අද වෙසක් පුන් පොහෝ දා ය. ශ්‍රී බුද්ධ වර්ෂ 2564 ගෙවී ගොස් 2565 වෙනි වසර ලබනුයේ අද ය. අද පටන් බෞද්ධයන්ගේ නව වසර ඇරඹෙයි. සාමාන්‍යයෙන් ව්‍යවහාරික ලෝකයේ සම්මත වසරක් අවසන් ව නව වසරක් ලබනවිට බොහෝ මාධ්‍ය මගින් කතාබස් කරනුයේ ලබන නව වසර තමාට මෙන් ම රටට හා ලෝකයටත් කෙසේ බලපාන්නේ ද යන කරුණ ය. ඒ සඳහා බොහෝ අනාවැකිකරුවන් භාවිත කරනු ලබන්නේ ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්තයන් ය. නැතහොත් ගණිතමය සිද්ධාන්තයන් ය. මේ අතරට යම් යම් ආගමික ක්ෂේත්‍රයන්හි නියෝජිතයන් ද ඉදිරිපත් ව අනාවැකි පවසන අවස්ථා මෙකල දක්නට ලැබෙයි.

කොරෝනා වසංගතය පිළිබඳව ඉන්දියානු ජාතික අභිග්‍යා ආනන්ද් නමැති දරුවෙකු පැවසූ අනාවැකි පසුගිය කාලයේ ඉමහත් ප්‍රසිද්ධියට පත්විය. එමෙන්ම අනාගත ලෝකයේ ඇතිවන ඉතා විනාශකාරී ඉරණම් පිළිබඳව අනාවැකි පැවසූ අය අතරින් වඩාත් ම ප්‍රසිද්ධ වූයේ මින් වසර පන්සිය ගණනකට පෙර ජීවත් වූ ප්‍රංශ ජාතික නොස්ත්‍රදාමුස්ගේ අනාවැකි ය. එමෙන්ම මෑත භාගයේ ජීවත් වූ බල්ගේරියානු ජාතික බාබ වැන්ගා නමැත්තිය විසින් ද පවසන ලද අනාවැකි ප්‍රසිද්ධියට පත්විය. එයට අමතරව විද්‍යා ප්‍රබන්ධ රචකයෙකු ලෙස ලෝකප්‍රකට ව සිටි ලංකාවේ ජීවත් වූ ආතර් සී ක්ලාක්ගේ අනාවැකි ද ප්‍රසිද්ධියට පත්ව ඇත්තේය.

ලක්වැසියන් අතර සාමාන්‍යයෙන් ජනප්‍රියව පවතින්නේ ජ්‍යෝතිෂ්‍ය අනාවැකි දැනගැනීම ය. ඒ අනුව තම තමන්ට හිමි ලග්නවලට අදාළ අනාගත කටයුතු සුභාසුභ වශයෙන් පුරෝකථනය කරනු ලබන බොහෝ ජ්‍යෝතීර්වේදීන් විවිධ මාධ්‍ය මගින් මහජනයාට මුණගැසේ. එයට අමතරව තම තමන්ගේ ජන්මපත්‍ර පරීක්ෂා කොට තමාගේ අනාගතය පිළිබඳව අනාවැකි දැනගැනීමට බොහෝ අය ආශාවක් දක්වති. වර්තමාන ලංකාවේ පවතින්නේ කොන්ත්‍රාත් පදනමෙන් බලයට පත්වන දේශපාලන සමාගම් මිස සැබෑ දේශපාලනයක් මෙහි නැත්තේය. දේශපාලනඥයෝ ද නැත්තාහ. එහෙයින් මෙකී දේශපාලන සමාගම් ව්‍යාපාරවල නියැලුණෝ ද ජ්‍යෝතිෂ්‍ය සහ ගුප්තවිද්‍යා මාර්ගයෙන් සුභ අනාවැකි සොයන්නන් අතර ඉදිරියෙන් ම සිටිති.

අනාවැකිවලදී එකිනෙකාගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව ද තම තමන් ජීවත්වන රට පිළිබඳව ද සමස්තයක් වශයෙන් ලෝකය ම මුහුණ පාන සුභාසුභ ඉරණම් පිළිබඳව ද දැනගැනීමට කවුරුත් කැමති වෙති.

