය ආත්මභාවයක් හෝ ලැබෙනවා.

සාදු! සාදු!! සාදු!!!
උපුටා ගැනීම – (චූල පුණ්ණම සූත්‍රය – මජ්ඣිම නිකාය – 3)

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.