දහමේ රැකවරණය ලබමු  

අප ගෙවන දිවිය ද අපගේ වටපිටාව ද හේතුඵල දහමට අයත් ය. එනම්, සංස්කාරයෝ ය. සංස්කාරයන්ගේ ස්වභාවය නම් හටගෙන නැසී යාම යි. එනිසා මේ අනිත්‍ය ධර්මයට ලොව සියල්ල ම යටත් ය. ඒ වග ඉතා හොඳින් පසක් කොට වදාළ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ විස්මිත ධර්ම දේශනාවකට සිත යොමු කිරීම වටනේය.

“එක් සමයෙක්හි අප භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වත මුදුනෙහි පිහිටි ගඳකිළියෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂු සංඝයා අමතා වදාළ සේක. ‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස’ යි කියා භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහුය. එසඳ භාග්‍යවතුන් වහන්සේ මෙම අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්ම දේශනාව වදාළ සේක.

‘මහණෙනි, ඉපදෙන මැරෙන මේ සසර පැවැත්මෙහි කෙළවරක් දැනගත නොහැක්කේය. අවිද්‍යාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී සසර ගමනේ යන, භවයෙන් භවයට සැරිසරා යන සත්වයන්ගේ පටන්ගත් කෙළවරක් දැක්ක නොහැක්කේය.

මහණෙනි, පෙර සිදු වූ දෙයකි. එකල මේ පෙනෙන වේපුල්ල පර්වතයට කීවේ පාචීනවංශ යන නාමය යි. එසමයෙහි මහණෙනි, මිනිසුන්ව හඳුන්වන ලද්දේ තිවර යන නමිනි. මහණෙනි, එකල ඒ තිවර මනුෂ්‍යයන්ගේ ආයු ප්‍රමාණය වසර හතළිස් දහසකි. මහණෙනි, තිවර මනුෂ්‍යයෝ පාචීනවංශ නමැති මේ පර්වතයට සිව් දිනකින් නගිත්. සිව් දිනකින් බසිත්.

මහණෙනි, ඒ කාලයෙහි ම අර්හත්, සම්‍යක් සම්බුද්ධ වූ කකුසඳ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූහ. ඒ අර්හත් වූ, සම්‍යක් සම්බුද්ධ වූ කකුසඳ භාග්‍යවතුන් වහන්සේට විධුර හා සංජීව නමින් සොඳුරු අග්‍ර ශ්‍රාවක යුගලක් සිටියේය.

නුවණින් විමසා බලව් මහණෙනි, සංස්කාරයන් නැසී වැනසී ගිය අයුරු. මේ පර්වතයට තිබූ ඒ පාචීනවංශ යන නාමය ද නැති වී ගියේය. ඒ තිවර මනුෂ්‍යයෝ ද මිය ගියාහුය. ඒ කකුසඳ භාග්‍යවතුන් වහන්සේ ද පිරිනිවී ගියාහුය.

මෙසේ මහණෙනි, සංස්කාරයෝ නැසී වැනසී යන හෙයින් අනිත්‍ය මය. මෙසේ මහණෙනි, සංස්කාරයෝ ස්ථිරව නොපවත්නාහ. මෙසේ මහණෙනි, සංස්කාරයෝ අස්වැසිලි රහිතයහ. මේ කාරණයෙනුත් මහණෙනි, සංස්කාරයන් කෙරෙහි කලකිරෙන්ට ම වටනේය. නොඇලෙන්ට ම වටනේය. ඒ කෙරෙහි ඇති ඇල්මෙන් නිදහස් වෙන්ට ම වටනේය.

මහණෙනි, පෙර සිදු වූ දෙයකි. එකල මේ පෙනෙන වේපුල්ල පර්වතයට කීවේ වංකක යන නාමය යි. එසමයෙහි මහණෙනි, මිනිසුන්ව හඳුන්වන ලද්දේ රෝහිතස්ස යන නමිනි. මහණෙනි, එකල ඒ රෝහිතස්ස මනුෂ්‍යයන්ගේ ආයු ප්‍රමාණය වසර තිස් දහසකි. මහණෙනි, රෝහිතස්ස මනුෂ්‍යයෝ වංකක නමැති මේ පර්වතයට තුන් දිනකින් නගිත්. තුන් දිනකින් බසිත්.