මේ ලිපියෙන් අපි සලකා බලනුයේ අනාවැකි පිළිබඳව බෞද්ධ මතය විමසා බැලීම ය. බෞද්ධ දෘෂ්ටි කෝණයෙන් බලන කල්හි අනාවැකි සඳහා ජ්‍යෝතිෂ්‍ය හෝ වෙනත් ගණිතමය ක්‍රම හෝ ගුප්ත විද්‍යා ක්‍රම මගින් හෝ කරනු ලබන පුරෝකථන නොපිළිගනු ලැබේ. බෞද්ධ අනාවැකි සඳහා සම්පූර්ණයෙන් ම පදනම් වී ඇත්තේ සම්මා දිට්ඨිය ය. ඒ අනුව සත්වයා විසින් තම සිත කය වචනය මෙහෙයවා කරනු ලබන ක්‍රියාවන්ට අනුරූපව තමාගේ අනාගතය සකස්වන ආකාරය පිළිබඳව පුරෝකථන දකින්ට ලැබේ.

සාමාන්‍ය ලෝකයා විසින් පුරෝකථනය කරනු ලබන අනාවැකිවල විශ්වසනීයත්වයට ඇත්තේ අඩු ලංසුවකි. ඒවා සිදුවීම හෝ නොවීම පිළිබඳ සැකය හැමවිට බලපවත්නේය. බොහෝ විට දකින්ට ලැබෙන්නේ එකී අනාවැකි අසත්‍ය බවට පත්වීම ය. අනෙක, කියන ලද කාලය ඉක්මවා ගිය විට ඒවායේ වටිනාකම හිස්බවට පත්වෙයි. එහෙත් අප භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද අනාවැකි ඒ අයුරින් ම නොවෙනස් ව පවතින්නේය. ඒවා පරම සත්‍යය වශයෙන් හැම කල්හි ම වලංගු ව පවතින්නේය.

භාග්‍යවතුන් වහන්සේ විසින් සෝවාන් ඵලය පසක් කළ පුද්ගලයාගේ ඉදිරි කටයුතු පිළිබඳව වදාරන ලද මේ ප්‍රකාශය දෙස බලන්න. “මහණෙනි, සෝවාන් ඵලයට පත් පුද්ගලයෙක් නොවෙනස් ව පවත්නා කිසිදු සංස්කාරයක් තිබේය යන අදහස පිළිගන්නේය යන්න කිසිසේත් ම සිදුනොවෙයි. එය සිදුවෙන්ට ඉඩක් නැත්තේය.

එසේ ම මහණෙනි, සෝවාන් ඵලයට පත් පුද්ගලයෙක් සැප සහිත වූ කිසිදු සංස්කාරයක් තිබේය යන අදහස පිළිගන්නේය යන්න කිසිසේත් ම සිදුනොවෙයි. එය සිදුවෙන්ට ඉඩක් නැත්තේය.

එසේ ම මහණෙනි, සෝවාන් ඵලයට පත් පුද්ගලයෙක් තම වසඟයෙහි පැවැත්විය හැකි ආත්මයක් තිබේය යන අදහස පිළිගන්නේය යන්න කිසිසේත් ම සිදුනොවෙයි. එය සිදුවෙන්ට ඉඩක් නැත්තේය….. සිය මව දිවියෙන් තොර කරන්නේය යන්න කිසිසේත් ම සිදුනොවෙයි…. සිය පියා දිවියෙන් තොර කරන්නේය යන්න කිසිසේත් ම සිදුනොවෙයි…. රහතුන් දිවියෙන් තොර කරන්නේය යන්න කිසිසේත් ම සිදුනොවෙයි…. දුෂ්ට සිතින් තථාගත සම්බුදුන්ගේ ලේ සොලවන්නේය යන්න කිසිසේත් ම සිදුනොවෙයි…. එසේ ම මහණෙනි, සෝවාන් ඵලයට පත් පුද්ගලයෙක් සංඝභේදය කරන්නේය යන්න කිසිසේත් ම සිදුනොවෙයි. එය සිදුවෙන්ට ඉඩක් නැත්තේය.”

