BlogTemplate

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් – 18

නින්දෙන් පිබිදුණා සේ මරණින් මතු දෙව් ලොව ඉපදීමට මෙන්න මඟ…

දේව ආකර්ෂණය තමා වෙත ලබා ගැනීම සඳහා, මරණින් මතු නිවන් දකිනා තාක් දිව්‍ය ලෝකයේ ඉපදීම සඳහා අප බොහෝ දෙනෙකු තුළ අධික උනන්දුවක් පවතී. එසේ වුවත් ඒ සදහා සද්ධර්මයෙන් වදාළ භාවනා මාර්ගයේ ගමන් කරනුයේ අපෙන් කී දෙනාද…? පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ විසින් පවත්වන මේ ධර්ම අනුශාසනාව වෙන්වනුයේ එම මාර්ගය පිළිබඳව ඔබ දැනුවත් කරන අටියෙනි.

අද අපි ඉගෙන ගන්නේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයකු දියුණු කළ යුතු තවත් භාවනාවක් වන දේවතානුස්සති භාවනාව යි. බුදුරජාණන් වහන්සේ දෙවියන්ටත්, මිනිසුන්ටත් නිවන් මග පෙන්වා දෙන එක ම ශාස්තෘන් වහන්සේ නිසා “සත්ථා දේවමනුස්සානං” කියා හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ධර්ම මාර්ගය දියුණු කළ මග ඵල ලාභී දෙවිවරු චාතුම්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවත්තිය යන කාම දිව්‍ය ලෝක හයේත් සිටිනවා. ඒ වගේ ම බ්‍රහ්මකායික දෙවිවරුන් බ්‍රහ්ම පාරිසජ්ජ බඹලොව පටන් අකනිට්ඨා බඹලොව දක්වා වැඩ සිටිනවා.

ඒ දෙවිවරුන් තුළ තිබෙන විශේෂ ගුණ ධර්ම පහක් තමයි, ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, චාග, ප්‍රඥා කියන සේඛ බල පහ. ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන ගුණ වශයෙන් සිත පහදවාගෙන තෙරුවන් සරණේ පිහිටීම යි. සීලය කියන්නේ කායික වාචසික සංවරය යි. ශ්‍රැතය යනු ධර්ම ඥානය යි. පරිත්‍යාගශීලී ගුණය චාගය කියා හඳුන්වනවා. චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව තමන්ට තිබෙන අවබෝධය ප්‍රඥාවයි. දේවතානුස්සති භාවනාවේ දී සිදු කරන්නේ දෙවිවරුන් තුළ ඇති මේ සේඛ බල තමන් තුළත් තිබෙන බව නුවණින් සිහි කිරීමයි. එනම් දෙවියන් තුළ ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, චාග, ප්‍රඥා කියන ගුණධර්ම තිබෙනවා නම් ඒ දෙවියන් තුළ තිබෙන ගුණධර්ම මා තුළත් තිබෙනවා. මා තුළ යම් ආකාරයකට සේඛ බල පිහිටා තිබෙනවා ද ඒ ගුණධර්ම දෙවියන් තුළත් තිබෙනවා. කියා සසඳා බැලීම යි, දේවතානුස්සතිය වඩනවා කියන්නේ. දේවතානුස්සතිය වඩන ශ්‍රාවකයාට මරණින් මතු මිනිස් ලොව අතහැර දෙව්ලොව ඉපදීමට අවස්ථාව ලැබෙනවා. එවිට මාර්ග ඵලලාභී කල්‍යාණ මිතුරන් දෙවිවරුන් ඇසුරේ තවදුරටත් ධර්ම මාර්ගය දියුණු කරන්නට පුළුවන්කම ලැබෙනවා. සෝතානුධත සූත්‍රයේ දී පෙන්වා දී ඇති ආකාරයට දෙව්ලොව දී මාර්ග ඵල අවබෝධ කරන්නට සුවිශේෂී අවස්ථාවක් ඒ ශ්‍රාවකයාට විවෘත වෙනවා.