මහණෙනි, ඒ කාලයෙහි ම අර්හත්, සම්‍යක් සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූහ. ඒ අර්හත් වූ, සම්‍යක් සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවතුන් වහන්සේට භිය්‍යෝස හා උත්තර නමින් සොඳුරු අග්‍ර ශ්‍රාවක යුගලක් සිටියේය.

නුවණින් විමසා බලව් මහණෙනි, සංස්කාරයන් නැසී වැනසී ගිය අයුරු. මේ පර්වතයට තිබූ ඒ වංකක යන නාමය ද නැති වී ගියේය. ඒ රෝහිතස්ස මනුෂ්‍යයෝ ද මිය ගියාහුය. ඒ කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ද පිරිනිවී ගියාහුය.

මෙසේ මහණෙනි, සංස්කාරයෝ නැසී වැනසී යන හෙයින් අනිත්‍යයහ. මෙසේ මහණෙනි, සංස්කාරයෝ ස්ථිරව නොපවත්නාහ. මෙසේ මහණෙනි, සංස්කාරයෝ අස්වැසිලි රහිතයහ. මේ කාරණයෙනුත් මහණෙනි, සංස්කාරයන් කෙරෙහි කලකිරෙන්ට ම වටනේය. නොඇලෙන්ට ම වටනේය. ඒ කෙරෙහි ඇති ඇල්මෙන් නිදහස් වෙන්ට ම වටනේය.

මහණෙනි, පෙර සිදු වූ දෙයකි. එකල මේ පෙනෙන වේපුල්ල පර්වතයට කීවේ සුඵස්ස යන නාමය යි. එසමයෙහි මහණෙනි, මිනිසුන්ව හඳුන්වන ලද්දේ සුප්පිය යන නමිනි. මහණෙනි, එකල ඒ සුප්පිය මනුෂ්‍යයන්ගේ ආයු ප්‍රමාණය වසර විසි දහසකි. මහණෙනි, සුප්පිය මනුෂ්‍යයෝ සුඵස්ස නමැති මේ පර්වතයට දෙදිනකින් නගිත්. දෙදිනකින් බසිත්.

මහණෙනි, ඒ කාලයෙහි ම අර්හත්, සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූහ. ඒ අර්හත් වූ, සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට තිස්ස හා භාරද්වාජ නමින් සොඳුරු අග්‍ර ශ්‍රාවක යුගලක් සිටියේය.

නුවණින් විමසා බලව් මහණෙනි, සංස්කාරයන් නැසී වැනසී ගිය අයුරු. මේ පර්වතයට තිබූ ඒ සුඵස්ස යන නාමය ද නැති වී ගියේය. ඒ සුප්පිය මනුෂ්‍යයෝ ද මිය ගියාහුය. ඒ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ද පිරිනිවී ගියාහුය.

මෙසේ මහණෙනි, සංස්කාරයෝ නැසී වැනසී යන හෙයින් අනිත්‍යයහ. මෙසේ මහණෙනි, සංස්කාරයෝ ස්ථිරව නොපවත්නාහ. මෙසේ මහණෙනි, සංස්කාරයෝ අස්වැසිලි රහිතයහ. මේ කාරණයෙනුත් මහණෙනි, සංස්කාරයන් කෙරෙහි කලකිරෙන්ට ම වටනේය. නොඇලෙන්ට ම වටනේය. ඒ කෙරෙහි ඇති ඇල්මෙන් නිදහස් වෙන්ට ම වටනේය.

මහණෙනි, මෙකල්හි වනාහී මේ පර්වතයට කියනු ලබන්නේ වේපුල්ල යන නාමය යි. එමෙන්ම මහණෙනි, මෙකල ජීවත් වන මේ මනුෂ්‍යයන්ට කියන්නේ මගධ වැසියෝ කියා ය. මහණෙනි, මගධ මිනිසුන්ට ඇත්තේ අල්ප ආයු ප්‍රමාණයකි. ඉතා ස්වල්පයෙකි. ටිකකි. යම් මගධ මනුෂ්‍යයෙක් චිරාත් කාලයක් ජීවත් වේ නම් හේ ජීවත් වන්නේ සිය වසකි. සිය වසට ටිකක් හෝ වැඩියෙනි. මහණෙනි, මගධ මනුෂ්‍යයෝ වේපුල්ල පර්වතයට මොහොතකින් නගිත්. මොහොතකින් බසිත්.

මහණෙනි, දැන් මෙකල්හි වනාහී අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ මම් ලොව පහළ ව සිටිමි. මහණෙනි, මා හට ද සාරිපුත්ත හා මොග්ගල්ලාන නමින් සොඳුරු අග්‍ර ශ්‍රාවක යුගලක් සිටියි. මහණෙනි, මේ පර්වතයට දැන් කියන වේපුල්ල යන නාමයක් ඇද්ද, මේ නාමය ද අතුරුදන් වී යන කාලයක් එන්නේය. මගධ නමැති මේ මනුෂ්‍යයෝ ද මැරී යන්නාහ. මම් ද පිරිනිවී යන්නෙමි.

භාග්‍යවතුන් වහන්සේ මෙම අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මය වදාළ සේක. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ නැවත  මේ ගාථාවන් ද වදාළ සේක.

තිවර මිනිසුන් සිටි යුගයේ – මෙය පාචීනවංශ නම් විය
රෝහිත මිනිසුන් සිටි කල – වංකක නමින් මෙය හැඳින්විය
සුප්පිය නමැති මිනිසුනට – මෙය සුඵස්ස නම් විය 
මගධ මිනිසුන් සිටින මෙකලට – වේපුල්ලගිරි නම් මෙයයි

හේතුඵල දහමින් නිපන් – සියලු දේ ඒකාන්තයෙන්
නැසී වැනසී යත් ම ය – ඉපිද නැසී යාම ධර්මතාවකි
ඉපදී නිරුද්ධ වී යන – මෙවන් සංස්කාරයන්ගේ
සංසිඳීයාම සැපයෙකි!

(වේපුල්ල සූත්‍රය – සං.නි. 2)

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඒකාන්තයෙන් ම සත්‍යයක් ම වදාළ සේක. අහෝ!… දැන් ඒ රජගහ නුවර ද ඝන කැලෑවෙන් වැසී ගියේය. ගිජුකුළු පව්වේ සොඳුරු ගඳකිළිය නටබුන් වැ ගියේය. වේපුල්ල පර්වතයට දැන් කියන්නේ විපුලගිරි කියා ය. එය ද නිගණ්ඨ ජෛනයින් සතු ය. අහෝ!… අප භාග්‍යවතුන් වහන්සේ ද පිරිනිවී ගිය සේක. සැරියුත් මුගලන් දෑගසව්වෝ ද පිරිනිවී ගියාහුය. සඟරුවන නොපෙනී ගියේය. බුදුසසුන ද අතුරුදන් වැ ගියේය. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ නොපෙනී ගියෝය. සියල්ල නැසී වැනසී ගියාහුය. අහෝ!… සංස්කාරයෝ ඒකාන්තයෙන් ම අනිත්‍ය මය. නැසී වැනසී යන සුල්ලහ. මේ කෙරෙහි කළකිරීම ම වටනේය. නොඇල්ම ම වටනේය. ඇල්ම දුරුකැර ගැන්ම ම වටනේය. එවන් සංස්කාරයන්ගේ සංසිඳීම සැපයෙකි යි කියා භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අහෝ අසිරිමත් යැ!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

 

                   මුල් පිටුවට