එහිදී භාග්‍යවතුන් වහන්සේ වදාළේ පෘථග්ජන පුද්ගලයා අතින් ඉහත කී ඕනෑ ම දෙයක් ඕනෑම අවස්ථාවක සිදුවෙන්ට ඉඩ ඇති බව ය. මෙයින් පැහැදිලි වන්නේ අවබෝධයෙන් දියුණු වූ පුද්ගලයා තුළ පවතින නොවෙනස් උතුම් ගතිගුණ පිළිබඳව ය.

එසේ ම භාග්‍යවතුන් වහන්සේ වදාළේ එක් ලෝක ධාතුවක අර්හත් සම්බුදුවරයන් වහන්සේලා දෙනමක් පෙර පසු නොවී එක ම අවස්ථාවක ඉපදීම කිසිසේත් සිදුනොවන බව ය. එසේ ම එක් ලෝක ධාතුවක සක්විති රජවරු දෙදෙනෙක් පෙර පසු නොවී එක ම අවස්ථාවක ඉපදීම කිසිසේත් සිදුනොවන බව ය. එසේ ම ස්ත්‍රියක අර්හත් සම්මා සම්බුදුවරයෙක් වීම කිසිදා කිසිවිටෙක සිදුනොවන බව ය. එසේ ම ස්ත්‍රියක සක්විති රජෙක් වීම කිසිදා කිසිවිටෙක සිදුනොවන බව ය. එසේ ම භාග්‍යවතුන් වහන්සේ වදාළේ ස්ත්‍රියක කිසිදා කිසිවිටෙක ශක්‍ර පදවියට පත්වීම හෝ මාර පදවියට පත්වීම හෝ බ්‍රහ්ම පදවියට පත්වීම හෝ සිදුනොවන බව ය.

අප භාග්‍යවතුන් වහන්සේ පවසනු ලබන මෙවැනි කරුණුවල තිබෙන්නේ හුදු අනාගතය පිළිබඳ පමණක් නොවේ. ඕනෑම කාලයකට අදාළ සත්‍යයන් ලෙස ය. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මෙකරුණ දෙස බලන්න.
“මහණෙනි, කයින් කරන ලද දුශ්චරිතයකට ඉෂ්ට කාන්ත මනාප සැප විපාක ලැබේ ය යන්න කිසිදා සිදු නොවෙයි. එසේ වෙන්ට හේතු යුක්ති නැත්තේය. එසේ ම කයින් කරන ලද දුශ්චරිතයකට අයහපත් අමිහිරි අමනාප දුක් විපාක ලැබීම දකින්ට ලැබෙයි. එසේ වෙන්ට හේතු යුක්ති ඇත්තේය.

මහණෙනි, කයින් කරන ලද සුචරිතයකට අයහපත් අමිහිරි අමනාප දුක් විපාක ලැබේ ය යන්න කිසිදා සිදු නොවෙයි. එසේ වෙන්ට හේතු යුක්ති නැත්තේය. එසේ ම කයින් කරන ලද සුචරිතයකට ඉෂ්ට කාන්ත මනාප සැප විපාක ලැබීම දකින්ට ලැබෙයි. එසේ වෙන්ට හේතු යුක්ති ඇත්තේය.

මහණෙනි, වචනයෙන් කරන ලද දුශ්චරිතයකට ඉෂ්ට කාන්ත මනාප සැප විපාක ලැබේ ය යන්න කිසිදා සිදු නොවෙයි. එසේ වෙන්ට හේතු යුක්ති නැත්තේය. එසේ ම වචනයෙන් කරන ලද දුශ්චරිතයකට අයහපත් අමිහිරි අමනාප දුක් විපාක ලැබීම දකින්ට ලැබෙයි. එසේ වෙන්ට හේතු යුක්ති ඇත්තේය.

මහණෙනි, වචනයෙන් කරන ලද සුචරිතයකට අයහපත් අමිහිරි අමනාප දුක් විපාක ලැබේ ය යන්න කිසිදා සිදු නොවෙයි. එසේ වෙන්ට හේතු යුක්ති නැත්තේය. එසේ ම වචනයෙන් කරන ලද සුචරිතයකට ඉෂ්ට කාන්ත මනාප සැප විපාක ලැබීම දකින්ට ලැබෙයි. එසේ වෙන්ට හේතු යුක්ති ඇත්තේය.”

එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ පුද්ගලයන් අරමුණු කොට මෙසේ වදාළ සේක. “මහණෙනි, කාය දුෂ්චරිතයෙන් යුතු පුද්ගලයෙක් ඒ හේතුවෙන්, එකරුණ නිසාවෙන් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදින්නේය යන්න කිසිදා සිදු නොවෙයි. එසේ වෙන්ට හේතු යුක්ති නැත්තේය. එහෙත් කාය දුෂ්චරිතයෙන් යුතු පුද්ගලයෙක් ඒ හේතුවෙන්, එකරුණ නිසාවෙන් කය බිඳී මරණින් මතු අපාය දුගති විනිපාත නිරයෙහි ඉපදීම දකින්ට ලැබෙයි. එයට හේතු යුක්ති ඇත්තේය.

මහණෙනි, කාය සුචරිතයෙන් යුතු පුද්ගලයෙක් ඒ හේතුවෙන්, එකරුණ නිසාවෙන් කය බිඳී මරණින් මතු අපාය දුගති විනිපාත නිරයෙහි උපදින්නේය යන්න කිසිදා සිදු නොවෙයි. එසේ වෙන්ට හේතු යුක්ති නැත්තේය. එහෙත් කාය සුචරිතයෙන් යුතු පුද්ගලයෙක් ඒ හේතුවෙන්, එකරුණ නිසාවෙන් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි ඉපදීම දකින්ට ලැබෙයි. එයට හේතු යුක්ති ඇත්තේය.

මහණෙනි, වචී දුෂ්චරිතයෙන් යුතු පුද්ගලයෙක් ඒ හේතුවෙන්, එකරුණ නිසාවෙන් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදින්නේය යන්න කිසිදා සිදු නොවෙයි. එසේ වෙන්ට හේතු යුක්ති නැත්තේය. එහෙත් වචී දුෂ්චරිතයෙන් යුතු පුද්ගලයෙක් ඒ හේතුවෙන්, එකරුණ නිසාවෙන් කය බිඳී මරණින් මතු අපාය දුගති විනිපාත නිරයෙහි ඉපදීම දකින්ට ලැබෙයි. එයට හේතු යුක්ති ඇත්තේය.

මහණෙනි, වචී සුචරිතයෙන් යුතු පුද්ගලයෙක් ඒ හේතුවෙන්, එකරුණ නිසාවෙන් කය බිඳී මරණින් මතු අපාය දුගති විනිපාත නිරයෙහි උපදින්නේය යන්න කිසිදා සිදු නොවෙයි. එසේ වෙන්ට හේතු යුක්ති නැත්තේය. එහෙත් වචී සුචරිතයෙන් යුතු පුද්ගලයෙක් ඒ හේතුවෙන්, එකරුණ නිසාවෙන් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි ඉපදීම දකින්ට ලැබෙයි. එයට හේතු යුක්ති ඇත්තේය.”

එසේ ම අනාගත ලෝකයේ මිනිසුන්ගේ ගුණධර්ම ක්‍රමයෙන් පිරිහී ගොස් ඊට අනුකූල ලෙස ඔවුන්ගේ ආයු වර්ණ සැප බල ප්‍රඥාදියත් පිරිහී යන බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මිනිස් ආයුෂ දස වසරක් දක්වා ම පිරිහෙන බවත්, එකල්හි හටගන්නා මුරුගසන් වරුෂාව නමැති බිහිසුණු ආයුධ වර්ෂාවෙන් බොහෝ සත්වයන් මරණයට පත්වන බවත්, එයින් අන්තඃකල්පය නිමාවන බවත් වදාළ සේක. එසේ ම ඉතිරි වූ කිහිප දෙනා නැවත සිල්වත් ජීවිතය ඇරඹීමෙන් තම තමන්ගේ ගුණධර්ම වර්ධනය වේ. එයට අනුව ඔවුන්ගේ ආයු වර්ණ සැප බල ප්‍රඥාදියත් වර්ධනය වෙයි. එය නව අන්තඃකල්පයක ඇරඹුම බව වදාළ සේක.

එසේ ම කල්පය මුළුමනින් ම පෘථිවියත් සමග විනාශ වී අවසන් වී යාම ගැන ද අප භාග්‍යවතුන් වහන්සේ වදාළ විස්මිත දෙසුම් ඇත්තේය. ඒ අනුව බොහෝ කල් ගතවී, බොහෝ වර්ෂ ලක්ෂ ගණන් ගෙවීගිය කාලයක අනාගතයේ පිළිවෙළින් සූර්යයන් සතක් දක්වා උදාවන කලක් පැමිණෙන්නේය. ඒ සප්ත සූර්යෝදය හේතුවෙන් මේ පෘථිවිය දවා අළු වී, තිබූ තැනවත් නොදැක්ක හැකි ලෙස හිස් අවකාශයක් දිස්වන්නේය. ඒ කාලයෙහි ලෝතලයෙහි නා නා ස්ථරයන්හි විසූ දෙව් මිනිස් ලෝසතුන් තමන් සිටි තැනින් චුත ව ආභස්සර ලොවෙහි උපත ලබන්නාහ. තවත් බොහෝ කල් ගිය කල්හි මුලින් ම ජල පෘථිවියක් සැකසෙන්නේය. අනතුරුව ක්‍රමයෙන් භූමිය සැකසෙන්නේය. බඹලොවින් පෙරලා පැමිණෙන සත්වයන්ගේ පරිණාමයෙන් යළි මිනිස් සංහතිය ආරම්භ වන අයුරු ද වදාළ සේක. ඒ සියල්ලට ම හේතු වන්නේ සත්වයාගේ සාංසාරික ගමනත්, ලෝකයෙහි ධර්මතාවන් ලෙසින් පවත්නා දේත් ය.

අපට මේ වෙසක් සමයේ බෙහෙවින් උපකාර වන කරුණක් දැන් දක්වමු. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, යම් සත්වයෝ උදේ වරුවෙහි කය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, වචනය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, සිත මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, මහණෙනි, ඒ සත්වයන්ට උදාවූයේ සුභ උදෑසනකි.

මහණෙනි, යම් සත්වයෝ දහවල් කාලයෙහි කය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, වචනය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, සිත මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, මහණෙනි, ඒ සත්වයන්ට උදාවූයේ සුභ දහවලකි.
මහණෙනි, යම් සත්වයෝ සන්ධ්‍යා කාලයෙහි කය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, වචනය මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, සිත මුල්කොට සුචරිතයෙහි හැසිරෙත් ද, මහණෙනි, ඒ සත්වයන්ට උදාවූයේ සුභ සන්ධ්‍යාවකි.

1. බඹසර හැසිරෙන සිල්වතුන් උදෙසා මනාකොට පුදන ලද දානයක් ඇද්ද, දානය පිදූ අයගේ සුභ නැකත එය ය. සුභ මංගල්‍යය එය ය. සුභ උදෑසන එය ය. සුභ අවදිවීම එය ය. සුභ ක්ෂණය එය ය. සුභ මුහුර්තිය එය ය.
2. එය වනාහී තමාගේ කාය කර්මයට ලැබුණු දියුණුවකි. වචී කර්මයට ලැබුණු දියුණුවකි. මනෝ කර්මයට ලැබුණු දියුණුවකි. තමන්ගේ ප්‍රාර්ථනයට ලැබුණු දියුණුවකි. දියුණුවෙන් යුක්ත වූ කාය කර්මාදිය කොට තමා ම යළි ඒ දියුණුව අත්විඳියි.
3. ජීවිතය ඒ අයුරින් දියුණුවකට පමුණුවා, බුද්ධ ශාසනය තුළ සැපයට පත්ව, වැඩීගිය දියුණුව ඇතිව ඒ තෙපි සෑම සියලු ඤාතීන් සමග නීරෝගී ව සුවපත් වව්.”

මේ අයුරින් බලන කල්හි සාමාන්‍ය ලෝකයාගේ අනාවැකිවල ගතයුතු කිසි හරයක් නැත්තේය. අප භාග්‍යවතුන් වහන්සේ වදාළ හැම දෙයක් ම හරවත් ය. සැපදායක ය. අවබෝධය ඇතිකරවයි. යහපතට පමුණුවයි.

අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