ඒ වගේ ම දේවතානුස්සති භාවනාව වඩන ශ්‍රාවකයාට ඒ අරමුණ තුළ ම සිත එකඟ කර ගන්න පුළුවන්. එවිට ධර්මයත්, අර්ථයත් වැටහීම නිසා ප්‍රමුදිත භාවය උපදිනවා. ප්‍රමුදිත භාවය නිසා නිරාමිස ප්‍රීතිය ඇති වෙනවා. ඒ ශ්‍රාවකයාගේ කයත්, සිතත් සැහැල්ලු වී පස්සද්ධිය ඇති වෙනවා. සැපවත් වූ සිතින් යුක්තව දේවතානුස්සතිය තවදුරටත් වඩද්දී ඒ අරමුණ තුළ සිත සමාධිමත් වන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. ඒ සමාධිමත් සිත තුළ පිහිටා විදර්ශනා වැඩුවොත් මාර්ග ඵල අවබෝධ කර ගන්නට පුළුවන්. එම නිසා භාග්‍යවතුන් වහන්සේ දේවතානුස්සති භාවනාව ගැන මේ ආකාරයට දේශනා කොට තිබෙනවා.

“පින්වත් මහණෙනි, එක ම ධර්මයක් පුරුදු කළ විට, බහුල වශයෙන් පුරුදු කළ විට ඒකාන්තයෙන් ම අවබෝධයෙන් ම කලකිරීම පිණිස, නොඇල්ම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස, කෙලෙස් සන්සිඳීම පිණිස, විශේෂ අවබෝධ ඥානය ලැබීම පිණිස, චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස, අමා මහ නිවන පිණිස පවතිනවා. ඒ එක ම ධර්මය මේ දේවතානුස්සතිය යි. (ඒක ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ ඒකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති. කතමෝච ඒක ධම්මෝ? යදිදං දේවතානුස්සති)

දේවතානුස්සති භාවනාව පුරුදු කරද්දී, මිනිස් ලොව තිබෙන මානුෂික සැප ගැන උපේක්ෂාවට පත් වෙනවා. දෙව් ලොව හිත පිහිටනවා. මේ නිසා ඒ කෙනාට පුළුවනි, මිනිස් ජීවිතය අත් හරින කොට නිදා පිබිදියාක් මෙන් දෙව්ලොව උපදින්නට. දෙව්ලොව දී ශ්‍රද්ධාදී සේඛ බල වඩ වඩාත් දියුණු කරගෙන සීල, සමාධි, ප්‍රඥා වඩමින් ආර්ය මාර්ගය තුළ නිවන කරා යන්න අවස්ථාව ලැබෙනවා. එම නිසා දේවතානුස්සති භාවනාව අපිත් මෙලෙසින් ප්‍රගුණ කර ගනිමු.

දේවතානුස්සති භාවනාව

චාතුම්මහාරාජික නම් වූ, දිව්‍ය ලෝකයෙහි, වසන්නා වූ පින්වත් දෙවියෝ, මේ මනුලොව සිටින කාලයේ දී, බුදුරජාණන් වහන්සේ පිළිබඳ ව ද ශ්‍රී සද්ධර්මය පිළිබඳව ද ආර්ය මහා සංඝරත්නය පිළිබඳ ව ද අවබෝධයෙන් යුතුව ම, පැහැදීමෙන් යුතු වූවෝ ය. ඒ ශ්‍රද්ධාව නිසා, මනුලොවින් චුත වී, ඒ දෙව්ලොව උපත ලද්දෝ ය. ඒ ආකාර වූ, අවබෝධයෙන් යුතු පැහැදීමක් මා තුළ ද ඇත්තේ ය. ඒ ලැබීම මාගේ ජීවිතයට මහා ලාභයකි. මහා පිළිසරණකි. මහා රැකවරණයකි. මහා ආලෝකයකි.

චාතුම්මහාරාජික නම් වූ, දිව්‍ය ලෝකයෙහි, වසන්නා වූ පින්වත් දෙවියෝ, මේ මනුලොව සිටින කාලයේ දී, සත්ව ඝාතනයෙන් වැළකුණෝ ය. සොරකමින් වැළකුණෝ ය, වැරදි කාම සේවනයෙන් වැළකුණෝ ය, බොරු කීමෙන් වැළකුණෝ ය, මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණෝ ය. නිති පන්සිල් ද පොහොය අටසිල් ද ආරක්ෂා කළෝ ය. ඒ සීලය නිසා, මනුලොවින් චුත වී, ඒ දෙව්ලොව උපත ලද්දෝ ය. මම ද නිති පන්සිල් ද පොහොය අටසිල් ද රකිමි. මේ සීලය මාගේ ජීවිතයට මහා ලාභයකි. මහා පිළිසරණකි. මහා රැකවරණයකි. මහා ආලෝකයකි.

