BlogTemplate

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් – 19

ජීවිතය ජය ගන්න මහා බුදු ගුණ පිරි සත්‍ය ක්‍රියාවක් මෙන්න

ප සියලු දෙනා සාමාන්‍ය මිනිසුන් ලෙස හැසිරුණත් අපගේ සිත් පිරී ඇත්තේ කොයිතරම් මහන්තත්වයකින්ද…? ඔබගේ චරිතය දෙස දවසක් ඔබම බලා සිටින්න. අප කොයිතරම් උඩඟු පුද්ගලයන්දැයි ඔබට ද සිතා ගත නොහැකි වනු ඇත. අනන්ත සසර පුරා දුක් විඳිමින් අප රැගෙන ආවේ මේ මමත්වය නොවේද…? ඒ ගැන සිතා දැන්වත් අප ධර්ම මාර්ගයේ උතුම් අරමුණු පෙරදැරිව යායුතු නොවේද…? ඒ සඳහා අපට මඟ පෙන්වා දුන්නේ ඒ මහා සම්මා සම්බුද්ධයාණන් වහන්සේය. අද අපට ඒ මහා ගුණ කඳ සිහිපත් කරදෙනුයේ පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝය. ඔබගේ ජීවිතයේ ප්‍රශ්න ජයගැනීම සඳහා ඒ මහා බුද්ධ බලය සහ ඔබේ කුසලය එක් කරගත් සත්‍ය ක්‍රියාවක් ද උන්වහන්සේ අපට මෙවර සිහිපත් කර දෙන්නෝය.

සක්විති රජ පදවිය ලබන කෙනා පවා චතුරාර්ය සත්‍යාවබෝධය ලබා ගන්නා තුරු සතර අපා දුකින් නිදහස් නො වේ. අපත් කී වාරයක් නම් සක්විති රජවරු වෙන්නට ඇද්ද? ඒ සක්විති රජවරුන්ට තිබූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කිසිවක් දැන් අපට නැත. අපි කලාතුරකින් දෙව්ලොවටත්, බඹලොවටත් ගියෙමු. මිනිස් ලොවට ආවෙමු. තිරිසන් අපායේ ගත කළ කාලය කොතරම් දිගු දැයි කවුරු නම් දනිත් ද? ප්‍රේත ලෝකයේ නිරයේ දුක් විඳි කාලය කොතරම් දිගු දැයි කවුරු නම් දනිත් ද?

මෙතරම් දිගු කලක් මුළුල්ලේ ඉපදීමත්, ජරාවත්, මරණයත් වැළඳගෙන අප සසර ගමනක පැටලී සිටින බව අප මෙතෙක් දැන සිටියේ නැත. එහෙත් දැන් අපි එය දනිමු. අපගේ ජීවිත තුළ පවතින සැබෑ ම අනතුර කුමක් දැයි අපි දැන් දනිමු. මේ දක්වා ම නිමා නො වන සසර ගමනක් උරුම වූයේ මක් නිසා දැයි දැන් අපි දනිමු. කලාතුරකින් පහළ වන අසිරිමත් මනුෂ්‍ය රත්නයක් වන භාග්‍යවත් වූ, අරහත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අපට වදාරණ ලද ශ්‍රී සද්ධර්මය නිසා අප එය දැනගතිමු.

චතුරාර්ය සත්‍යාවබෝධයට පැමිණෙන තුරු සතර අපා දුකින් නිදහස් විය නො හැකි බව අපට පහදා දුන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ ය. චතුරාර්ය සත්‍යය යනු කුමක් දැයි අපට පහදා දුන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ ය. මේ සා දිගු ගමනක් අප සසර පුරා සැරිසරා ආවේ ස්ථිර වූ, නොවෙනස් වූ කිසිවක් නිසා නො ව හේතූන් නිසා ඵල හටගන්නා ධර්ම නියාමයක් මත බව අපට පහදා දුන්නේ උන්වහන්සේ ය. හේතූන් නැති වීමෙන් ඵල ද නැති වී යන ස්වභාවයෙන් යුක්ත යෑයි අපට පහදා දුන්නේ උන්වහන්සේ ය.

මේ හේතු ඵල දහමින් සකස් වූ ජීවිතය පිළිබඳ යථාභූත ඤාණය ඇති කර ගත හැකි බව අපට පහදා දුන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ ය.

ලොව සියලු දෙය අනිත්‍ය බවත්, අනිත්‍ය වූ සියල්ල ම දුකට අයත් වන බවත්, දුක් වූ සියල්ල තමාගේ වසඟයේ පවත්වා ගත නො හැකි නිසා අනාත්ම බවත් අපට පහදා දුන්නේ උන්වහන්සේ ය. ඒ යථාර්ථය අවබෝධ කර ගැනීම බුද්ධිමත් කෙනෙකුට කළ හැකි බවත් පහදා දුන්නේ උන්වහන්සේ ය. එවිට මේ හේතු ඵල දහමින් සකස් වූ ජීවිතයේ ස්වභාවය අවබෝධ වන බවත්, ඒ නිසා ම ඒ ගැන කලකිරෙන බවත්, ඒ නිසා ම ඒ ගැන ඇල්ම දුරුවීමෙන් එයින් නිදහස් වන බවත් පහදා දුන්නේ උන්වහන්සේ ය.

හේතුඵල දහමින් සකස් වූ දුක හේතු නැති වීමෙන් නැති වී ගිය විට ඔහු දුකින් නිදහස් වන බවත් අපට පහදා දුන්නේ උන්වහන්සේ ය. ඒ කෙනා අමා මහ නිවන නම් වූ අතිඋදාර සැපයට පත්වන බවත්, ඒ අමා නිවන් හේතූන්ගෙන් හට නො ගත් නිසා ජාති, ජරා, මරණ කිසිවක් එහි නැති බවත් අපට පහදා දුන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ ය.

ඒ සඳහා සීල, සමාධි, ප්‍රඥාවෙන් යුතු වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු පුහුණු කළ යුතු බවත්, ඒ ආර්ය මාර්ගය සම්පූර්ණ කර ගත් විට ඒ අමා නිවන සාක්ෂාත් කළ හැකි බවත් අපට පහදා දුන්නේ උන්වහන්සේ ය.

ඒ ආර්ය මාර්ගය තුළින් බුද්ධිමත් කෙනෙකුට සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් යන අවස්ථා හතර දක්වා දියුණු කර ගනිමින් ඒ අමා නිවනට පත් වීම පිණිස කෙමෙන් කෙමෙන් නිකෙලෙස් විය හැකි බවත් පෙන්වා වදාළේ ඒ භාග්‍යවතුන් වහන්සේ ය.

අපට කොතරම් ආදරය කළ අය සිටිය ද ඒ කවුරුත් අපට මේ දෙය පවසා නැත. අපට කොතරම් සෙනෙහසින් සිටියත් බොහෝ දෙනෙක් අප සසර දුකින් නිදහස් වීම ගැන ද කැමැති නැත. එවන් මිනිස් ලොවක අපගේ භාග්‍යවතුන් වහන්සේ මොනතරම් කරුණාවකින් අපට මේ උතුම් සත්‍යය පහදා දෙන සේක් ද?

මේ උතුම් මොහොතේ අපිත් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස උත්සාහ නොකළොත් සතර අපායට වැටෙන සුලු සසරින් නිදහස් වීමට අපට නො හැකි වනු ඇත. එනිසා අප කළ යුත්තේ වහ වහා චතුරාර්ය සත්‍යාවබෝධයට වෑයම් කිරීම යි. මේ තමයි උතුම් ම මොහොත, ආයෙ කවදා නම් මෙවන් උතුම් මොහොතක් අපට මුණ ගැසේවි ද?

සත්‍ය ක්‍රියාව සඳහා පිළිවෙත

(මෙම සත්‍ය ක්‍රියාව ඔබ සඳහා සිදුකරන විට මම යනුවෙන් භාවිත කරන්න)

ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා !!!

1. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාග, ද්වේශ, මෝහ නසා, සියලු ආශ්‍රවයන් නසා උතුම් අර්හත්වයට පත් වූ බව ඒකාන්ත සත්‍යයයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

2. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව, තමන් වහන්සේ තුළින් ම උපදවා ගත් ඤාණයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කොට සම්මා සම්බුද්ධත්වයට පත් වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

3. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඤාණය, චුතූපපාත ඤාණය, ආසවක්ඛය ඤාණය, තථාගත දසබල ඤාණ, සිව් විශාරද ඤාණ, යමක මහා ප්‍රාතිහාර්ය ඤාණ, මහා කරුණා සමාපත්ති ඤාණ ආදී උතුම් අසිරිමත් නුවණින් යුතුව, මනා හැසිරීමෙන් යුතුව, විජ්ජාචරණ සම්පන්න වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

4. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර සෘර්ධිපාද, පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සප්ත බොඡ්ඣංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් මනාව දියුණු කොට අමා නිවනට පැමිණි හෙයින් සුගත වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

5. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු බ්‍රහ්ම ලෝක, සියලු දිව්‍ය ලෝක, මේ මිනිස් ලෝකය, සතර අපාය ආදී ලෝකයන් ද ස්කන්ධ ලෝක, ධාතු ලෝක, ආයතන ලෝක ආදී සකල ලෝකයන් අතැඹුලක් සේ අවබෝධ කොට ඒ සියලු ලෝකයෙන් නිදහස් වී ගිය හෙයින් ලෝකවිදූ වූ බව ඒකාන්ත සත්‍ය යි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

6. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දමනය වීමෙහිලා දුෂ්කර වූ නමුත් ධර්මාවබෝධයට පින් ඇති දෙව් මිනිස් සත්වයන් සෘද්ධි ප්‍රාතිහාර්ය බලයෙන් ද, ආදේශනා ප්‍රාතිහාර්යය බලයෙන් ද, අනුශාසනා ප්‍රාතිහාර්ය බලයෙන් ද දමනය කොට දහමෙහි කීකරු කරවා අමා සුවයට පමුණුවාලූ හෙයින් අනුත්තර පුරිසදම්ම සාරථි වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

7. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නුවණැති දෙවියන්ගේ ද, නුවණැති මිනිසුන්ගේ ද එකම ශාස්තෘන් වහන්සේ වන හෙයින් සත්ථා දේවමනුස්සානං වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

8. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කරන ලද චතුරාර්ය සත්‍ය ධර්මය අන් අයට ද එලෙසින් ම අවබෝධ කරවූ හෙයින් බුද්ධ වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

9. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ අසිරිමත් සම්බුදු ගුණ දරා වැඩ සිටීමට තරම් භාග්‍යවත් වූ සේක. හිරු සඳු එළිය පරදන ප්‍රඥාලෝකය දරා වැඩ සිටීමට තරම් භාග්‍යවත් වූ සේක. දෙතිස් මහා පුරිස් ලකුණින් බැබළී ගිය විස්මිත වූ රූපකායක් දරා වැඩ සිටීමට තරම් භාග්‍යවත් වූ සේක. මෙසේ සියලු භාග්‍යවත් ගුණයෙන් පිරිපුන් හෙයින් භගවා වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා!

මෙසේ ලෝකයෙහි පරම ශේෂ්ඨ වූ නරාසභ වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යානුභාවයෙන් ද, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරන ලද නෛර්යාණික ශ්‍රී සද්ධර්මයේ සත්‍යානුභාවයෙන් ද, ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක වූ ලෝකයෙහි අනුත්තර පින්කෙත වූ උතුම් රහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයේ සත්‍යානුභාවයෙන් ද ඔබට සියලු යහපත සැලසේවා! අතුරු ආන්තරා දුරු වී සියලු ආරක්ෂාව සැලසේවා! ඔබේ දැහැම් ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා! අද දවස පුරා ඔබට සැනසිල්ලත් ප්‍රීතියත් සැපතත් උදාවේවා!

(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර