යහගුණදම් පසෙකලා, නොයෙක් ළාමක සිතුවිලිවල පැටලීගත් වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී අද්‍යතන තාරුණ්‍යය ගෞතම බුදුරජුන්ගේ දහම තුළ සුවපත් කරනු පිණිස ශ්‍රද්ධා රූපවාහිනිය මඟින් හත්වෙනි වරටත් සංවිධාන කළ “යොවුන් දහම් සක්මන” සදහම් වැඩසටහන 2022 පෙබරවාරි 13 වැනි දින කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේ දී පවත්වන්නට යෙදිණි.

අපගේ ගුරුදේවෝත්තම අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මුලස්ථානයේ ගරු අනුශාසක පූජ්‍යපාද ආණමඩුවේ සුමේධ ස්වාමීන් වහන්සේ, මාවරමණ්ඩිය සිරි ගෞතම විහාරයේ විහාරාධිපති, හිටපු විශ්වවිද්‍යාල කථිකාචාර්යය පූජ්‍යපාද පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ මෙහෙයවනු ලැබූ මෙවර යොවුන් දහම් සක්මන, පිරිසගේ සහභාගීත්වයෙන් තොරව ගුවන්විදුලි, රූපවාහිනී, අන්තර්ජාල සජීවී විකාශයනයන් ලෙස පවත්වනු ලැබීය. ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, සූත්‍ර සජ්ඣායනා ආදී නන්විධ පුණ්‍ය දහරාවන්ගෙන් මෙම වැඩසටහන සමන්විත විය.

එමෙන්ම සිරි යශෝධරා මහා සෑයේ නිල වෙබ් අඩවිය සිරි යශෝධරා මහා සෑය | Siri Yashodhara Maha Seya (siriyashodharamahaseya.com) ද මෙහිදී විවෘත කරන්නට යෙදුණි.

මෙම උතුම් ධර්මදානමය පුණ්‍යකර්මයෙන් රැස්වූ සියලු පින් ගෞතම බුදුසසුන සුරකින සියලු දෙවියන්ටත් මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනගාරිකා මෑණිවරුන්ටත්, අනගාරික පින්වතුන්ටත් අනුමෝදන් වෙත්වා.!

මේ උතුම් කටයුත්ත සාර්ථක කරගනු පිණිස නන් අයුරින් උපකාර කළ සියලු පින්වතුන්ටත්, වැඩසටහනට සහභාගී වූ තරුණ, වැඩිහිටි සියලු පින්වතුන්ටත්, දැකබලා සතුටුවන පින්වත් ඔබ සැමටත් අනුමෝදන් වෙත්වා! සුවසේම පින් රැස් කර ගනිමින් සිල් ගුණදම් ආරක්ෂා කරගනිමින් මේ ගෞතම බුදුසසුන තුළදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා!