අපගේ ආදි ගුරුදේවෝත්තමයන් වහන්සේ වන, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා වසර 2280 ක් ගත වන මිහිඳු පුර අටවක දිනය (ඔක්. 23) නිමිත්තෙන්, ඓතිහාසික ශ්‍රී අනුබුදු මිහිඳු මහා සෑ රජාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍ය මහෝත්සවය 2020 ඔක්තෝබර් මස 24 දින පවත්වන්නට යෙදුනි.

උත්තිය රජතුමා විසින් අපගේ මිහිඳු මහරහතන් වහන්සේට උපහාර පිණිස ඉදිකරන ලදුව වර්ථමානයේ නටඹුන්ව පවතින මෙම උතුම් සෑ රජාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු, ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය අතිපූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඉල්ලීම පරිදි, අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ සැදැහැති දායකත්වයෙන් ද, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති තැන්පත් ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ උපදෙස් පරිදි, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මැතිඳුන්ගේ මැදිහත්වීම මත, ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශයේ ශ්‍රම දායකත්වයෙන් සිදු කිරීමට නියමිතය.  මීට සමගාමීව ධාතු මන්දිරය, අනුබුදු මිහිඳු ගුහාවට පිවිසෙන ශෛලමය පියගැටපෙළ ද ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.

පැතිර යන කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සම්පූර්ණයෙන්ම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් පවත්වන්නට යෙදුනු මෙම පුණ්‍යෝත්සවය සඳහා ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය අතිපූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ, ජපානය ඇතුළු අග්නිදිග ආසියාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පැල්පොළ විපස්සී ස්වාමීන් වහන්සේ, අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ, තායිවානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බෝදාගම චන්දිම ස්වාමීන් වහන්සේ, හිටපු කථිකාචාර්ය අතිපූජ්‍ය පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති තැන්පත් ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් ද, අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමා, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක මැතිතුමා, ෂෙහාන් සේමසිංහ මැතිතුමා, මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මැතිතුමා ඇතුළු ජනතා නියෝජිතයන් ද, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් ද, ආරක්ෂක ප්‍රධානීහූ ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මේ උතුම් කර්තව්‍යයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයෝ සියල්ලෝ සතුටින් අනුමෝදන් වෙත්වා! මෙම දුර්ලභ පින්කමට නන් අයුරින් සහය වූ පින්වත් සියලු දෙනාටත් මේ පින් එක සේ අනුමෝදන් වෙත්වා! දැක බලා හෝ සතුටු වූ පින්වත් සියලු දෙනාටත් එක සේ මේ පින් අනුමෝදන් වෙත්වා! උතුම් චතුරාර්යය සත්‍ය ධර්මාවබෝධයට මේ පින් හේතු උපකාර වේවා!!!

ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය අතිපූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ...

Posted by Shraddha TV on Sunday, October 25, 2020