අපගේ ආදි ගුරුදේවෝත්තම වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගෞතම බුදුරජුන්ගේ නිමල ශ්රී සද්ධර්මය මේ ලක්දිවට දායාද කළ පින්බර පොසොන් පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව ප්‍රධාන මහමෙව්නාව භාවනා අසපු සංචිතය තුළ පින්කම් මාලාවක් පවත්වන්නට යෙදුනි.

පොසොන් පුන් පොහෝ දින ශ්‍රද්ධා සජීව විකාශය සේරුවිල මංගල මහා සෑ රජුන් අභියස සිට විකාශය කෙරුණ අතර සවස මහා මිහිඳු අරහන්තක වන්දනාව පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ සිට විකාශනය කරන්නට යෙදුනි.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ සිහිපත් කරමින් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවෙහි ඉදිවූ මිහිඳු විහාරය මනරම් විදුලි බුබුළින් ද දිලෙන පහනින් ද නේක මලින් ද සරසා, උදෑසන ක්ෂීරපායාස පූජාවෙන් ද සවස ගිලන්පස පූජාවන්ගෙන් ද අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පිදුවෙමු. මිහිඳු මහරහතන් වහන්සේගේ අනන්ත ගුණ මිහිරට සජ්ඣායනා කළෙමු. එමෙන්ම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයේදී මුලින්ම දේශනාකොට වදාළ චූළහත්ථිපදෝපම සූත්රය සජ්ඣායනා කර පිරිත් සජ්ඣායනා කර ආමිස පූජාමය වශයෙන් ද උතුම් ප්රතිපත්ති පූජාමය වශයෙන්ද අපගේ පරම පූජනීය, ආදි ගුරුදේවෝත්තම මිහිඳු මහරහතන් වහන්සේ පිදුවෙමු…

එමෙන්ම මීට සමගාමීව බෝවත්ත ශ්‍රී අංගුලිමාල මහා සෑ රජාණන් වහන්සේ අභියස මෙන්ම අනෙකුත් මහමෙව්නාව භාවනා අසපු ශාඛාවන්හී ද පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ ශක්ති පමණින් අපගේ මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ සිහිකරමින් කෘතගුණ පූජාවන් පවත්වන ලදි. එමෙන්ම කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙහිද රෝගීන් සඳහා විශේෂ සීල භාවනා වැඩසටහනක් පැවැත්විණි.

මෙලෙස උතුම් කෘතගුණ පූජාවෙන් අප රැස්කළ සියලු පින් සියල්ලෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා ! සියලු දෙනා නිදුක් නීරෝග සුව ලබත්වා ! මේ පුණ්යානුභාවයෙන්ද තුණුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් ද ලක්දිව පැතිර යන මේ භයානක වසංගතය වහ වහා දුරු වෙත්වා !