චාතුම්මහාරාජික නම් වූ, දිව්‍ය ලෝකයෙහි, වසන්නා වූ පින්වත් දෙවියෝ, මේ මනුලොව සිටින කාලයේ දී, මුල යහපත් වූ, මැද යහපත් වූ, කෙළවර යහපත් වූ, උතුම් ශ්‍රී සද්ධර්මය, මනා කොට ඇසීමෙන්, මනා කොට දැරීමෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන්, සුත නම් වූ සේඛ බලය, දියුණු කරගත්තෝ ය. ඒ සුත බලය නිසා, මනුලොවින් චුත වී, ඒ දෙව්ලොව උපත ලද්දෝ ය. මම ද, උතුම් ශ්‍රී සද්ධර්මය මනා කොට ඇසීමෙන්, මනා කොට දැරීමෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන්, සුත බලය දියුණු කර ගනිමි. එය මට මහා ලාභයකි. මහා පිළිසරණකි. මහා රැකවරණයකි. මහා ආලෝකයකි.

චාතුම්මහාරාජික නම් වූ, දිව්‍ය ලෝකයෙහි, වසන්නා වූ පින්වත් දෙවියෝ, මේ මනුලොව සිටින කාලයේ දී, මසුරු මළ දුරු කොට, කර්ම, කර්මඵල අදහා, ඉතා සතුටින් යුතුව, තෙරුවන් උදෙසා, දන් පැන් පූජා කළෝ ය. ඒ චාග බලය නිසා, මනුලොවින් චුත වී, ඒ දෙව්ලොව උපත ලද්දෝ ය. මම ද, මසුරු මළ දුරු කොට, පින් පව් අදහාගෙන, උතුම් තෙරුවන උදෙසා, නිති දන් පැන් දෙන්නෙමි. ඒ චාග බලය මාගේ ජීවිතයට මහා ලාභයකි. මහා පිළිසරණකි. මහා රැකවරණයකි. මහා ආලෝකයකි.

චාතුම්මහාරාජික නම් වූ, දිව්‍ය ලෝකයෙහි, වසන්නා වූ පින්වත් දෙවියෝ, මේ මනුලොව සිටින කාලයේ දී, අනිත්‍යය, දුක්ඛ, අනාත්ම යන, තිලකුණු පිළිබඳ ව ද, මේ ශරීරයේ හට ගැනීම පිළිබඳ ව ද, නැතිවීම පිළිබඳ ව ද, අවබෝධයෙන් සිටියෝ ය. ඒ ප්‍රඥා බලය නිසා, මනුලොවින් චුත වී, ඒ දෙව්ලොව උපත ලද්දෝ ය. මම ද, ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන්, මේ ශරීරයේ හටගැනීම පිළිබඳ ව ද, නැතිවීම පිළිබඳ ව ද, අවබෝධයෙන් යුතුව, කාලය ගෙවමි. ඒ ලැබීම මාගේ ජීවිතයට මහා ලාභයකි. මහා පිළිසරණකි. මහා රැකවරණයකි. මහා ආලෝකයකි.

තාවතිංස නම් වූ, යාම නම් වූ, තුසිත නම් වූ, නිම්මාණරතී නම් වූ, පරනිම්මිත වසවත්ති නම් වූ දිව්‍ය ලෝකවල වසන මේ සියලු දෙවියෝ, මේ මනුලොව දී සේඛ බලයන් දියුණු කොට, ඒ දෙව්ලොව උපත ලද්දෝ ය, මම ද මේ සේඛ බලයන්ගෙන් සමන්විත වෙමි. එය මට මහා ලාභයකි, මහා රැකවරණයකි, මහා පිළිසරණකි, මහා ආලෝකයකි.

(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර