• රත්න දෙවර්ගයෙකි. අවිඥානික රත්නය ය, සවිඥානික රත්නය ය වශයෙනි. මෙහිලා නිල්, රතු ආදී අනේක මාණික්‍යයන් ද දියමන්ති, වෛදූර්යාදී මාණික්‍යයන් ද විඥානයෙන් තොර හෙයින් එවන් මාණික්‍යයන් අවිඥානික රත්න නම් වේ.

    ඇස්, කන් ආදී ඉඳුරන් සහිත, විඥානයකින් යුතු ඉතාමත් වටිනා හස්තීන්, අශ්වයන් ආදී සත්වයෝ සවිඥානික රත්නයෝ ය. එහිලා වටිනා මුතු, මැණික් ආදියෙන් හස්ති, අශ්වාදී සතුන් අලංකාර කරනු ලබන හෙයින් මෙකී දෙවර්ගයෙන් සවිඥානික රත්නය ම අග්‍ර වේ.

  • සවිඥානික රත්න දෙවර්ගයෙකි. තිරිසන්ගත රත්නය ය, මනුෂ්‍ය රත්නය ය වශයෙනි. මෙහිලා උතුම් කුලයන්ට අයත් හස්ති, අශ්වාදී උදාර සත්වයන් සිටින නමුදු ඔවුන් විසින් මනුෂ්‍ය රත්නය උසුලා ගෙනයනු ලබන වාහන බවට පත්වෙන හෙයින් මනුෂ්‍ය රත්නය ම අග්‍ර වේ.

  • මනුෂ්‍ය රත්න දෙවර්ගයෙකි. ස්ත්‍රී රත්නය ය, පුරුෂ රත්නය ය වශයෙනි. මෙහිලා ස්ත්‍රිය කෙතරම් රූ ඇති නමුදු, නැණබල ඇති නමුදු, ධනයෙන් ආඪ්‍ය නමුදු යොවුන් වියෙහිදී ම නෑසියන්ගෙන් වෙන් ව, පතිකුලයට යා යුත්තී ය. ඒ දුක පුරුෂයෙකුට නැත. එසේ ම ස්ත්‍රිය ඔසප් වන්නී වේ. ඒ දුක පුරුෂයෙකුට නැත. එසේ ම ස්ත්‍රිය දරුගැබ උසුලන්නී වේ. ඒ දුක පුරුෂයෙකුට නැත. ස්ත්‍රිය දරුවන් වදන්නී වේ. පුරුෂයෙකුට ඒ දුක ද නැත. එසේ ම ස්ත්‍රිය සැමියාට උවටැන් කරන්නී වේ. එකරුණෙන් ඕ විඳින දුක පුරුෂයෙකුට නැත. මෙසේ මේ රත්න දෙවර්ගය අතුරෙන් පුරුෂ රත්නය ම අග්‍ර වේ.

  • පුරුෂ රත්න දෙවර්ගයෙකි. ආගාරික පුරුෂ රත්නය ය, අනාගාරික පුරුෂ රත්නය ය වශයෙනි. මෙහිලා ගිහිගෙයි වසමින් කම්සුව අනුභව කරනුවනට අග්‍ර ව සිටින, සප්ත රත්නයෙන් සමන්විත සක්විති මහරජු පවා, ගිහි දිවිය අත්හළ සීලාදී ගුණධර්මයෙන් හෙබි අනාගාරික පැවිදි පුරුෂ රත්නයට පසඟ පිහිටුවා වැඳීම්, උවටැන් කිරීම් ආදී වත් කොට දෙව් මිනිස් සම්පතට පැමිණෙන හෙයින් අනාගාරික පුරුෂ රත්නය ම අග්‍ර වේ.

  • අනාගාරික පුරුෂ රත්න දෙවර්ගයෙකි. පෘථග්ජන අනාගාරික පුරුෂ රත්නය ය, ආර්ය අනාගාරික පුරුෂ රත්නය ය වශයෙනි. මෙහිලා පෘථග්ජන අනාගාරික පුරුෂ රත්නය කෙතරම් ගුණදම් ඇති නමුදු, නැණබල ඇති නමුදු, මහේශාක්‍ය නමුදු, අධිපතිභාවයෙන් යුතු නමුදු, රාජ රාජමහාමාත්‍යයන්ගෙන් පිදුම් ලබන නමුදු මරණින් මතු සිව් අපායෙහි ඉපදීමට ඇති බියෙන් නිදහස් නැත්තේය. එහෙත් ආර්ය අනාගාරික පුරුෂ රත්නය සදා කාලයට ම සිව් අපා දුකින් නිදහස් බැවින් ආර්ය අනාගාරික පුරුෂ රත්නය ම අග්‍ර වේ.

  • ආර්ය මනුෂ්‍ය රත්න දෙවර්ගයෙකි. හික්මෙන ආර්ය මනුෂ්‍ය රත්නය ය, හික්මීම අවසන් කළ ආර්ය මනුෂ්‍ය රත්නය ය වශයෙනි. මෙහිලා හික්මෙන ආර්ය මනුෂ්‍ය රත්නය සිව් අපා දුකින් නිදහස් නමුදු, තම තමන් ලද මාර්ගඵලයන්ට අනුරූප ව සුගති භවෝත්පත්තීන්හි උපත ලබන දුකින් නිදහස් නැත්තේය. එහෙත් සියලු භවෝත්පත්තීන්ගෙන් නිදහස් ව, සසර ඕඝය තරණය කොට, අමා නිවන නමැති දූපතෙහි පිහිටි නික්ලේශී වූ, හික්මීම අවසන් කළ, අර්හත්වය පසක් කළ ආර්ය මනුෂ්‍ය රත්නය ම අග්‍ර වේ.

  • හික්මීම අවසන් කොට අර්හත්වයට පත් මනුෂ්‍ය රත්න දෙවර්ගයෙකි. ප්‍රඥාවිමුක්තය ය, උභතෝභාග විමුක්තය ය වශයෙනි. ප්‍රඥාවිමුක්ත ශ්‍රාවක රත්නය දියුණු කළ ප්‍රඥාවෙන් සත්‍යාවබෝධ කොට, ආශ්‍රවයන් ප්‍රහාණය කොට, අර්හත්ඵල සමවතට සමවදී. උභතෝභාග විමුක්ත ශ්‍රාවක රත්නය වනාහී අරූප ධ්‍යාන, නිරෝධ සමාපත්ති, ෂඩ් අභිඥා ආදී සුවිශේෂී ගුණයන් කයෙන් ස්පර්ශ කොට උත්කෘෂ්ට අයුරින් විමුක්ති සුඛ වළඳින හෙයින් උභතෝභාග විමුක්ත අර්හත් ශ්‍රාවක රත්නය ම අග්‍ර වේ.

  • උභතෝභාග විමුක්ත රත්න දෙවර්ගයෙකි. ශ්‍රාවක පාරමීබල ප්‍රාප්ත අර්හත් මහාශ්‍රාවක රත්නය ය, අර්හත් ශ්‍රාවක රත්නය ය වශයෙනි. මෙහිලා රූපාරූප ධ්‍යාන, නිරෝධ සමාපත්ති, ෂඩ් අභිඥා ආදී සුවිශේෂී ගුණයන් කයෙන් ස්පර්ශ කොට, උත්කෘෂ්ට අයුරින් විමුක්ති සුඛ වළඳින නමුදු, අර්හත් ශ්‍රාවක රත්නයට වඩා තථාගත අර්හත් සම්මා සම්බුදුන් විසින් අතිරේක වශයෙන් මේ මේ කරුණට අග්‍ර යැයි අග්‍ර ඨානාන්තර ලත් හෙයින් ශ්‍රාවක පාරමී බල ප්‍රාප්ත ඨානාන්තර ලාභී අර්හත් ශ්‍රාවක රත්නය ම අග්‍ර වේ.

  • අග්‍ර ශ්‍රාවක, මහාශ්‍රාවක ආදී ඨානාන්තර ලාභී මහේශාක්‍ය ශ්‍රාවක රත්නයට වඩා ගුරූපදේශ රහිත ව ඒකදේශයකින් චතුරාර්ය සත්‍යාවබෝධ කොට පසේබුදුබවට පත් ප්‍රත්‍යේක බුද්ධ රත්නය ම අග්‍ර වේ.

  • ප්‍රත්‍යේක බුද්ධ රත්නයට වඩා ලෝකයෙහි අවබෝධ කටයුතු වූ සකලවිධ ධර්මයන් අතැඹුලක් සේ අවබෝධ කොට, තථාගත දසබල ඤාණ, සිව් විශාරද ඤාණාදිය ලැබ, අනන්ත අපරිමිත ලෝකධාතුවේ යථා ස්වභාවය දැක සම්මා සම්බුද්ධත්වයට පත් ව, දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ, නව අරහාදී ගුණයෙන් ප්‍රතිමණ්ඩිත ව, කෙළ ලක්ෂ ගණන් රහතන් වහන්සේලා ලොවට දායාද කොට වදාළ තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධ රත්නය ම අග්‍ර වේ.

    යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
    සග්ගේසු වායං රතනං පණීතං
    න නෝ සමං අත්ථි තථාගතේන
    ඉදම්පි බුද්ධේ රතනං පණීතං
    ඒතේන සච්චේන සුවත්ථි හෝතු

    භාවය :-
    මෙලොවෙහි හෝ වෙනත් ලොවෙක හෝ යම් කිසි උදාරතර වස්තූන් ඇද්ද, එසේ ම අන්‍ය සුගතීන්හි හෝ අවිඥානික වූත්, සවිඥානික වූත් මේ ප්‍රණීත රත්නයන් ඇද්ද, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ රත්නභාවයට සමකළ හැකි කිසිදු රත්නයක් නැත්තේය. මෙය වනාහී බුදුරජාණන් වහන්සේ නමැති අතිප්‍රණීත එක ම බුද්ධ රත්නය ය. මේ සත්‍යානුභාවයෙන් සෙත් වේවා!

– ධර්මප්‍රදීපිකාව ඇසුරින්
අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