විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් යහපත් අනාගතයක් ගොඩනගනු වස් සිහින දකින වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී සොඳුරු තාරුණ්‍යය ගෞතම බුදුරජුන්ගේ දහම තුළින් සුවපත් කරනු පිණිස මහමෙව්නාව භාවනා අසපු සංචිතයේත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේත් නිර්මාතෘ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් මහමෙව්නාව භාවනා අසපු සංචිතය සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය එක්ව 11 වන වරටත් සංවිධානය කළ ‘යොවුන් දහම් සක්මන’ සදහම් වැඩසටහන 2026 පෙබරවාරි 14 වැනි දින 11000කට අධික තරුණ පිරිසකගේ සහභාගීත්වයෙන් කඩුවෙල – හේවාගම බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාවේ (BCH) දී අතිසාර්ථකව නිමාවට පත්විය.

මහා විහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි, පුස්සැල්ලාව මන්තින්දාරාමාධිපති, පුස්සැල්ලාව ශුද්ධ ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පති, ආචාර්ය අතිපූජ්‍ය පුස්සැල්ලාවේ සෝමවිසුද්ධි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී, ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ උපකුලපති, අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහාකප්පිත වලව්ව මූලස්ථාන විහාරයේ විහාරාධිපති, රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය බලපිටියේ සිරි සීවලී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වැඩමවීමෙන්, මහා විහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, විධායක කාරක සංඝ සභික, අම්බලන්ගොඩ පොල්වත්ත අග්ගාරාමය ඇතුළු පංච මහා විහාරයන්හි විහාරාධිපති ශාස්ත්‍රපති අතිපූජ්‍ය කොබෙයිතුඩුවේ විජිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වැඩමවීමෙන්, සහ පූජ්‍යපාද වැලිමඩ සද්ධාසීල ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මාවරමණ්ඩිය සිරි ගෞතම විහාරයේ විහාරාධිපති සහ හිටපු විශ්ව විද්‍යාල කථිකාචාර්ය පූජ්‍යපාද පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පූජ්‍යපාද බණ්ඩාරවෙල සන්තදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පූජ්‍යපාද අංකුඹුරේ අමිතදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පූජ්‍යපාද එංගලන්තයේ සද්ධාසුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ආචාර්ය පින්වත් ගයාන් චානුක විදානපතිරණ මහතා සහ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා (ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය) විසින් මෙහෙයවනු ලැබූ මෙවර යොවුන් දහම් සක්මන ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ආදී නන්විධ විශේෂාංගයන්ගෙන් සමන්විත විය.

මෙම උතුම් ධර්මදානමය පුණ්‍යකර්මයෙන් රැස්වූ සියලු පින් ගෞතම බුදුසසුන සුරකින සියලු දෙවියන්ටත් බුදු සසුනෙහි පිළිවෙත් පුරන පින්වත් මහා සංඝරත්නයටත්, මේ උතුම් කටයුත්ත සාර්ථක කරගනු පිණිස නන් අයුරින් උපකාර කළ සියලු පින්වතුන්ටත්, වැඩසටහනට සහභාගී වූ තරුණ, වැඩිහිටි සියලු පින්වතුන්ටත්, දැකබලා සතුටුවන පින්වත් ඔබ සැමටත් සුවසේම පින් රැස් කර ගනිමින් සිල් ගුණදම් ආරක්ෂා කරගනිමින් මේ ගෞතම බුදුසසුන තුළ දී ම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිස ම හේතු වාසනා වේවා!