මේ උතුම් ග්රන්ථ රත්නය පිළිබඳ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ විසින් මෙසේ හඳුන්වාදී ඇත. අග්ගමහාපණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මාහිමිපාණෝ සිය ‘පාළි සාහිත්‍යය’ නැමැති කෘතියෙහි මෙම නෙත්තිප්ප්රකරණය පිළිබඳව මෙබඳු අදහසක් පවසති. “මෙය සූත්‍ර පිටකයෙහි ඇතුළත් ධර්මයන් ඒ ඒ කොටස් වලට බෙදා දැක්වීම සඳහා සම්පාදිත වූ ධර්ම විභාගයකි. පේටකෝපදේසය ද, නෙත්තියේ අඩුව පිරවීම සඳහා සම්පාදිත ග්රන්ථයක් සේ පෙනේ. නෙත්තිප්රකරණය මහාශ්‍රාවක කාත්‍යායන තෙරුන් විසින් ලියන ලදැයි නෙත්ති අටුවාව ලියූ ධර්මපාලාචාර්යයන් පිළිගෙන තිබේ. නමුත් පෞරාණිකයන්ගේ වුවත් අනුමානයෙන් පළ කළ මතයන් පිළිනොගන්නා මේ කාලයේ වසන අප විසින් ඒ මතය පිළිගත නොහැකිව තිබේ. නෙත්තිප්‍රකරණයේ මුලම තිබෙන සංගහවාරයේ තෙවෙනි ගාථාව මෙසේය. ‘සෝළසහාරා නෙත්ති පඤ්චනයා ‘මහා කාත්‍යායන තෙරුන් විසින් ප්‍රකාශිත වූ බුද්ධ ධර්මයාගේ අර්ථ සෙවීමක් වූ නෙත්ති තොමෝ හාරසොළොසක් ඇත්තීය. නය පසක් ඇත්තීය. මූලපද අටළොසක් ඇත්තීය’යි මේ ගාථාවෙන් කියවේ. මින් පසුත් කීප තැනකදී ‘තේනාහ ආයස්මා මහා කච්චානෝ’ ‘ආයුෂ්මත් මහා කාත්‍යායන තෙමේ එබැවින් මෙසේ කීය’ යන වාක්‍යය පෙනේ. එයින්ම මේ ග්‍රන්ථය මහා කාත්‍යායන තෙරුන් විසින් මේ ආකාරයෙන්ම සම්පාදිත නොවූ බව පැහැදිලි වේ. සූත්‍ර පිටකයෙහි ‘ඒවං මේ සුතං’ ‘මෙසේ මා විසින් අසන ලදි’යන්න යොදා බුද්ධ වචනයන් ඇතුළත් කොට ප්‍රකාශ කළා සේ ම මෙහි මහා කාත්‍යායන මහ තෙරුන්ගේ ඉගැන්වීම් ක්‍රමය ඇතුළත් කොට අන්‍යයන් විසින් මෙය සම්පාදිත බව පැහැදිලි වේ. ඒ අන්‍යයෝ නම් ප්‍රථම සංගීතිකාරක මහා තෙරවරු ම යැයි ධර්මපාලාචාර්යයන්ගේ පිළිගැනීමයි. මෙය ප්‍රථම සංගීතියට ඇතුළත් වූවා නම් කුදුගොත් සඟියේ පොතක් ලෙස එහි ඇතුළත් විය යුතුය. බුරුමරටවැසි මහතෙරවරු එය එසේම පිළිගෙන ත්‍රිපිටක ග්රන්ථ මාලාවෙහි නෙත්ති – පේටකෝපදේස දෙක පමණක් නොව මිළින්ද ප්රශ්නය ද ඇතුළත් කෙරෙත්. ප්‍රථම සංගීතියට ඇතුළත් වූවත් නොවූවත් මේ පොත ඊට ආසන්න කාලයකදී ම ප්‍රකරණයක් වශයෙන් පිළියෙල වී යයි පිළිගත හැක. අභිධර්මය ගැන කිසිවක් මේ පොතේ සඳහන් නොවේ. එයින් උද්ධෘත පාඨ කිසිවක් ද දක්නට නැත. මෙය අභිධර්මය සකස් කිරීමට මත්තෙන් සම්පාදිත වූවක් යයි කිව යුතුයි…. සත්‍යවිනිර්මුක්ත බුද්ධ දේශනාවක් නැති බැවින් හැම බුද්ධ දේශනාවකම ඇතුළත් සත්‍ය මොනවා දැයි සෙවීම මේ ආවට්ටහාරයෙන් කරනු ලැබේ. මේ නෙත්ති ක්‍රමය අනුව ඉගැනීමක් මෙකල ථේරවාදීන් අතර නැත.” යනුවෙනි. තවද බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාවෙහි නෙත්තිප්ප්රකරණයෙහි පාඨ ශෝධන පූර්වක සිංහල අනුවාදය කරන ලද්දේ රාජකීය පණ්ඩිත ලබුගම ලංකානන්ද මහානායක මාහිමියන් විසිනි. උන්වහන්සේ සිය සංඥාපනයෙහි මෙසේ අදහස් දක්වති. “…….. මහා කච්චායන තෙරණුවෝ නෙත්තිනය දේශනාවට පැමිණ දේසනා හාරාදීන්ගේ ලක්ෂණ ව්‍යක්ත කිරීම පිණිස නිදසුන් දක්වන්නාහු යම් යම් ගාථා ධර්මයක්, සූත්‍ර පාඨයක් එළවන ලද නම් බෙහෙවින් සංයුත් සඟියෙහි බැසගෙන සිටි නිදසුන් බව පෙනේ. යළි උදාන පාළි, ධම්මපද, ජාතක, අංගුත්තර නිකාය, ඉතිවුත්තක, විමාන වත්ථු යන දේශනාවන්හි සිටි සූත්‍ර බෙහෙවින් දැක්වූ අතර දික් සඟි, මැදුම් සඟි දෙක්හි සිටි නිදසුන් මඳ වෙයි. මෙහි සිට විමසීමට භාජනය කළ යුතු කරුණු ද ඇත. වාසනාභාගීය සූත්‍රයට අයත් නිදසුන් කළ ‘පිණ්ඩාය කෝසලං පුරං’ යනාදී තුදුස් ගයකින් යුතු වටංසක නම් අනාගත පසේබුදු කෙනෙකුන් පිළිබඳ පුවත සංගීතියට නැගුණු පිටක ග්‍රන්ථයක මෙතෙක් හමුවූයේ නැත. එසේමැ ථේර ගාථා හෝ අපදාන පාළියෙහි සැඟැහිය යුතු චරිත කීපයකට අයත් සේ පෙනෙන ගාථා ද ඇත. මෙසේ අප හමුවෙහි ඇති ත්‍රිපිටක ග්‍රන්ථයක නොපැනෙන ගාථා පසු කලෙක භාණකයන් අතින් ගිලිහී ගියා විය හැකිය. නොහොත් සංගීතිකාරකයන් විසින් සංගීතියට නොනගන ලද හෝ විය හැකිය……… තවද නෙත්තිප්‍රකරණයෙහි නිදසුන් වශයෙන් එළවූ ඇතැම් සූත්‍ර ප්‍රදේශ ත්‍රිපිටකයෙහි කවර තැනෙක සංග්‍රහ වී ඇද්දැයි සොයා ගත නොහැකි විය.” යනුවෙනි. මෙම නෙත්තිප්ප්රකරණය පිළිබඳව අපට වැටහෙන අයුරු මෙසේය. මෙහි සඳහන් ආකාරයට ධර්මය විග්රහ කිරීම නම් පටිසම්භිදාලාභී මහා ක්ෂීණාශ්රව රහතන් වහන්සේ නමකට විනා අන්‍ය වූ කොතරම් ව්‍යක්ත කෙනෙකුට වුවත් කිසිසේත් කළ නොහැක්කේය. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඉගෙන ගැනීමටත්, එහි අර්ථ විමසීමටත්, යෝනිසෝ මනසිකාරයෙහි යෙදීමටත් මෙම ග්‍රන්ථයෙන් ලැබෙන පිටුවහල වචනයෙන් වර්ණනා කොට අවසන් කළ නොහැකිය. එතරම්ම සාරගර්භ වේ. මෙය ඒකාන්තයෙන්ම මහා කච්චායන මහරහතන් වහන්සේ විසින් කරන ලද ධර්ම විග්‍රහයක් බව කිව යුතුය. එය දැන් අපට ලැබී ඇති ආකාරයට වෙනත් මහතෙරවරු විසින් ප්‍රකරණයක් ලෙස සකසන්නට ඇත. මෙහි හැම තන්හිම ‘එබැවින් මහා කච්චායනයන් වහන්සේ මෙය වදාළහ’ යන මෙම පාඨය ඒ ඒ තන්හි ඉස්මතු කරනු ලබන්නේ එනිසාය. ඔබ නුවණැත්තෙක් නම් ඔබව තථාගත ධර්මයට පමුණුවාලීමට සමර්ථ වූ මෙම අසිරිමත් ග්‍රන්ථය විවේක සිතින් යුතුව කියවන්න. ඉවසීමෙන් කියවන්න. නැවත නැවත කියවන්න. මෙහි දැක්වෙන ධර්ම විග්රහයයන් වටහා ගැනීමට මහන්සි ගන්න. එයින් මතුවන ධර්ම ප්‍රීතිය අත්විඳින්න. එවිට සැබැවින්ම මෙය තථාගත ධර්මය අසිරිමත් ලෙස විග්රහ කෙරෙන මාහැඟි පොත් වහන්සේ නමක් බව ඔබට ම පසක් වනු නිසැකය. මෙම ධර්ම ග්‍රන්ථය ශ්‍රද්ධාවෙන් පරිශීලනය කිරීමෙන් අප සියළු දෙනා හට චතුරාර්ය සත්‍යාවබෝධයට උපකාර වේවා !
සාසනපරියෙට්ඨි අට්ඨාරසමූලපදා
මහා කච්චානේන නිද්දිට්ඨා’
උතුම් වූ ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න...
One Comment
Comments are closed.
අප ඉපදුන මේ යුගය වාසනාවක් බව හැඟුනේ ඔබ වහන්සේ නිසාය.. පින්වත් ස්වාමින් වහන්ස. මේසේම තව තවත් ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල දහම දෙවි මිනිසුන්ට බෙදා දෙන්නට ඔබ වහන්සේට ධෛර්යය වාසනාවම ලැබේවා. සාදූ..සාදූ..සාදූ…